Print this Article


මහින්දාගමනය හා දුමින්දාගමනය

මහින්දාගමනය හා දුමින්දාගමනය

වෙසක් පෝය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා වැදගත් පොහොය දිනයක් වනුයේ සම්බුදු තෙමඟුල හේතුවෙනි. ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් මෙන්ම, සුවිශේෂී පොහොය දෙකකි. එනම් පොසොන් පොහොය හා උඳුවප් පොහොයයි.

බුදුරදුන්ගේ දහම් පණිවුඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ පොසොන් පොහොය දිනයක ය. ශ්‍රී ලාංකේය සමාජය නව ගමන් මගකට යොමු කළ මහින්දාගමනය හුදු ධර්ම දූත සේවයක් පමණක් නොවුණි. එය ආගමික ඉතිහාසයේ සිදු වූ වඩාත් සංවිධානාත්මකම ධර්ම දූත සේවාව බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ. දෙවැන්න දුමින්දාගමනයයි. එනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමයි. එය සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම හුදු දූත සේවාවක් පමණක් ම නොවූ බව ඉතිහාසය විමර්ශනාක්‍ෂියෙන් විමසන්නෙකුට පෙනෙන කාරණාවකි. බෝධීන් වහන්සේ පිළිබඳ කථනයට මහින්දාගමනය පිළිබඳ පූර්විකාවක් සිදුකර ගැනීම වඩාත් යෝග්‍ය ය.

ලංකාව සහ ඉන්දියාව අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ප්‍රතිඵල ලෙස ලංකාවට බුදුදහමේ පණිවුඩය රැගෙන එන ලද්දේ ධර්මාශෝක රජුගේ පුත්‍රයකු වූ මහින්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන භික්ෂූන් සහ භණ්ඩුක යන උපාසක ඇතුළු සත්දෙනෙක් විසිනි. මෙලෙස ලංකාවේ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසිකත්වය තහවුරු කිරීමට හේතුවන පුරාවිද්‍යා මූලාශ්‍රයන් ද හමුව ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් හමු වූ ශිලා ලේඛනය එම පුරාවිද්‍යා මූලාශ්‍රයයි. ක්‍රි:පූ: තෙවන හෝ දෙවන සියවස්වලට අයත්යැයි සැලකිය හැකි මෙම ශිලාලේඛනය තුළ බ්‍රාහ්මීය අක්ෂරයෙන් මහින්ද තෙරුන් හා ඉට්ඨිය තෙරුන් ගැන සඳහන්ව තිබේ.

මෙම සාධකයට අමතරව මහින්ද හිමියන්ගේ සහ උත්තිය, ඉට්ඨිය යන හිමිවරුන්ගේ ප්‍රතිමාවන් පිළිබඳව සඳහනක් ක්‍රි:ව: පළමුවන සියවසට අයත්යැයි සැලකෙන මහාදාඨික මහානාග රජුගේ මිහින්තලා පර්වත ලිපියේ අන්තර්ගතව තිබේ. එසේම හතරවන මිහිඳු රජුගේ පුවරු ලිපියක ද මහින්ද තෙරුන් පිළිබඳව සඳහන්ව ඇත. මෙකී තොරතුරු තුළ වංසකතා ඉතා විස්තරාර්ථ වශයෙන් දක්වන, ලක්දිවට බුදුදහම රැගෙන ඒමේ කතාව ඓතිහාසිකමය වශයෙන් සත්‍ය සිදුවීමක් වන බැව් තහවුරු වනු ඇත. මිහින්තලයේ අම්බස්තලයේ දී මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජු හමුවීමත් සමඟ ලංකාවාසීන්ට බුදුදහමේ ආභාසය වින්දනය කිරීමේ අවස්ථාව උදාවිය. ලංකාව තුළ බුදුදහම ප්‍රචාරය ඇරැඹෙන්නේ, මිහිඳු මා හිමියන් විසින් ශ්‍රමණයන්, නැතහොත් භික්ෂූන් කවුරුන්ද යන වග හා භික්ෂු ප්‍රතිපත්ති කවරේද යන වග දේවානම්පියතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පමණ ජනයාට අවබෝධ කරදීම සඳහා චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව බව සාරත්ථප්පකාසිනියේ සඳහන් වේ. චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රයට අමතරව සමචිත්ත පරියාය සූත්‍රය, පේතවත්‍ථු, විමානවත්‍ථු, දේවදූත සංයුත්තය, බාලපණ්ඩිත සූත්‍රය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, අනමතග්ග සූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය, ගොමය පිණ්ඩූපම සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, මහාසමය සූත්‍රය යනාදී සූත්‍ර සිංහල බසින් ලංකාදීප වාසීන්ට දේශනා කොට නිවැරැදි ධර්මාවබෝධයක් ලබාදීමට මිහිඳු හිමියන්ට හැකිවීම නිසා බෞද්ධානුකූල සමාජයකට පදනම වැටුණි. එම පදනම ලංකා සංඝ සංස්ථා වර්ධනයට ද හේතු විය.

