Print this Article


කාළුදායි මහරහතන් වහන්සේ

කාළුදායි මහරහතන් වහන්සේ

ඤාති කුලයන් පහදවන්නා වූ භික්ෂූන් අතුරෙන් කාළුදායි මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලැබූ සේක.තම පුත්‍රයා වු සිද්ධාර්ථ කුමාරයා රජගෙය අත්හැර ගොස් පැවිදිව බුද්ධත්වය ලැබු බව ආරංචි මාත්‍රයෙන් දැනගත් පිය මහරජු බුදුරජාණන් වහන්සේ දැකීමට ඇතිව තිබු බලවත් ආසාව මුදුන්පත් කරවීමේ කාර්යය ඉටු කිරිමෙන් හා බුදුරජාණන් වහන්සේගේ ඤාති කුලය බුදු සසුනෙහි පහදවා ඔවුන්ට සෙත සැලසීමේ කාර්ය ඉටු කිරිමෙන් හැම දෙනෙකුගේ ප්‍රසාදයට පත් වූයේ මෙම කාළුදායි මහරහතන් වහන්සේ ය.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද කාළුදායි කුමරු දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට විහාරයට ගොස් බණ අසන අවස්ථාවෙහි එක්තරා භික්ෂුවක් කුලයන් පහදවන භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානයෙහි පත්කරනු දැක "මම ද අනාගතයේ දී මෙබඳු පදවියක් ලබන්නෙමියි" අධිෂ්ඨාන කොට ගෙන සතියක් මහ දන් පවත්වා අවසානයේ දී තම සිතැඟි පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ ය. බුදුරජාණන් වහනසේ අනාගතය බලා එය සඵල වනු බව දැන කුල පුත්‍රය, " මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුන්ගේ ශාසනයේදී ප්‍රාර්ථනාව ඉටුවන්නේ යැයි" විවරණ දුන් සේක.

එතැන් පටන් හෙතෙම බොහෝ කුසල් රැස්කොට, එයින් චුතව දෙවිමිනිස් සැප විඳීනුයේ අප සිද්ධාර්ථ බෝසතාණන් මෙලොව එළිය දුටු දිනම එක්තරා ඇමැති කුලයක උපන්නේ ය. නමින් උදායි නම් විය.මදක් කළුවට හුරු හෙයින් කාළුදායි නමින් ප්‍රචලිත විය. මෙම ඇමැති පුත්‍රයා සුද්ධෝදන රජගෙදර ම බෝසතාණන් වහන්සේ සමග එක්ව වැඩුණේ ය.

සියලු සැප සමිපත් අත්හැර අභිණිෂ්ක්‍රමණය කොට බුද්ධරාජ්‍යයටපත් සිය පුත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දැකිමත්, උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරිමත්, පියමහා රජතුමා ඇතුලු ප්‍රධාන රාජකීය පිරිස පසුවුයේ අපමණ ආසාවකිනි.එම නිසා නව වරක් ම නවදහසක් දූත පිරිස බුදුන් වහන්සේ වැඩම කරවාගෙන ඒමට යවන ලදි. ඒ සියල්ලෝම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදි වූ හ. රාජකීය දුත මෙහෙවර ඔවුනට අමතක වූ හ.

අවසන කාළුදායි ඇමැති තෙමේ මේ සඳහා යෝග්‍ය යැයි සිතු සුදොවුන් රජු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැඩම කරගෙන ඒම සඳහා ඔහු ඇතුළු දූත පිරිසට භාර කළහ. ඒ පැවිදි වීමට සුදොවුන් රජුගෙන් ගත් අභිමතය පරිදි ය. පසුව කාළුදායි ඇමැති පළමුව බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සව් කෙලෙසුන් නසා රහත්ව ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වි ය.නොබෝ කලක් ගත වූ කල්හි රජුගේ පණිවුඩය පැවැසීමට සුදුසු කාලය යැයි සිතු කාළුදායි මහරහතන් වහන්සේ කිඹුල්වත් නුවර අති රමණීය වූ ස්වභාව සෞන්දර්යත්, වඩින මග දෙපස අලංකාරයත් ගාථා හැටකින් වර්ණනා කළහ.

“භාග්‍යවතුන් වහන්ස, දැන් ගස්වල ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් පිපී දළු ලා ඇත්තේ ය. සිත්කළු වූ වෘක්ෂයෝ පිපුණු මල් ඇත්තාහු ය. හාත්පස සියලු දිශාවන්හි සුවඳ හමන්නේ ය.” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, වඩින මග දෙපස ඉතා සීතලක් ද නැත. ඉතා උෂ්ණයක් ද නැත සොබාදහම සමබර ය. ඔබ වහන්සේට කිඹුල්වත්නුවරට වඩින්නට කාලයයි. ”

මෙම වර්ණනාව කාළුදායි මහරහතන් වහන්සේගේ කවීත්වයත්, බුදුන්වහන්සේ සොබාදහමට මෙ තරම් ප්‍රිය කළේ ද? යන්න මැනවින් පැහැදිලි වන්නකි. එකල බුදුරජාණන් වහන්සේ කාළුදායි තෙරුන් අමතා යහපත උදෙසා ඤාතීන්ට සංග්‍රහ කිරීම සඳහා කපිලවස්තු නුවරට යාමට සුදුසු කාලය යැයි භික්ෂූන්ට දැන්වුහ. බුදුරජාණන් වහන්සේ විසි දහසක් භික්ෂූන් පිරිවරා රජගහනුවරින් නික්ම එක් දවසකට එක් යොදුනක් බැගින් සැට යොදුනක් මග කතර ගෙවා දෙ මසක් තුළ කිඹුල්වත් නුවරට වැඩි සේක.කාළුදායි තෙරුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්නුවරට ඒම සඳහා පිටත් වු බව පිය මහරජුට දැන්වු පසු මුළු දෙ මස තුළ ම බුදුන් වහන්සේට රජු විසින් දානය පිළිගැන් වූහ.මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්නුවරට වැඩමවා මුළු ඤාති කුලය ම පැහැද වූ හෙයින් එය අරමුණු කොට පසු කලක දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මධ්‍යයෙහි කාළුදායි තෙරුන් අමතා

“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භිකඛූනං කුලප්පසාදානං යදිදං කාළුදායි”

යනුවෙන් වදාරා ඤාති කුලයන් පහදවන්නා වූ භික්ෂූන් අතුරෙහි කාළුදායි තෙරුන් වහන්සේ අග්‍රයැයි වදාළ සේක.