Print this Article


සඟමිත් චරිතයෙන් කාන්තාවන්ට ලද හැකි ආදර්ශ

සඟමිත් චරිතයෙන් කාන්තාවන්ට ලද හැකි ආදර්ශ

සකල ජම්බුදීපයම ඒකඡත්‍ර නැංවූ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයකුගේ දියණියක වූ සංඝමිත්තා කුමරියගේ බාලිකා ජීවිතය ආදර්ශ සම්පන්න ය. මනා රූප සම්පත්තියත් ,ලලනා ලාලිත්‍යයත් , කාන්තිමත් ප්‍රසාදාවහ දර්ශනයත් එතුමියට ජන්මයෙන් ම ලැබුණු දායාදයෝ වූ හ.

එහෙත් ඇය කිසි විටෙකත් එයින් උද්දාමවත් නොවූවා ය. ඇයගේ හැම ඉරියව් පැවැතුම් ප්‍රසාද ජනක ය. ආචාර සම්පත්තිය, ශෝභන දර්ශනය හා පවිත්‍ර චරිතය හේතුකොට ගෙන සංඝමිත්තා ළදරු කුමරිය දුටුවන්ගේ නෙත් සිත් ඇද ගැනීමෙහි එකතින්ම සමත් වූවා ය. ඉගෙන ගත යුතු අවස්ථාවෙහි මැනැවින් ඉගෙනීමෙහි යෙදීමත්, ක්‍රීඩා කළ යුතු අවස්ථා වෙහි ක්‍රීඩාවන්හි යෙදීමත්, විවේකීව සිටිය යුතු අවස්ථාවෙහි හුදකලාව විවේක සුවය විඳීමත්, විනෝද විය යුතු අවස්ථාවෙහි විනෝද වීමත් ඇයගේ දෛනික ජීවිතයේ දක්නට ලැබුණු ගුණාංගයෝයි. කුඩා කල සිට ම පොත පතට මෙන්ම ආගම ධර්මයට ද ප්‍රිය කළ සංඝමිත්තා කුමරිය මුල සිට නික්ලේශී බෞද්ධ කාන්තාවන්ගේ උදාර චරිතාපදානයන් කියවීමට විශේෂයෙන් සැලකිලිමත් වූවා ය. මහා ප්‍රජාපතී ගෝතමී - යසෝධරා - ඛේමා - උත්පලවණ්ණා වැනි භික්ෂූණී ශාසනය ශෝභාවත් කළ උත්තමාවන්ගේ චරිතකථා කියවීමට ඇය නිතර ආසා කළා ය. වයස අවුරුදු හත අට පමණ වන විට පවා ඇය තුළ තිබුණු බෞද්ධ ප්‍රබෝධය ඕනෑම කෙනෙකුට වූව ද අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු ඇති කර ගැනීමට හැකි විය.

දිනෙන් දින ගුණ නුවණින් මෙන්ම මනා රූපසම්පත්තියෙන් ද වැඩෙන සංඝමිත්තා කුමරිය ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තරුණ වියට පත්වූවා ය. රජකුමරියක වශයෙන් පුහුණු කළ යුතු යම් ශිල්ප ශාස්ත්‍රාදියක් වී නම්, ඇය ඒවා මැනැවින් ඉගෙන ගත්තා ය. එසේම ගෘහනියක වශයෙන් දත යුතු ගෘහ සංවිධානය පිළිබඳ යම් වගකීමක් ඇත්නම් ඇය ඒ කාර්යයන් පිළිබඳව ද මනා පුහුණුවක් ලැබුවා ය. ඇයට ජන්ම දායාදයක් වශයෙන් ලැබුණු රූප ශ්‍රී සම්පත්තිය තරුණ වියේ දී තව තවත් බැබළෙන්නට විය. එහෙත් එය එතුමිය කිසිවිටක වත් අභිමානයට, ආඩම්බරයට, උ¼ඬගුබවට හෝ මහේශාක්‍ය භාවයට හෝ හේතුවක් වශයෙන් නො සැලකුවා ය. නිහතමානී බවත්, නිරහංකාර පැවැත්මත්, සමානාත්මතාවත්, චාම් ජීවිත පැවැත්මත් ඇයගේ ජීවිතය තුළින් දක්නට ලැබුණි. භද්‍ර යෞවනයෙන් පරිපූර්ණ සංඝමිත්තා රාජදූහිතෘව ධර්මාශෝක දම්පතීන්ගේ මනදොළ සපුරවමින් සොළොස් වියට පා තැබුවා ය.

