Print this Article


නොතිත්බවයි අපිස්බවයි

නොතිත්බවයි අපිස්බවයි

" බුදු දහම අනුව සසර දුක් පීඩාවකට මුල් වන මහා පාපය, මූලික ක්ලේශ ධර්මය නම් තණ්හාවය. එය කාමය, රතිය, ප්‍රේමය, රාගය, ලෝභය ආදී විවිධ පර්යායන්ගෙන් පෙළදහමෙහි දක්වා තිබේ. එකී මානසිකත්වය උත්සන්න වීම, එයින් උමතුවීම, එයම වැළඳගැනීම මහිච්ඡතාවයයි."

අප්පිච්ඡතාව, අල්පේච්ඡතාව නොවේනම්, අපිස් බව බුදුදහමෙහි ඉගැන්වෙන උතුම් පැවැත්මකි. අගනා සාර ධර්මයෙකි. අල්ප, අවම ඉච්ඡාවන්, ආශාවන්, බලාපොරොත්තු ඇති බව ඉන් අදහස් වෙයි.

මේ වූකලි බුද්ධා දී උතුමන්ගේ පරමාදර්ශයෙකි. බුද්ධ ශ්‍රාවකයෝ ද අල්ප ඉච්ඡා, අඩු බලා පොරොත්තු ඇත්තෝ ය. මෙම උතුම් ගුණයට ප්‍රතිවිරුද්ධ වන්නේ මහිච්ඡතාවයයි. මහා ඉච්ඡාවන්, අධික ආශාවන්, අසීමිත බලාපොරොත්තු ඇති බවයි. එය අසාර ධර්මයෙකි. එහි ආදීනව බොහෝ ය. අප ජීවත්වන මේ සමාජය තුළ එසේ මහිච්ඡතාවය ඇත්තෝ, එයින් පීඩා විඳින්නෝ, ඒ හේතුවෙන් විවිධ සමාජ ගැටලු, ප්‍රශ්න, අසහන ඇතිකරගන්නෝ වෙති.

බුදු දහම අනුව සසර දුක් පීඩාවකට මුල් වන මහා පාපය, මූලික ක්ලේශ ධර්මය නම් තණ්හාවය. එය කාමය, රතිය, ප්‍රේමය, රාගය, ලෝභය ආදී විවිධ පර්යායන්ගෙන් පෙළදහමෙහි දක්වා තිබේ. එකී මානසිකත්වය උත්සන්න වීම, එයින් උමතුවීම, එයම වැළඳගැනීම මහිච්ඡතාවයයි. එක් අතෙකින් එයින් පුද්ගලයා මානසික රෝගියෙකු වෙයි. අසහනය, අතෘප්තිය ඔහු තුළ වර්ධනය වේ. ජීවිතයේ සතුට, සහනය, අහිමි වීමට ද, විවිධ දුසිරිත්, අපචාර, ධර්ම විරෝධී, නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවන්ට පුද්ගලයා යොමුවීම ද සිදුවන්නේ ය. හෙතෙම කාමයෙන් වියරු වැටුනෙක් වේ. මැදුම් සඟිය මහා දුක්ඛකන්ධ සූත්‍රය මෙසේ සඳහන් කරයි. ‘මහණෙනි, කාමයන් හේතුකොට ගෙන, මූලික කොටගෙන, කරුණු කොටගෙන කාමයන් නිසා රජහු රජුන් සමග විවාද කරත්. ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයන් සමඟ ද, බමුණෝ බමුණන් සමඟ ද, ගෘහපතියෝ ගෘහපතියන් සමඟ ද විවාද කරත්. මව පුතු සමඟ ද, පුතා මව සමඟ ද පියා ද පුතා ද පුතාද පියාද, සහෝදරයෝ ද, සහෝදරියෝ ද විවාද කරත්, ඔවුහු කලහ, විග්‍රහ විවාද කරන්නෝ එකිනෙකාට අතින්ද, කැට කැබිලිත්තෙන් ද, මුගුරින්ද, අවි ආයුධවලින් ද පහරදෙති. එයින් මරණයට ද, එබඳු ම, දුක් පීඩාවනට ද පැමිණෙති.” කාමයන් හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි, දඩයම් හෙළන කල්හි, කඩු ඔබ මොබ පෙරළෙන කල්හි, දෙපසින් රැස්ව රණබිමට වදිත්. ‘මෙසේ මහිච්ඡතාවය, මිනිසුන් උන්මාදයට පත් කරවයි. සාමය, සමඟිය සහෝදරත්වය නසා ලයි. සමාජයේ ඉහළ සිට පහළට ම ගැටුම් හටගන්වයි. ගැටලු නිර්මාණය කරයි. සමාජය තුළ තහවුරු විය යුතු පුද්ගලාන්තර සබඳතා සිඳ දමයි. අසහනය, දුක් ජනිත කරයි.

