Print this Article


පොළොන්නරුවේ වටදාගෙයි විසිතුරු මූර්ති කැටයම්

පොළොන්නරුවේ වටදාගෙයි විසිතුරු මූර්ති කැටයම්

පොළොන්නරුව, එතෙක් ශත වර්ෂ පහළවක් පමණ පැවැති අනුරාධපුර රාජධානියට පසු අපේ බෞද්ධ ශිෂ්ඨාචාරයේ ඉතා වැදගත් අගනුවර වූයේ ය. බෞද්ධ පදනමක් මත ඉදිවුණු අනුරාධපුර රාජධානියට පසුව පොළොන්නරුව රාජධානියේ බෞද්ධ මෙන් ම, හින්දු පුදබිම් රැසක්ම දැකිය හැකි ය.

මහවිජයබාහු රජතුමා චෝල ආක්‍රමණවලින් මේ රට බේරා ගැනීමෙන් පසුව පොළොන්නරුවේ රජ වීමෙන් පසු එතුමාට චෝල යුගයේ පොළොන්නරුවේ ඉදි වූ හින්දු ආගමික පුදබිම් විනාශ කරදැමීමට අවස්ථාව තිබුණි. එහෙත් මහ විජයබාහු රජතුමා ඒ කාලයේ දී පොළොන්නරුවේ තිබුණු විෂ්ණු දේවාල හා වෙනත් හින්දු පුදබිම්වල පැවැත්මට ද ඉඩකඩ සලසා දී තිබුණු නිසා, එකල සිංහල හා දෙමළ සාමූහික භාවය ද ඒ නිසා ම බෞද්ධ හා හින්දු පුදබිම් ආශි‍්‍රතව කලා ශිල්පවල ද දියුණුවක් ඇති වූයේ ය.

මේ නිසා බෞද්ධ මෙන් ම, හින්දු පුදබිම් ද එකවර දැකිය හැකි, මෙම සිංහල බෞද්ධ රජදරුවන්ගේ රාජකීය ප්‍රාසාදයන් මෙන්ම විටෙක එනුවර පාලනය කළ හින්දු රජවරුන්ගේ ප්‍රාසාදයන් ද කියාපාන්නේ බෞද්ධ මෙන් ම හින්දු කලා ශිල්පවල ද සම්මිශ්‍රණයකි. මේ අනුව පොළොන්නරු ජාතික හා සාමයික වශයෙන් සහජීවනයෙන් යුක්ත රාජධානි සමයක් විය. මේ සමඟ අප මෙහි දී බෞද්ධ කලා ශිල්ප පිළිබඳ අවධානය යොමු කරන නමුදු, හින්දු ආගමික බලපෑම ඒ බෞද්ධ කලා ශිල්පවලට බලපෑ අන්දම කැපී පෙනුණි. මීට ඉහත දී සඳහන් කළ අන්දමට අනුරාධපුර සඳකඩපහණෙහි නිර්මාණය කළ සිංහයා, හස්තියා, අශ්වයා සහ වෘෂභයා (ගවයා) දක්නට ලැබුණි. එහෙත් පොළොන්නරු වේ වටදා ගෙයට අයත් වන සඳකඩ පහණෙහි වෘෂභ රූපය දක්නට නැත. ගවයා (වෘෂභයා) හින්දු ආගමේ පූජණියත්වයෙන් පුදනු ලබන සත්වයෙකි. මේ නිසා ඒ වෘෂභ රූපය පයට පෑගීම සඳහා සඳකඩපහණට යෙදීමට අපේ බෞද්ධ කලා කරුවන් කටයුතු කර නැත.

****

පොළොන්නරුවේ වටදාගෙය

පොළොන්නරුවේ දළදා මළුවට ඇතුළුවන විට එහි වම් පසින් පිහිටා ඇති වෘත්තාකාර ධාතු මන්දිරය වටදා ගෙයි නම් වෙයි. මෙම නිර්මාණය පොළොන්නරු නගරයෙහි පිහිටා ඇති අලංකාර වූ ද, රමණීය වූ ද ගොඩනැගිලි වලින් එකකි. මෙය මීට පෙර ඉදිකළ එකක් වුව ද, නිශ්ශංක මල්ල රජු විසින් නැවත ඉදිකර අලංකාර කරන ලද්දකි.