කුඩා කල පටන් ම විරාගී සංකල්පනාවන් ගෙන් යුතුව වැඩුණු සංඝමිත්තා කුමරිය සොළොස් වියට පිවිසියත් විවාහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙක් නොවීය. එහෙත් හැම මව්පිය කෙනෙකුන් විසින් ම කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුකමක් නම් සුදුසු අවස්ථාවෙහි දී ස්වකීය දූ දරුවන් ආවාහ විවාහ ජීවිතවලට ඇතුළත් කිරීම ය. ඒ දෙගුරුන් සතු යුතුකම සංඝමිත්තා කුමරියගේ දෙගුරුන් වූ ධර්මාශෝක දම්පතීන් විසින් ද ඉටු කළ යුතු ව තිබුණි. ධර්මාශෝක දම්පතීහු ඒ පිළිබඳ සාකච්ඡාවක යෙදුණහ. සිය දියණියට සරිලන සැමියෙකු සෙවීමෙහි ඔවහු සැලකිලිමත් වූ හ. ශුභ මුහුර්තාදිය සලකා රාජකීය චාරිත්‍රානුකූලව ‘ අග්ගිබ්‍රහ්ම’ නම් කුමාරයකු හට සංඝමිත්තා දූ කුමරිය සරණ පාවාදුන්හ. මේ රාජකීය විවාහ ජීවිතය හැම අතින්ම ආදර්ශ සම්පන්න ව ගෙන යන්නට සංඝමිත්තා කුමරිය දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියා කළා ය. සිය ස්වාමි පුරුෂයාට දැක්විය යුතු යුතුකම් කොටස ඇය සහකාරියක වශයෙන් මැනැවින් ඉටු කළා ය. විවාහ ජීවිතය සාර්ථක වනුයේ ස්වාමි භාර්යා අන්‍යෝන්‍ය විශ්වාසයත් ඔවුනොවුන්ගේ භක්තියත් මත ය. ඒ අතින් අග්ගිබ්‍රහ්ම කුමාරයත්, සංඝමිත්තා කුමරියත් ආදර්ශ සම්පන්නය හ. සමගියෙන් හා සමාදානයෙන් ගෙන ගිය ඔවුන්ගේ විවාහ ජීවිතය අවශේෂ ලෝකයාටද ආදර්ශයට ගත හැකි විය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන නකුල මාතා - නකුලපිතා දම්පතීන් මෙන් සංඝමිත්තා කුමරිය සහ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් ඉතාම වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කළහ. ගෘහ ජීවිතයේ උතුම් පරමාර්ථය වනුයේ වංශ පරම්පරාව නො සිඳ පැවැත්මට සමත් දරු සම්පත්තියයි. මේ රාජකීය දම්පතීන් ගේත් ඒ මුඛ්‍ය පරමාර්ථය සර්වප්‍රකාරයෙන් සාර්ථක බවට පත් කරලීමට සමත් පුත් රුවනක් ඔවුනට ලැබුණේ ය. මව්පියන්ගේ සිත් සතන් අතිශයින් ප්‍රසන්න බවට පත්කරවමින් උපන් කුඩා කුමරුවාට සුමන යන ප්‍රියකරු නාමය තැබූහ. රාජකීයයන්ගේ දැඩි ප්‍රේම සම්බන්ධයත් ගෘහවාසයත් ස්ථීර බවට පත් කරවන ප්‍රධාන මාර්ගයක් වශයෙන් පුත්‍ර ලාභය සඳහන් කළ හැකි ය. එහෙත් මේ දම්පතීන්ගේ ජීවිත තුළින් දර්ශනය වූ යේ එයට හාත්පසින්ම විරුද්ධ වැඩ පිළිවෙළකි.