මෙබඳු පසුබිමක් යටතේ ලංකාව තුළ සංඝ සංස්ථාවේ ප්‍රාරම්භය පිළිබඳ අවධානය යොමුකිරීමේ දී මිහිඳු හිමියන් මිස්සක පව්වට වැඩි දිනයේ ම භණ්ඩුක උපාසකයා පැවිදි කිරීමෙන් ලක්වාසීන්ට භික්ෂුවක් නිර්මාණය වන්නේ කෙසේද යන්න පෙන්වාදෙන ලදී. මෙම සිදුවීමෙන් පසුව ලංකාවේ ම උපන් කෙනෙකුගේ පැවිදිවීම සම්බන්ධ තොරතුරු හමුවන්නේ මිහිදු හිමියන් ලංකාවට වැඩම කොට දින විසිහතක් පමණ ගෙවී යාමෙන් අනතුරුව ය. මෙසේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කොට දින විසිහතක් පමණ ගෙවී යාමෙන් පසු වස්විසීම සඳහා මිහින්තලයට වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජුගේ බෑණා කෙනෙකු වූ අරිට්ඨ ඇමති තවත් පනස් පස්දෙනෙකු සමග ප්‍රවෘජ්‍යා භාවයට පත්වී ය. මේ වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු වංශකතාවේ ප්‍රභවයයි.

මෙසේ බිහිවන ශ්‍රී ලාංකේය සංඝ සමාජය, ලංකා සමාජදේහය පුරා විසිරී පැතිරී යන්නේ එයට ලැබුණු අප්‍රමාණ රාජ්‍ය අනුග්‍රහය නිසා බව වටහාගත හැකි ය. මෙසේ මිහින්තලයේ දී අලුත් ප්‍රවෘජ්‍යා භික්ෂූන් ඇතුළු හැටනමක් වූ භික්ෂුසංඝයාට වස් විසීම සඳහා ආවාස නොතිබූ බැවින් දෙවනපෑතිස් රජු මිහින්තලය අවට පිහිටි ගල්ලෙන් ශුද්ධ පවිත්‍ර කරවා ආවාස ලෙස පූජා කළේ ය. මෙම ආරාම පූජාවට ප්‍රථමයෙන් දෙවනපෑතිස් නිරිඳු ලංකාවේ සිදු කළ ප්‍රථම භෞතික පූජාව ලෙසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේට මහමෙවුනා උයන පූජා කළේ ය. මහමෙවුනා පූජාව අනුරපුරයේ සංඝ සංස්ථාව ස්ථාවරව පිහිටීම උදෙසා ප්‍රබල බලපෑමක් කරන ලද පූජාවක් ලෙසින් හඳුනාගත හැකි ය. වර්තමානය දක්වා සුරක්‍ෂිතව පවත්නා ථේරවාද භික්ෂු උරුමයේ මූලස්ථානය මේ මතින් වර්ධනය වේ. ඒ මහාවිහාරයයි. මෙකී පූජාවෙන් පසුව මිහිඳු හිමියන් විසින් මහාවිහාරය තුළ පිහිටිය යුතු විහාරාරාංගයන් පිළිබඳව රජු දැනුවත් කරමින් සීමාවන් සලකුණු කරවන ලදී.

