Print this Article


බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

දාන කතා නම්, දන් දීමේ අනුසස් දැක්වීම ය.බුද්ධ දේශනාවේ දාන කතා අංක එක ය. අවසාන හයවෙනි උත්කෘෂ්ඨ කතාව වනුයේ සියලු දුක් නිවාලන නිවන පිළිබඳ විස්තර ඇතුළත් සාමූක්කංසික කතා ය. මෙහිලා දෙක සීලානිසංස කතා ය.

තෙවැන්න සුගති නම් වූ දිව්‍ය ,බ්‍රහ්ම, මනුස්ස ලෝක පිළිබඳ කියැවෙන සග්ග කතා ය. සිව්වැන්න වූයේ සියල්ල අත්හැරීම නම් වූ පැවිද්ද පිළිබඳ කියැවෙන නික්මීම නම් වූ නෙක්ඛම්ම කතා ය. පස්වැන්න වනුයේ ආනිසංස කතාය. එනම් සෑම හොඳ – නරක, යහපත් – අයහපත්, පින් – පව්, කුසල්– අකුසල් ක්‍රියාවලට ම විපාක ඇති බව විස්තර කතා ය. කෙසේ වෙතත් මේ සියලු කතා ධර්ම දේශනා වලින් අසන ඔබත්, මමත් ඒ සෑම අවස්ථාවක දී ම සිතට ගතයුත්තේ කිසිදු දුකක් නැති නිවනට ළංවීම මිස සසර සැරිසැරීම නොවේ.

අපගේ මාතෘකාව වනුයේ දාන කතාය. මේ දාන කතාවල ද ආමිස දාන – අභය දාන – ධර්ම දානාදී වශයෙන් බොහෝ බෙදා දැක්වීම් ඇතත් ආමිස දාන අනුසස් ඉදිරිපත් කිරීම මෙහි පරමාර්ථය වේ. “ආමිස” යනු පරිභෝග හෙවත් (එදිනෙදා ප්‍රයෝජනයට අදාළ) සිව්පසය නම් චීවර පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වැනි වස්තු පූජාවන්ට නමකි. මේවායින් ද අප විස්තර කරනුයේ “ආමිස දාන” හෙවත් “ආහාර දීම” ට අදාළ විස්තරයකි. මේ ආහාර පූජාව යමෙක් කර්මඵල විශ්වාස කොට දෙන්නේ නම්, ඒ දායකයා විසින් දෙකරුණක් සිහි තබාගත යුතු ය. එක නම් මේ දීම අවබෝධයෙන් දෙන දීමක් වන්නේ නම් ඔබ ප්‍රාර්ථනා කළත්, නැතත් සුන්දර පුණ්‍ය විපාකයක් ලැබෙන්නේ ම ය. දෙවන කරුණ නම්, බුදු දහමෙහි කිසිදු දුකක් නැති නිවන සාක්ෂාත් කරනුයේ අවිද්‍යාව ප්‍රහීණ කොට තණ්හාව කිසිදු ඉතිරියක් නැතිව ක්ෂය කිරීම නිසාවෙන් තමා මෙම ආහාර පිරිකර සහිත දානය දෙන්නේ ඉක්මන් භවයක දී ම සසර දුකින් මිදීමට යන අදහස සිතට ගැනීම නිවැරැදි ම චේතනාව යි. “ආමිස” යන්නට පාලි – සිංහල ශබ්ද කෝෂ වල දී ඇති තේරුම් අතර “ඇම” (BAIT)  අල්ලස (BRIBE) යන තේරුම් ද සඳහන් ව ඇත. “ඇම” යනු ලොකු මාළුවෙක් ඇල්ලීමට යොදා ගන්නා කුඩා ම කුඩා ගොදුරට යොදා ඇති නම හෝ ඒ හා සමාන එකකි. “අල්ලස” ද එසේ ය. ලොකු ලාභයක් ලබා ගැනීමට තේ එකක් – බුලත් විටක් – ආහාර වේලක් කිසියම් මුදලක් වැය කිරීම ය. අපි දන්දීමේ දී ද, චාගය (අත්හැරීම) වැනි ගුණධර්මයක් සිතට නො ගෙන ඇමක් – අල්ලසක් සේ සලකා සසර සැප පතා දන් දුනහොත් සසර ගමන දික්වන්නේ ම ය. බෞද්ධ අපේ පරමාර්ථය එය නොවේ. මහ රහත් සාරිපුත්ත සඟ පරපුරේ අවිච්ඡින්න පුරුක වූ ඔබේත් මගේත් ගම්වල වෙහෙර විහාරස්ථානවල දැනට ද වැඩ සිටින වර්තමාන මහා සංඝරත්නය මේ ආහාර දාන දීමේ දී සැලකිය යුත්තේ, දන් දීමට සුදුසුකම් ලත් මාර්ගඵලලාභී උත්තමයන් ලෙසින් ම ය. මේ බව අංගුත්තර නිකාය 1 තික නිපාතය, බ්‍රාහ්මණ වග්ගය, පිටුව 289 වච්ඡගොත්ත සූත්‍රයේ හා මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකයේ එන දක්ඛිණාවිභංග සූත්‍රයේත් කරුණු දක්වා තිබේ.

