Print this Article


සඟමිත් තෙරණියගේ ලංකාගමනය

සඟමිත් තෙරණියගේ ලංකාගමනය

සඟමිත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් එකොළොස් දෙනෙකුගෙන් යුත් පිරිසගේ ලංකාගමනය සිදුවන්නේ මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් හය මසකට පසුව එළඹෙන උඳුවප් පොහොය දිනයෙහි බව මහාවංශාගත ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

එබැවින් උඳුවප් පොහොය දිනය සඟමිත් තෙරණිය සැමරීම අරමුණු කොටගත් පෙරහර ආශි‍්‍රත උත්සව පැවැත්වීමට සහ පුණ්‍ය කටයුතුවල නියැළීමට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

දෙවනපෑතිස් රජුගේ සොහොයුරා වන මහානාග යුවරජුගේ බිසව වූ අනුලා දේවිය කාන්තාවට පැවිද්ද ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගනු ලැබුවා ය. දෙවනපෑතිස් රජු විසින් කාන්තාවට පැවිද්ද ලබාදීම පිළිබඳ මිහිඳු මාහිමියන් විමසීමේ දී ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සිය නැගණිය වූ ඒ වන විට පැවිදි ජීවිතයට යොමුව සිටි සඟමිත් තෙරණිය ලංකාවට කැඳවා ගැනීම බවට උපදෙස් ලැබිණි. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික දූත ගමන සඳහා කටයුතු සම්පාදනය වන අතර, එය සිදුවන්නේ දෙවනපෑතිස් රජතුමාගේ එම නිශ්චිත ඉල්ලීම ඇතුළත් සංදේශයක් ධර්මාශෝක අධිරාජයා වෙත යැවීමෙනි. එම දූත ගමන සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් රජතුමාගේ බෑණා කෙනෙකු වන “අරිට්ඨ” ඇමැතිවරයා තෝරාගන්නා අතර, පාටලීපුත්‍ර නගරයට පැමිණි මෙම පිරිස සමඟ සඟමිත් තෙරණියගේ ලංකාගමනය සිදු වූ බව මහාවංශය සඳහන් කරයි.

මෙම දූත ගමන හා සම්බන්ධවන අනෙක් සුවිශේෂ කරුණ වන්නේ පූජනීය වස්තුවක් වශයෙන් ශ්‍රී මහා බෝධි වෘක්ෂයේ ශාඛාවක් ලංකාවට රැගෙන පැමිණීම යි. දෙවනපෑතිස් රජතුමා ඇතුළු රාජකීය පිරිස, සඟමිත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් පිරිස පෙරගමන් කොට පිළිගෙන පෙරහරින් අනුරාධපුරයට වැඩම කරවූ බවත්, ඉන්පසුව අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් වු බවත් සඳහන් වන ඓතිහාසික පුවත ලාංකීය වංශකතාවල මෙන්ම මධ්‍යම ඉන්දියාවේ සාංචි ස්ථූප ප්‍රදේශය ආශි‍්‍රත මෑතකාලීන පුරාවිද්‍යාත්මක කැණීම් ඔස්සේ ද තහවුරු වී ඇති බව සඳහන් කළ යුතු ය.

