Print this Article


පැරැණි බණකතා : බෝසත් රජුගේ ක්ෂාන්තිවාදය

බෝසත් රජුගේ ක්ෂාන්තිවාදය

එක් සමයෙක අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හී එකල පසුබට වීර්යය ඇති තෙරුන් නමක් උදෙසා මෙම ජාතක කතාව වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කල්හි, අප මහා බෝසතාණෝ ඒ රජුගේ අගමෙහෙසියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ය. ඒ කුමාරයාට සීලව යනුවෙන් නම තැබී ය.

සොළොස් හැවිරිදි වියේ දී ම සියලු ශිල්ප ශාස්ත්‍ර අවසන් කළ කුමරු පියාණන්ගේ ඇවෑමෙන් පසු රජ වී “මහාසීලව“ නමින් ප්‍රසිද්ධ විය. බොහෝ සේ ධාර්මිකව රාජ්‍යය කරන්නා වූ මහාසීලව රජු නුවර සතර වාසල් දොර, නුවර මැද, මහාවාසල යන තැන්හි දන්සල් කරවා දන් දෙයි. සිල් රකියි. ක්ෂාන්තිය, මෛත්‍රී, කරුණා ගුණයෙන් යුතුව හැම කෙනෙකු ම පිනවමින් රාජ්‍ය කරයි.

එකල රජුගේ එක් ඇමතියෙක් නො පනත් ක්‍රියාවක් කළ බැවින්, ඒ ඇමතියා රටින් නෙරපී ය. හේ කසී රට කොසොල් රජු වෙත ගොස් ඒ රජුට සේවය කර ක්‍රමයෙන් රජුගේ විශ්වාසනීයයෙක් විය. ඔහු දිනක් ඒ රජු අමතා,

”දේවයන් වහන්ස, බරණැස් රාජ්‍යයේ රජු ඉතා මෘදු ය. සීලවන්ත ය. ගැටුමට අකැමැති ය. සුළු උත්සාහයකින් පවා රාජ්‍ය ලබා ගන්නට හැකිය” කී ය.

රජු එ වදන් විශ්වාස නො කළවිට දේවයන් වහන්ස, මගේ කීම විශ්වාස නො කරන්නෙහි නම්, මිනිසුන් යවා එරට ගමක් විනාශ කරනු මැනව“යි කී ය.

රජු ද එය පරික්ෂා කරමියි සිතා ස්වකීය රාජ පුරුෂයන් යවා එහි ගමක් කොල්ල කෑහ. ගම්මු ඔවුන් අල්වා බරණැස් රජුට දුණි. ඒ රජුු ඔවුන්ට අවවාද කොට ධනය දී අතහැරියේ ය. සතුරු රජු සීලව රජතුමා ඉතා ධාර්මිෂ්ට යැයි දැන, නැවත නැවත ගම් නියම්ගම් කොල්ල කා රාජ්‍ය ලබාගන්ට කටයුතු කළහ. දිනක් රජු යුද්ධයට පැමිණ ඇතැයි දැන දැන හේවායෝ රජු වෙතට ගොස්,

”දේවයන් වහන්ස, සතුරන් අපව ආක්‍රමණය කොට ඇත. අප ඔවුන් අල්ලා ගනිමු” යි කී ය. රජු,

”දරුවෙනි, මා නිසා අනුන්ට පීඩා කිරීමක් වුවමනා නැත. රාජ්‍යය ගනු කැමැත්තෝ ගනිත්වා! තෙපි නො යව්” යි ඔවුන් වැළකී ය.

කොසොල් රජු පැමිණ “රාජ්‍ය දෙව, නැතිනම් යුද්ධ කරව්”යි මහාසීලව රජුට හසුන් යැවී ය. සීලව රජ රාජ්‍යය ගනීවා! යි පෙරළා හසුන් යවා වාසල් දොර අරවා අමාත්‍යයන් සමඟ ප්‍රාසාදයෙහි ඉහළ මහලේ සිංහාසනයෙහි උන්නේ ය. කොසොල් රජු බල සෙනඟ හා නුවරට වැද එහි සිටියා වූ නිරායුධ රජු සහ අමාත්‍යයන් අල්වාගෙන,

මොවුන් සොහොනට ගෙන ගොස් සිටුවා පස් ගසව්, රාත්‍රියෙහි හිවල්ලු කළයුත්ත කරති” යි කී ය.