පාලනය කරනොගත් සිත් සතන් විසින් පාපයට ම නැඹුරුව යටිගංබලා යාමට ඉඩ හරින ලද, කළමනාකරණයෙන් තොර සිතිවිලි විසින් බිහිකරනු ලබන, ඉච්ඡාව, කාමය, තණ්හාව මිනිසුන් විවිධ විෂම ක්‍රියාකාරකම්වලට යොමුකරන අයුරු දික් සඟිය මහා නිදාන සූත්‍රය ද පෙන්වා දෙයි. ඒ අධ්‍යාත්මික වූත්, බාහිරවූත් ක්‍රියාකාරකම් ඔස්සේ ය. බුදු දහමෙහි පදනම වූ හේතුඵල ධර්මය අනුව එකී ගැටුම්, කලිකලහ, දුසිරිත් සහිත පරිසරය බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරති. ‘වින්දනය (විඳීම - සංවේදනය) හේතු කොටගෙන තණ්හාව උපදියි. තණ්හාව හේතු කොටගෙන (පටිච්ච ප්‍රත්‍ය කොටගෙන) අනේකවිධ අනාර්ය (නොදියුණු) අරමුණු සොයා යාම වේ. සෙවීමෙන් ලැබීම සිදුවෙයි. ලැබීමෙන් අරමුණෙහි ඉටු අනිටු බව (විතර්ක විනිශ්චය) ඇගයීම වන්නේ ය. එයින් ඡන්ද රාගය (ඇල්ම) උපදියි. ජන්දරාගය නිසා (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) මගේ යැයි අත්පත් කරගනු ලැබේ. අත්පත් කර ගැනීම, අල්ලා ගැනීම නිසා මසුරු බව උපදියි. මසුරු බව නිසා ආරක්ෂා කරගනු ලැබේ. ආරක්ෂාව පාදකකොට ගෙන දඬු, මුගුරු ගැනීම්,අවිදැරීම් කලහකර ගැනීම්, එරෙහි වීම්, විවාද, එකිනෙකාට චෝදනා කිරීම් ආදී නානාවිධ අකුසල ධර්මයෝ පහළවෙත්. ඒ අසීමිත අපේක්ෂා ඇති බවෙහි ප්‍රතිඵල වේ.

“මල් උයනකට පිවිසෙන, මල් සොයා රැස්කරන මාලා කාරයෙකු නොයෙක් හැඩ ඇති, සුවඳවත්, වර්ණවත් මල්වලට සිත් අලවමින් ගසින් ගස යමින් මල් සොයන්නාක් මෙන් පස්කම් සුව නමැති මල් හිමැ නියැළි සිත් ඇති මිනිස්සු මහ ගං වතුරෙකින් නිදා සිටින ගමෙක ගම්වැසියන් ගසා ගෙන යන්නාක් මෙන් විනාශයට රැගෙන යන්නේ යැ යි බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ අතෘප්තිකර බව, ලෞකික වූ සැපසම්පත් ම සොයා, එහිමැ ගිජුව, එයින්ම වියරු වැටී ඒ පසුපසට හඹා යාම නිසා සිදුවන දෙයයි. අප ජීවත්වන මේ සමාජ වටපිටාව තුළ එසේ අසීමිත ඉච්ඡාව, තණ්හාව කාමය නිසා විවිධාකාර වූ ව්‍යසනයන්ට ගොදුරුවන්නවුන් දක්නා ලැබෙයි. ඔවුහු අන් අයට සවන් නොදෙන තරමට, දහමට නොනැමෙන තරමට මෝහයෙන්, මුලාවීමෙන් බොහෝ විට තමා සතු සියල්ල නැතිකර ගනිති. සතුට ද, සාමයද අහිමි කරගනිමින් උපයා ගත් සම්පත්ද විනාශකර ගනිත්. පසුතැවිල්ල ම උරුමකොට ගනිති. කාමයෙහි තෘප්තියකට නොපැමිණෙත්. ගිනිගෙන දිලෙන අඟුරුවලක් වැනිය. සර්ප හිසක් බඳු යැයි බුදුරදුන් වදාළ කම් සැපතෙහි ලා අතෘප්තියෙන්ම විපත් ළඟා කර ගනිත්. තණ්හාව නිසා, එහි බැස ගැනීම නිසා ශෝකය ද භය ද උපදින්නේ ය. යනු බුදු වදන ය.

ඉහත දක්වන ලද මහා දුක්ඛකන්ධ සූත්‍රයට ම අනුව කාමයෙහි වසඟවීමෙන් මහිච්ඡතාවය හේතුවෙන් මිනිස්සු පර පණ නසති. අනුනට හිංසා පීඩා කරති. සොරකම් ද කරති. අන් සතු දේ පැහැර ගනිත්. කාම මිත්‍යාචාරයෙහි ද යෙදෙත්. පරඹුවන් පර සැමියන් කරා යෙත්. මුසාබස් කියති. අනුන් රවටති. සුරාවෙහි ලොල් වෙති. මදයට ප්‍රමාදයට පැමිණෙති. එසේ ධර්ම විරෝධී, නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මෙලොව වශයෙන් ම රජුන්ගෙන් ද අනේක විධ වූ දඬුවම් ලබති. වධ බන්ධනවලට ලක්වෙති. එසේම පරලොව වශයෙන් දුගතිගාමී වෙත්. මෙලොව ද දුක් පීඩාවන්ට ම ගොදුරු වෙත්. පරලොව ද තැවෙත්. දුකට පත්වෙත්.

