Print this Article


ශ්‍රී දළදා පුරාණය - 22: දළදා සාහිත කෙත

දළදා සාහිත කෙත

අති පූජනීය දළදා වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයන් විසින් මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවයි. ශ්‍රී ලංකාද්වීපයෙහි රචනා වී ඇති දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා වංසය ආදී ධාතුවංශකතාවන්හි සඳහන් අන්දමට සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් ම ලංකාද්වීපයෙහි වැඩ සිටිති.

නා ලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රාජ්‍ය සමයෙහි මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරුන් විසින් නාග භවනයෙන් වඩමවාගෙන ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍ය රාජ්‍යයාණන් තුළ තැන්පත් කර ඇත. ගුහසීව රජු හා පඬිරජු අතර ඇති වූ යුද්ධයේ දී වම් දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා කුමරිය හා දන්ත කුමරුට භාර දී ඇති අතර ක්‍රි.ව. 310 දී සිරිමේඝවර්ණ රාජ්‍ය සමයේ දී ලක්දිවට වැඩම කර ඇත. වර්තමානයෙහි මහනුවර ඓතිහාසික දළදා මාළිගාවෙහි තැන්පත්ව ඇත්තේ එම වම් දළදා වහන්සේයි.

දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩමවීමෙන් පසු ගෞරවනීය ව සිදුකරනු ලැබූ පුද පූජා පිළිබඳ තොරතුරු ඇතුළත් වන දළදා සාහිත්‍යයක් ගොඩනැගී ඇත. මහාවංසයට පවා දළදා ඉතිහාසයේ තොරතුරු දළදා වංසය නමැති සාහිත්‍ය කෘතියෙන් ලබාගෙන ඇති බව මහා වංසයට අනුව සඳහන් කළ හැකි ය. දළදා වහන්සේ වන්දනාමාන උදෙසා පැවැත් වූ පුද පූජා සඳහා යොදා ගන්නා ලද පූජාර්හ වස්තූන් පිළිබඳව මහා වංසයේ 37 වන පරිච්ඡේදයේ 92 – 95 යන ගාථාවලින් විස්තර දක්වා ඇති අතර, දළදා පුද පූජාවන් පැවැත් වූ අයුරු වෙනම සඳහන් කර ඇත. ඒ අනුව දෙවනුව හමුවන දළදා සාහිත්‍ය කෘතිය ලෙස මහා වංසය සඳහන් කළ හැකි ය. පොළොන්නරු ලීලාවතී රැජිනගේ රාජ්‍ය සමයේ රාජගුරු ධම්මකිත්ති හිමියන් විසින් ගාථා 415 කින් යුත් දාඨාවංසය නම් ග්‍රන්ථය රචනා කර ඇත. දළදා පූජාවන් පිළිබඳ ලියවුණු දීර්ඝතම කෘතිය වශයෙන් සැලකෙන අතර දළදා වහන්සේගේ ඉතිහාසය, දළදා වහන්සේ වැඩමවීම හා පුද පූජාවන් පිළිබඳව නානා වෘත්තවලින් සිත් ගන්නා ආකාරයෙන් රසවත්ව දළදා වහන්සේ වර්ණනා කර ඇත. එම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ද සිංහලයෙන් ලියවී තිබුණු දළදා වංසය පරිශීලනය කළ බව දාඨාවංසයට ලියන ලද සන්නයේ දී උන්වහන්සේ විසින් සඳහන් කර ඇත.