රාජපුරුෂයෝ අමාත්‍යයන් සහිත රජු අමු සොහොනට ගෙන ගොස් ගෙල වටක් පමණ ගැඹුරට වළවල් හාරා ඒවාට දමා පස් තද කොට ගියහ. සීලව රජු, පිරිසට “මෛත්‍රිය ම වඩව්” යි අවවාද කළේ ය.

ඉක්බිති මධ්‍යම රාත්‍රියෙහි මිනී මස් කෑමට හිවල්ලු ආහ. උපායෙන් දක්ෂ රජු සහ ඇමැතියෝ උන් දැක එකවර ඝෝෂා කළහ. උන් පලාගොස් නැවතී හැරී බලද්දී පසුපස එන කෙනෙකුන් නො දත් නිසා නැවත පැමිණ පිරිස වෙත ගියහ. රජු, හිවලා තමා අසලට ආ බව දැන සපන්නට අවකාශ දෙන්නාක් මෙන් කර ඔසවා හිවලා තරකොට මිරිකා ගත්තේ ය. එවිට හිවලා මරණ බියෙන් මහ හඬින් හැඬි ය. ඒ හඬ අසා සෙසු හිවල්ලු පලා ගියහ. රජු හිවලාගේ පහුරුගෑමෙන් පස් ලිහිල් වූ බව දැන, ඔබමොබ කරකැවී දෙපිටට නැවී දෑත ඔසවා වළ කටේ එල්ලි ගොඩට නැගී අමාත්‍යයන් ද බේරා ගත්හ.

එවෙලෙහි එම සොහොනෙහි තිබු මළ සිරුරක් බෙදා ගන්නට නො හැකි වූ යක්ෂයෝ දෙ දෙනක් එය ඇදගෙන රජු වෙත ගොස්,

”ධාර්මිකය, අපට මෙය සමසේ බෙදා දුන මැනව“ යි කීහ. රජු එය සමසේ බෙදා දුණි.

ඒ යක්ෂයෝ මාංශ කා බඩ පුරවාගෙන සතුටුව, “මහරජ අප ඔබට කුමක් කළ යුතු ද?” ඇසී ය.

එසේ නම් අප හැම රජ මාලිගයට ගෙන යනුයි කී ය. යක්කු එසේ කළහ. එවේලෙහි සීලව රජු සතුරු රජු නිදා උන් යහන අසළට පිවිස ඔහුගේ බඩට කඩු පතින් ගැසී ය. ඔහු බය වී පිබිද, සීලව මහ රජු දැක ධෛර්යය උපදවාගෙන,

”මහරජ, මහ රෑ රැකවල් ඇති මේ ප්‍රාසාද මන්දිරයට කෙසේ ආවාදැයි විචාළේ ය. සීලව රජු තමන් ආ ආකාරය විස්තර කළ විට, සතුරු රජු මවිතව,

”රජතුමනි, යකුන් පවා ඔබගේ ගුණ දනී. මම එය නො දැක්කෙමි” යි සංවේගයට පත්ව, රජු සමා කරවා නැවත රාජ්‍යය පවරා දී කේලාම් කී තැනැත්තාට දඬුවම් කොට සිය නුවරට ගියේ ය

සීලව රජු බොහෝ ධාර්මිකව රාජ්‍ය කොට මිය පරලොව ගියහ.

එදා බෝසතාණෝ වීර්යයෙන් කටයුතු කළ ආකාරයත්, එයින් ලැබූ ජයග්‍රහණයත් වදාරමින් එම දේශනාව වදාළ සේක. එම දේශනාව අවසානයේ පසුබට විර්යය ඇති භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේ ය.

එකල දුෂ්ට අමාත්‍යයා නම් දෙව්දත් තෙරුන් ය. සීලව රජු නම් බුදු වූ මම් වෙමැ යි” නිමවා භාග්‍යවතුන් වහන්සේ මහා සීලව ජාතකය වදාළ සේක.