අසීමිත තණ්හාව, තෘප්තියට පත්නොවන කාමය, මහිච්ඡතාවය නිසා වර්තමානයෙහි විද්‍යමාන වන සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු ද අපමණ ය. එකී අන්ධ වූ, මුලාවූ, අතෘප්තිකර වූ මානසිකත්වය මිනිසුන් අධි පරිභෝජනයට යොමුකොට ඇත. අධිපරිභෝජනයෙන් පීඩාවට පත්ව සිටි කෙසොල් මහ රජු ඇමතූ බුදු රජාණන්වහන්සේ, සිහි නුවණින් කටයුතු කරන ලෙස ද, සීමාව, මාත්‍රාව ප්‍රමාණය දැන ආහාර අනුභව කරන්නැයි ද වදාළහ. එසේ කරන්නාවූ මිනිසාගේ ආහාර වහා දිරවයි. දුක් පීඩා අඩුවෙයි. ආයුෂ වැඩේ. එසේ වදාළේ දෝණ පාක සූත්‍රයේ ය. ගිහි ජීවිත ගතකරන්නවූත් අපරිමිතව පාන භෝජනාදියට යොමුවීම එම කුලයෙහි පිරිහීමට හේතුවන එක් කරුණකැයි ද විටෙක පෙන්වා දුන්හ. ඒ කුල සූත්‍රයේ ය. භික්ෂූන් වහන්සේ අල්පේච්ඡ විය යුතු ය. මහිච්ඡතාවයෙන් තොරවිය යුතු ය. කායික පැවැත්මට ප්‍රමාණවත් වූ අහරින් ද, සිව්රින්ද යුක්තව පියාපත් බර පමණක් ඇති පක්ෂියෙකු මෙන් සැහැල්ලුවෙන් දිවි ගෙවිය යුතු යැ’ යි වදාළහ. ඒ සාමඤ්ඤපල සූත්‍රාදියෙහි දී ය. තණ්හාවෙන්, කාමයෙන්, මහිච්ඡතාවයෙන් මත් වූ මිනිස්සු ගහකොළ, මහ පොළොව, ජල සම්පත් ආදී පාරිසරික දායාදයන් ද අධිපරිභෝජනය නිසා වනසති. දූෂණය කරති. එහි අනිටු ඵල මුළු සමාජය විසින්මැ විඳගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ මෙසේ නොයෙක් නයින් අසීමිත අපේක්ෂා ඇති ජීවිතයෙහි අවැඩ වදාළ සේක්, සීමිත, අවම අපේක්ෂා ඇතිබව අගය කළහ. ලද පමණින් ලද දෙයින් සතුටුවීම, (සත්තුස්සකො) පහසුවෙන් පෝෂණය කළ හැකි අවම අපේක්ෂා ඇත්තෙකු වීම (සුභරො) එබැවින් ම විවේකයෙන් ජීවත්වීම (අප්පකිච්චො) සැහැල්ලු චාම් පැවැත්ම (සල්ලහුකවුත්ති) අගය කළහ. ඒ මෙත්ත සූත්‍රයේ ය. ලැබීම් පමණින් සෑහීමට, තෘප්තියට පත්වීම, තමාට තම තත්ත්වයට ප්‍රමාණවත් ගැලපෙන දෙයින් තෘප්තිමත් වීම, තමාට සුදුසු ගැලපෙන දෙයින් සෑහීමට පත්වීම වර්ණනා කළහ. ඒ අරියවංස සූත්‍රයේ ය. භික්ෂූන් වහන්සේ සිවුරු පරිහරණය කරන්නේ සැරසිල්ල, අලංකාරය පිණිස නොවේ. ශීතෝෂ්ණාදියෙන් ආවරණය වනු පිණිස ය. විලි වසා ගැන්මට ය. පිණ්ඩපාතය වළඳන්නේ සිරුර මද වඩා ගැන්ම, මණ්ඩනය විභූෂණය සඳහා නොවේ. හුදෙක් දිවි පවත්වා ගැන්මට ය. එය බඹසර විසීමට උපකාරයෙකි. සෙනසුන් පරිභෝගය ද අව් වැසි සුළං ආදියෙන් ආරක්ෂා වීමට ය. ගිලන්පස භාවිතය හුදෙක් රෝග පීඩාවන්ගෙන් වැළකීමට යි. මෙම පැවැත්ම ගිහියන්ට ද ආදර්ශයෙකි. නිවන්මග යා හැක්කේ අල්පේච්ඡ තාව පුරුදු කළ තැනැත්තාට ය. මහිච්ඡතාව ඇත්තාට නොවේ.