මේ කාලය වන විට අශෝක රජතුමාගේ අභිෂේකයෙන් හතරවන අවුරුද්ද සම්පූර්ණ වී තිබුණි. එතුමා කාලිංග යුද්ධයෙන් පසුව චිත්ත වේදනාවෙන් සිටින විට සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනයෙන් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර පරිත්‍යාගයන්හි යෙදුණේ ය. ස්වකීය රාජ්‍ය තන්ත්‍රයේ මෙන්ම ස්වකීය ජීවිතයේත් විශාලතම පරිවර්තනයක් නොබෝ කලෙකින් ඇති විය. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා කළ හැකි හැම සේවයක්ම නොඅඩුව ඉටු කළේ ය. ලාභ ප්‍රයෝජන ලබා ගැනීමෙහි අපේක්ෂාවෙන් බුදු සසුනට ඇතුළු වී ශ්‍රමණ වෙස්ගෙන සිටි විවිධ තීර්ථකයන් සසුනෙන් ඉවත් කරලීමට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එතුමා විසින් ධර්ම සංගායනාවක් කරවන ලදී. ශාසනය පිරිසුදු වීමෙන් පසු නැවතත් බැබළෙන්නට විය. ලෝකයේ විවිධ රාජ්‍යයන් වෙත ධර්ම දූතයන් යැවීමටද කටයුතු සංවිධානය කළේ ය. නව ශාසන සංශෝධනයෙන් පසු බුදු සසුන්හි නොයෙක් තරා තිරම්වල අය පැවිදි වන්නට වූ හ. උපරාජ පදවිය අත හැර දමා ධර්මාශෝක අධිරාජයාගේ සහෝදර තිස්ස කුමාරයාණෝ එතුමා ගෙන් අවසර ගෙන සසුන් ගත වූ හ. එතුමා සමඟ සසුන් ගත වූ ජන සංඛ්‍යාව ඉතා විශාල ය. යුවරජ තුමාගේ පැවිදිවීමෙන් පසු සංඝමිත්තා කුමරියගෙන් අනුමැතිය ලැබ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද සසුන් ගත විය. සිය ස්වාමියාගේ පැවිදිවීම පිළිබඳව සංඝමිත්තා කුමරිය තුළ අමනාපයක් නොවී ය. ඇය ඔහු ගේ උදාර අධ්‍යාශය අවංක හෘදයෙන් ම අනුමත කළා ය.

නොබෝ කලෙකින් සංඝමිත්තා කුමරියගේ දයාබර පුතණුවන් වූ සුමන කුමාරයාත් සත් හැවිරිදි වියට පිවිසෙනවාත් සමග ම සසුන් පැවිද්ද ලැබී ය. අනුහය කෝටියක් ධනය වියදම් කොට සුවාසූ දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් සුවාසූ දහසක් වෙහෙර විහාර කොටත් හිමි නොවූ සාසන බන්ධූත්වය ට සිය පියාණන් වහන්සේ පත් කරවනු පිණිස මහින්ද කුමාරයාණෝ බුදු සසුන්හි පැවිදි බව ලැබූ හ. කුඩා කල පටන් විරාගික හැගීම්වලින් පිබිදී සිටි සංඝමිත්තා කුමරියට ලෞකික සැප සම්පත් තව දුරටත් විඳීමට අවශ්‍යතාවක් නොවී ය. ස්වකීය සැමියාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයාත් සිය පුත් සුමන කුමාරයාත්, සහෝදර මහින්ද කුමාරයාත් සසුන්හි උතුම් පැවිදි බව ලැබූ හෙයින් සංඝමිත්තා කුමරියගේ අපේක්ෂාව වූයේ ද පැවිදි වීමට ය. ඇයගේ උදාර අධ්‍යාශය පිය රජතුමා හට දැන්වී ය. අශෝක චක්‍රවර්තීන් සිය අනුමැතිය ඒ සඳහා දුන්නේ ය. ආයුපාලි නම් මහරහත් මෙහෙණින් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා ධම්මපාලි නම් මහරහත් මෙහෙණින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සංඝමිත්තා කුමරිය භික්ෂූණී ශාසනයෙහි පැවිදි වූවා ය. මහා ආත්ම විශ්වාසයකින් හා චිත්ත බලයකින් යුක්තව ක්‍රියා කළ සඟමිත් තෙරණිය නොබෝ කලෙකින්ම සව් කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත්වූවා ය.

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක (29) පෝදා පත්‍රයේ පළවේ.