මෙලෙසින් මහමෙවුනා උයන පදනම් කරගනිමින් මහාවිහාරය ගොඩනැංවීම උදෙසා අවශ්‍ය මූලික පදනම් මිහිඳු හිමියන් විසින් ඇති කරවනු ලැබී ය. මෙම අවස්ථාව පිළිබඳ තොරතුරු දක්වන මහාවංසය, අතපැන් වක්කොට මිහිඳු හිමියන්ට දෙවනපෑතිස් රජු විසින් මහමෙවුනාව පූජාකරන අවස්ථාවේ පොළොව කම්පිත වූ බවත් ඒ මන්දැයි මිහිඳු හිමියන්ගෙන් රජු විචාළ කල්හි ලංකාවේ බුදුසසුන පිහිටි නිසා මිහිකත කම්පා වූ බවත් දක්වයි. මේ සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවේ දැක්වෙන්නේ ලංකාවේ බුදුසසුන පිහිටියේදැයි දෙවනපෑතිස් රජු අසන පැනයට මිහිඳු හිමියන් ලංකාවේ මව්පිය යුවලකට දාව උපන් දරුවකු පැවිදිව විනය සංගායනා කරන තෙක් සසුන නොපිහිටියේ ය, යනුවෙන් පැවසී ය, යනුවෙනි.

ලංකාවේ ප්‍රථමයෙන් ම පැවිදි වූ අරිට්ඨ තෙරණුවන්ගේ මූලිකත්වය යටතේ ථූපාරාම විහාරයේදී විනය සංගායනා කිරීමෙන් ඉක්බිතිව ලංකාවේ බුදුසසුන ස්ථිරවම පිහිටියේයැයි සමන්තපාසාදිකාව දක්වයි. උක්ත මහාවංස කරුණටත් සමන්තපාසාදිකා කරුණටත් අමතරව මෙකී කාරණාව සම්බන්ධිතව ම මහාවංසයේ 15වන පරිච්ඡේදයේ සහ දීපවංශයේ 14වන පරිච්ඡේදයේ දැක්වෙන්නේ ලක්දිව බුදුසසුන පිහිටියේදැයි දෙවනපෑතිස් රජු විමසන පැනයට මිහිඳු හිමියන්ගේ පිළිතුර වී ඇත්තේ ලංකාවේ බුදුසසුන පිහිටන්නේ උපෝසථ කර්ම සහ වෙනත් සංඝ කර්ම කිරීම සඳහා බුද්ධ දේශනාවේ කියැවෙන පරිදි සීමාවක් පිහිටුවහොත් පමණයි, යනුවෙනි. මේ තොරතුරු පිළිබඳව අවධානය යොමුකිරීමේ දී පෙනෙන්නේ ලංකාවේ බුද්ධශාසනයේ පිහිටවීම ස්ථිර කිරීම පිළිබඳ නිල ප්‍රකාශයක් මේ තුළ අන්තර්ගතව ඇති බවයි. ලක්දිව බුදුදහම පිහිටීම හා සම්බන්ධිත උක්ත ප්‍රකාශයන්ගෙන් ප්‍රථම ප්‍රකාශනය අත්හැර ඉතිරි ප්‍රකාශන ගැන සියුම්ව අධ්‍යයනය කරන විට පෙනී යනුයේ ලංකාවේම උපන් භික්ෂු පරපුරක ඇරඹුම සනිටුහන් වන තෙක් මෙහි බුදුදහම ස්ථිරව පිහිටියේයැයි ප්‍රකාශ කිරීමට මිහිඳු හිමියන් ද කටයුතු කොට නොමැති බවයි. උභයකුල පාරිශුද්ධ ශ්‍රී ලාංකේය සංඝ සංස්ථාව මතින් ලංකාවේ බුදුදහම ඉදිරියට ගලා යනු ඇති බව මිහිඳු හිමියන් ද අපේක්ෂා කොට ඇති බව පැහැදිලි ය.