සඟමිත් තෙරණියගේ ලංකාගමනය පිළිබඳ පුවත මහාවංශයට ප්‍රථම ලේඛනගත වූ දීපවංශයෙහි සවිස්තරාත්මකව සඳහන් වේ. භික්ෂුණීන් විසින් ක්‍රි.ව. 4 වන සියවසේ දී පමණ රචනා කරන ලදැයි ඉතිහාසඥයන් විසින් අනුමාන කරනු ලබන දීපවංශය, ලංකා භික්ෂුණියගේ ශාසනික හා සමාජයීය සේවාව පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරයි. එම තොරතුරු පරිශීලනය කිරීමෙන් ලාංකීය කාන්තාව විසින් මෙරට සමාජිය ප්‍රගමනය හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා දෙනු ලැබූ අතිමහත් දායකත්වය පිළිබඳව කරුණු ගවේෂණය සඳහා වර්තමාන පරපුර උනන්දු කරවීම මෙම ලිපියෙන් අපේක්ෂිත එක් ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් කළ යුතු ය. සඟමිත් තෙරණිය සමඟ පැමිණි පිරිස භික්ෂුණීන් 11 දෙනෙකුගෙන් සමන්විත වූ බව සහ ඔවුන්ගේ නාමලේඛනය දීපවංශයේ 18 වැනි පරිච්ඡේදයෙ හි 11 සහ 12 වැනි ගාථාවන්හි සඳහන් වන්නේ මෙසේ ය.

“ධර්ම විනයෙහි අගතැන්පත් සංඝමිත්තා, උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා ඵෙග්ගු ,පබ්බතා, මත්තා ද,මල්ලා හා ධම්මදාසී යන ලාබාල භික්ෂුණීන් වහන්සේලාද දඹදිවින් මෙහි වැඩම කළ හ” යනුවෙනි

මෙහි සඳහන් තොරතුරු අනුව ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා වශයෙන් සංඝමිත්තා හා උත්තරා යන තෙරණිවරුන් ධර්ම – විනය පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුතු වූවන් බව පෙනේ. මෙම දූත ගමන සඳහා භික්ෂුණී පිරිස තෝරා ගැනීමේ දී ලංකාවේ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා මගපෙන්වීමෙහි සමත් ධර්ම විනයෙහි විශාරද භික්ෂුණීන් මෙන්ම, තරුණ භික්ෂුණීන්ට ද ප්‍රමුඛත්වය දුන් බව පෙනී යයි.

ලංකා භික්ෂුණී ශාසනය අනුලා දේවිය ඇතුළු 500 ක් පමණ වූ කාන්තාවන්ගෙන් ඇරඹුණු අතර, එම පිරිස පැවිද්ද බලාපොරොත්තුවෙන් ගිහිගෙයි කටයුතු වලින් වෙන්වී කසාවතින් සැරසී සැදී පැහැදී සිටි බව සඳහන් වේ. අනුලා දේවිය ඇතුළු පැවිදි බව ලැබූ කාන්තාවන් සඳහා අනුරාධපුර නගර සීමාවේ ථූපාරාමයට උතුරින් වූ මෙහෙණවර ඉදිකරදීම වැනි කාර්යයන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වූ බවත්, ප්‍රථම භික්ෂුණී මෙහෙණවර “හත්ථාල්හක” ලෙස නම්කරන ලද බවත් දීපවංශය සඳහන් කරයි.

භික්ෂුණී ශාසනය පිහිටුවීම සමඟ සිදු වූ අනෙක් වැදගත් ශාසනික ක්‍රියාව වන්නේ පූජනීය සංකේතයක් වශයෙන් වැඳුම් පිදුම් කිරීම සඳහා බෝධි රෝපණයයි. බෝධිවංශයේ මේ පිළිබඳ ව සවිස්තරාත්මක තොරතුරු සඳහන් වන අතර, ලක්දිව පුරා භික්ෂුණීන් වහන්සේලාගේ ව්‍යාප්තිය ද ඒ හා සමගාමීව සිදු වූ බව අනුමාන කළ හැකි වේ.