පරාක්‍රමබාහු නිරිඳුගේ කැමැත්ත පරිදි පුද පූජා තිස්අටක් ඇතුළත් කොට වෘත්තගන්ධි ශෛලියෙන් දළදා සිරිත රචනා වී ඇත. දළදා වහන්සේට පුද පූජා පැවැත්වූ රජවරු පිළිබඳව තොරතුරු ඇතුළත් දළදා පූජාවලිය කුරුණෑගල රාජ්‍ය සමයේ දී රචනා කර ඇත. එය හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයේ දී රචනා වී ඇත. ග්‍රන්ථාරම්භයේ සඳහන් වන අන්දමට ගම්පොළ යුගයේ පස්වන බුවනෙකබා රාජ්‍ය සමයේ දී රචනා වූ බවට තොරතුරු හමුවන බව ඇතැමුන්ගේ මතයයි. හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා සිටි රජවරුන් විසින් සිදුකරන ලද පුද පූජා චාරිත්‍ර පිළිබඳ තොරතුරු සිංහල භාෂාවෙන් රචනා වී ඇත. පළමු විමලධර්ම සූරිය රජතුමා දක්වා රජවරුන් දළදා වන්දනාමාන කළ අයුරු දළදා වරුණ ග්‍රන්ථය තුළ සඳහන් වේ. එය පද්‍ය 40 කින් යුක්ත ය. දෙල්ගමු විහාරයේ සිට සෙංකඩගල පුරය දක්වා දළදා වහන්සේ වැඩමවීමෙන් පසුව එම ග්‍රන්ථය ලියන ලද බව එහි ඇතුළත් කරුණුවලින් පැහැදිලි වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ දළදා පූජාවලිය නම් ග්‍රන්ථයක් රචනා වී ඇත. එහි පෙරහර මංගල්‍ය පැවැත්වීම ආදී පුද පූජා පිළිබඳ විස්තර සඳහන් ය. 1818 දී වැලිගල කිවිඳුන් විසින් දාඨාගොත් ප්‍රදීපය නමින් පද්‍යමය කාව්‍යයක් රචනා කර ඇත. එය පද්‍ය 434 කින් යුත් පාලි පද්‍යමය කාව්‍යයකි. පොළොන්නරු යුගයේ රචනා වූ දාඨාවංසයෙන් පසුව ලියවුණු අනර්ඝ පාලි කෘතියක් ලෙස සඳහන් කළ හැකි ය. දළදා කාව්‍යය මුල්ලේගම කදහ නවරතන මුදලිගේ මුනුබුරෙකු විසින් ලියන ලද දළදා ඉතිහාසය හා එහි වටිනාකම විස්තර කෙරේ.

දළදා හටන, දළදා සිරිත ඔහු විසින් රචනා කර ඇත. එම ග්‍රන්ථ දෙකම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. දළදා වංස කවි නම් ග්‍රන්ථය තෙල්දෙණිය බඹරගල රජමහා විහාරයේ ඇත. පද්‍ය 100 කින් සමන්විත දළදා සතක කාව්‍යය 1934 දී මඩිහේ සිරි සුමිත්ත හිමියන් විසින් රචනා කරන ලද්දකි. පද්‍ය 1228 කින් යුත් දළදා විසිතුරු ග්‍රන්ථය 1928 දී රචනා වී ඇත. 1925 දී දළදා ප්‍රදර්ශනයෙන් පසු ඇති වූ මහා ගංවතුර පිළිබඳ විස්තර කිරීම සඳහා පද්‍ය 158 කින් යුත් දළදා වතුරු රචනා කර ඇත. පද්‍ය 238 කින් යුත් දළදා වංස කාව්‍යය කේ.එම්. සිල්වා නමැත්තකු විසින් රචනා කරන ලද විශාල පද්‍ය ග්‍රන්ථයකි. 1897 දී මුද්‍රණය වූ දළදා වරුණේ කෘතිය පද්‍ය 101 යුත් කෘතියකි. දළදා වංසය කවි නම් ග්‍රන්ථය තෙල්දෙණිය බඹරගල රජමහා විහාරයේ ඇත. එම සියලුම කාව්‍යමය හෝ ගද්‍යමය කෘති තුළින් දළදා වහන්සේ උදෙසා පවත්වන ලද පුද පූජාවන් පිළිබඳ විස්තර සඳහන් වේ. ඒ අනුව දළදා සාහිත්‍යයක් ගොඬනැගී ඇති බව සඳහන් කළ හැකි ය.


ශ්‍රී දළදා පුරාණය - 21: අති පූජනීය දළදා වහන්සේ වැඩමවන පුණ්‍යවන්ත හස්තිරාජයා