මෙකී මතවාදයේ යථාර්ථය මිහිඳු හිමියන් ජීවමාන සමයේ දී ම දැකගත හැකි ය. අරිට්ඨ කුමරු අතුළුව පනස් පස් දෙනෙකු පැවිදිව නොබෝ කලකින්ම දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇමතියෙක් තවත් පන්සියයක් පමණ පිරිසක් සමඟ පැවිදි වූ හ. එසේම දෙවනපෑතිස් රජුගේම සොහොයුරෙකු වන අභය කුමාරයා සමග දහසක් පමණ දෙනා ද චේතාපි, මිහරවිජ, දොරමඬුලු, ගල්පිටිය, උපතිස්ස යන නමින් හැඳීන්වෙන අය සමඟ පන්සියයක් බැඟින් ද මහණවීම තුළ අනුරපුර යුගයේ මුල්කාලීනවම කෙතරම් භික්ෂු ප්‍රජාවක් ලංකාව තුළ නිර්මාණය වී ඇද්ද යන්න වටහා ගැනීමට පුළුවන. භික්ෂු සමාජයේ වර්ධනය මෙලෙසින් සිදුවන අතරතුර සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවා ගෙන ලක්දිවට පැමිණීමත් සමගින් භික්ෂුණී ශාසනය ලංකාව තුළ බිහිවීම අනුලා බිසව ඇතුළු පන්සියයක් කතුන්ගේ ප්‍රවෘජ්‍යාව නිසා සිදුවිය. මහින්දාගමනය ලක්දිවට ඓතිහාසිකමය සංසිද්ධියක් වූවා සේ ම දුමින්දාගමනය ද ඓතිහාසික සංසිද්ධියක් බවට ප්‍රවර්තනය වී ඇත. මන්ද අනුරාධපුරයෙන් ඔබ්බට බුදුදහමේ පණිවුඩය ගලායන්නේ දුමින්දාගමනයත් සමගින් වීම නිසාවෙනි. මිහිඳු හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ දෙවනපෑතිස් රජු ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා උතුර දකුණ යා කරමින් ජනපද අධිපතියන් කැඳවීමට කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව කතරගම ක්ෂත්‍රීයයෝ ද, චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීයයෝ ද, තිවංක බමුණා ප්‍රධාන ජනයා ද මහා බෝධිරෝපණය සඳහා අනුරාධපුරයට පැමිණයහ. මහා බෝධි රෝපණයෙන් පසුව හටගත් අෂ්ටඵලරුහ බෝධි අංකුර උතුරේ දඹකොළ පටුනේ ද, දකුණේ කතරගම ද තිවංක බමුණු ගම ද චන්දන ග්‍රාමයේ ද රෝපණය කර වී ය.ඉනික්බිතිව ජනිත වූ දෙතිස්ඵලරුහ බෝ පැළ දිවයිනේ තන්හි තන්හි රෝපණය කරන ලදී. මෙලෙසින් මහා බෝධිය පදනම් කරගත් සංස්කෘතියක් දීප ව්‍යාප්තව පැතිරීම නිසාවෙන් බුදුදහමේ පණිවුඩය ඒ ඒ දෙසට ව්‍යාප්තවීමත් සමගින් සංඝ සංස්ථාවේ ස්ථාවරත්වයක් ඒ දෙස ඇතිවීමට මනා පිටුවහලක් විය. බෝධිමූල සංස්කෘතියක් යටතේ ලංකාවේ සිව්දෙස, මහාවිහාරය කේන්ද්‍ර කොටගත් ථේරීය භික්ෂු සම්ප්‍රදාය පැතිරී ගිය බව පෙනේ.

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (29) පත්‍රයේ පළවේ.