මෙම පුදබිම වෘත්තාකාර ධාතු මන්දිරයක් ලෙසින් හඳුන්වනු ලැබුව ද, එය නියත වශයෙන්ම ‘චේතියඝර ‘ යනුවෙන් හඳුන්වනු ලබන ස්තූපඝරයකි. මෙම වෘත්තාකාර පුදබිමෙහි මධ්‍යයේ සතර දිසාවන්ට මුහුණලා ඇති බුද්ධ ප්‍රතිමා සතරකින් පිරිවරනු ලැබු කුඩා දාගැබක් ඇත. මෙම ගර්භ ගෘහය තුළ ආධාරක ශිලාමය කුළුණුවලින් යුක්ත වහලයක් විය. පොළොන්නරුවේ වටදා ගෙය දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පය මැදිිරිගිරියේ වටදා ගෙයට අයත් ධාතු මන්දිරය හෙවත් වටදා ගෙයට සමානත්වයක් දරයි. මෙම පොළොන්නරු වටදා ගෙයට අයත් කුළුණු පේළි දෙකක් දක්නට ඇත. එහෙත් අද වන විට ඇතුළත කුළුණු පේළි මුලුමනින් ම කැඩී බිඳි ගොස් ඇත. එයින් එකක් හෝ ඉතිරි වී නැත. මෙම පූජනීය ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුව ඉතා දර්ශනීය ලෙස දෙපස මුරගලින් යුක්ත සඳකඩපහණකින් අලංකාර කර ඇත. පිය ගැට පෙළ දෙපස වාමනයන් විසින් දරා සිටින මකර වැටකි. සඳකඩ පහණේ ඇති සත්වරූප අතරින් ගවයා ඉවත් කිරීම පිළිබඳ දක්නට ලැබෙන හොඳම නිදර්ශනය වන්නේ පොළොන්නරුවේ දක්නට ලැබෙන මෙම වටදාගෙයට අයත් සඳකඩපහණ ය. මෙය මේ යුගය තුළ හින්දු ආගමේ බලපෑම සහ ශක්තිමත් භාවය පෙන්නුම් කරවන්නකි. අනුරාධපුරයේ සඳකඩපහණවල නාග රාජ මුරගල්වල එතරම් වෙනසක් මේ යුගය තුළ දක්නට නැත. (පොළොන්නරු – මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 142 -144 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි – 1998)

වටදාගෙයි අලංකරණ

පොළොන්නරුවේ වටදාගෙයි ඉදිකර තිබෙන්නේ බොරදම් සහිත ගලින් බඳින ලද අඩි 120 විශ්කම්භයෙන් ද, අඩි 4 1/2 උසින් ද , යුත් වටකුරු වේදිකාවක් මත ය. පිහිටි පොළවෙන් උස්ව නිර්මාණය කරන ලද හෙයින් වටදා ගෙයට විශේෂ පෙනුමක් ලැබී ඇත. එහි අලංකාරයට බලපාන මෙම වෘත්තාකාර මළුව මතින් නැගීසිටින්නා වු වටදාගෙයි අත්තිවාරමෙහි පේළි දෙකකට යොදන ලද අලංකාර ගණරූප සමූහයකි. ඒවායින් නර්තන විලාශ නිරූපණය වේ. මෙම ගණරූප නෙළා තිබෙන්නේ බොරදම් යොදා පිටතට බේරා වෙන්කොට ඇති හිදැස් මතුපිට ය.

සඳකඩපහණේ සත්ව හා දොරටුපාල රූපවල ස්වරූපය

අනුරාධපුර යුගයේ සඳකඩපහණවල එකම තීරුවේ සතුන් සතර දෙනා ගමන් කරන ආකාරයක් නිරූපිත ය. පොළොන්නරුවේ වටදා ගෙයි සඳකඩපහණෙහි ඇත්, අශ්ව සහ සිංහ රූප සත්වයෝ වෙන වෙනම පේළිවල නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙම වටදාගෙයි උතුරු දොරටුවේ සඳකඩපහණ කලා විචාරකයන්ගේ විශේෂ අවධානයට පාත්‍ර වූවකි. එය කලාත්මක භාවයෙන් ඉතා උසස් ය. මෙහි දොරටුවල ඇති මුරගල් හා ඊට සම්බන්ධ කොරවක්ගල් අනුරාධපුර යුගයේ එවැනි නිර්මාණවලට සමාන වෙයි. දොරටුපාල මූර්තියෙහි හිස වටා නයිපෙන හතකි. දොරටුපාල රූපය අතින්ගත් මල් කිනිත්ත ද, පුන් කලස ද, ඒ රූපය පාමුල ඇති බහිරව රූපද මනහර ලෙස නෙළා ඇත. දොරටුපාල රූපයට අයත් ඇඳුම්වල ස්වභාවය ද ඉතා අලංකාර ය.

අනෙක් වටදා ගෙවල්වල දක්නට නොලැබෙන තවත් විශේෂාංගයක් පොළොන්නරුවේ වටදාගෙයි දැකිය හැකි ය. එනම් මල්පෙති සහිත පිට තාප්පයට අභ්‍යන්තරයෙහි දෙවැනි හා තෙවැනි කණු පේළි අතර බැඳ ඇති ගඩොලු බිත්තියයි. ( ලංකාවේ වටදා ගෙවල් ආචාර්ය. ඊ.ඇම්.රත්නපාල පි.50-2006)

කෙසේ වුවද පොළොන්නරුවේ වටදා ගෙයි මුරගල් සැරසිලි රටාව ඊට ඉහත මුරගල්වල රූකම් අනුගමනය කර ඇති බව ඉතා පැහැදිලි ය. පොළොන්නරුවේ වටදාගෙයි නැගෙනහිර පියගැට පෙළෙහි දක්නට ලැබෙන මුරගල් දෙක කලාත්මක නිර්මාණ ලෙසින් පොළොන්නරුවේ වෙනත් කිසිම පුදබිමකින් සොයා ගත නොහැක. මේ මුරගල් දෙක අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරන කරුණකි. (පැරැණි හෙළ කලා විස්කම් සිරිසමන් විජේතුංග පි. 43-2017)