ක්‍රි.ව. 10 වැනි සියවස පමණ දක්වා ලංකාද්වීපයේ සිදු වූ ශාසනික කටයුතු පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි රාශියක් ආචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් රචිත ‘ලංකා ශිලා ලේඛන” ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ අනුව භික්ෂුණීන්, ප්‍රභූ කාන්තාවන්, කාන්තාව මූලික වූ පවුලේ සාමාජික සාමාජිකාවන් මෙන්ම, රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වූ සේනාපති, ගම්පති, හමුදාභට වැනි පිරිස් විසින් කරන ලද ශාසනික සේවාවන් පිළිබඳව තොරතුරු හමුවේ. ඒවා අතර ප්‍රමුඛ වන්නේ භික්ෂූන් සඳහා වාසස්ථාන වශයෙන් ලෙන් ගුහා සකස් කොට පූජා කිරීමයි. එමෙන්ම අනුරාධපුර, කරුණෑගල, වව්නියාව, ත්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන්හි හමු වූ 2000 කට ආසන්න වූ ශිලා ලේඛන තොරතුරු ඇසුරින් තහවුරුවන්නේ කාන්තාවන් විසින් ද ශාසනික සේවාවෙහි ප්‍රබල දායකත්වයක් සපයන ලද බවයි. ඒ අතර භික්ෂුණීන් විසින් ඉටුකරන ලද කාර්යයන් අතර ත්‍රිපිටක ධර්මය වනපොත් කිරීම හා ඉගැන්වීම, පිටක සජ්ඣායනය, ආරෝග්‍ය ශාලා සේවය වැනි සේවාවන් කැපී පෙනේ. එමෙන්ම ඉන්දියාව හා ලංකාද්වීපය අතර ද ඉතා සමීප ආගමික සබඳතා පැවති බවත් තහවුරු වේ. දීපවංශය කෘතිය සම්පාදනයේ දී ලංකා භික්ෂුණීන් හට නාගමිත්තා , සණ්හා සමුද්ධා යන ඉන්දීය සම්භවයක් සහිත භික්ෂුණීන්ගේ සහාය ලැබුණ බවට ඉතිහාසඥයින් විසින් කරුණු දක්වා ඇත.

ලංකා භික්ෂුණී ශාසනය මෙරට මුල් බැසගැනීම පිළිබඳව පමණක් නොව ලංකා භික්ෂුණීන් විසින් ඉටුකරන ලද විදේශ ධර්මදූත සේවාව පිළිබඳව ද තොරතුරු සනාථ වෙමින් පවතී. චීන දේශයට බුදුදහම හඳුන්වාදීම සඳහා ලංකා භික්ෂුණිය විසින් ඉටුකරන ලද කාර්යභාරය ඒ අතර ප්‍රමුඛ වේ. ක්‍රි.ව. 5 වැනි සියවසේ මුල් දශක තුන අතර කාලයතුළ දූත කණ්ඩායම් දෙකක් චීන දේශයට පිටත් වූ අතර, එම පිරිස විසින් චීනයෙහි භික්ෂුණී පැවිද්ද පිහිටුවීමට ක්‍රියාකළ බව තහවුරු වේ. (ක්‍රි.ව.429 -433 ) මෙම කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුයේ “දේවසාරා” නම් භික්ෂුණිය වන අතර, ලාංකීය ථෙරවාදී සම්ප්‍රදාය අනුව භික්ෂුණී හා උපාසිකා යන නම් වලින් සීහල භික්ෂුණී සම්ප්‍රදාය අද දක්වා එහි පැවත එන බව වර්තමාන තොරතුරු වලින් ද සනාථ වෙමින් පවතී. චීන අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි භික්ෂුණී ශාසනය පිහිටුවීමේ කාර්යය සඳහා ලාංකීය භික්ෂුණිය විසින් ප්‍රකට කරන ලද එඩිතර නායකත්වය හා සත් සමුදුර තරණය කරමින් එම දූත සේවාවේ නියැළී එම මෙහෙවර ඉටුකිරීම මඟින් ලාංකීය ථෙරවාදි භික්ෂුණී සම්ප්‍රදාය නොකැඩී පවත්වා ගැනීමට දෙනු ලැබූ නායකත්වය සංඝමිත්තා දිනය සැමරීමේ දී සුවිශේෂී අගය කිරීමකට ලක්විය යුතු කරුණක් බව සඳහන් කළ යුතු ය.