වරක් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පස්ව හුන්නේ, “ස්වාමීනි , මම භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙවැනි කථාවක් අසා ඇත. මට ම දන්දිය යුතු ය. මගේ ම ශ්‍රාවකයන්ට දන් දිය යුතු ය. අන් හට දන් නො දිය යුතු ය. අනුන්ගේ ශ්‍රාවකයන් ට දන් නොදිය යුතු ය. මට හා මගේ සව්වන්ට දුන් දෙය මහත් ඵලය, අන් සව්වන්ට දුන් දෙය සේ නොවේ” යි වශයෙනි. ස්වාමීනි, යමෙක් එසේ කියත් නම්, එය ඔබ වහන්සේ නො කියූ දෙයක් කියූ දෙයක් ලෙසින් කියන්නේ ද, කියූ දෙයක් කියන්නේ ම වේ ද, එසේත් නැතිනම් හේතු සහිත වූ කිසියම් දීමක් ගැරහීමට ලක් කරණු පිණිස ගලපා කියන්නක් දැ”යි පරිබ්‍රාජික තෙමේ ඇසී ය .එමෙන් ම “ස්වාමීනි, අපි නම් , ගෞතමයන් වහන්සේ ට දොස් පැවරීමට කිසිසේත් නො කැමති වෙමු.”

“වච්ඡ,යමෙක් එසේ කියත් ද, එය මම කියන ලද්දක් කියන්නාහු නො වෙති. මා නො කියූ දෙයක් කියා අසත්‍යයෙන් මට චෝදනා කරත්, වච්ඡ. දන් දෙන කෙනෙක් යමෙකු විසින් වළක්වන්නේ නම්, ඔහු තිදෙනෙකුට අනතුරක් කෙරෙයි.”1.දායකයාගේ පිනට 2.ප්‍රතිග්‍රාහකයාගේ ( දන් ලබන්නාගේ) ලාභයට හා 3.එසේ කරන්නාගේ යම් වෙනත් ගුණයක් තිබූයේ නම් එය ද හාරා දැමුවක් සේ වෙයි. වච්ඡය ,මෙසේ නොව යමෙක් උයා පිසා නිමකළ හැළියක්, වළඳක් සෝදා ඉඳුල් වතුර ටික කුණු දමන වලකට හෝ, කුණු ජලය ගලායන කාණුවකට දමා මෙහි යම්, ප්‍රාණියෙක් හෝ වේ නම් ඔවුන් මෙයින් යැපෙත්වා යි සිතත් නම් එයට ද පින් ලැබේ යැයි, මම කියමි. මෙසේ නම් මනුෂ්‍යයකුට දීම ගැන මම කුමක් කියන්නේ වේ ද? එනමුත් වච්ඡය,සිල්වතුන්ට දුන් දෙය මහත් ආනිසංස ඇතැයි කියන මම දුශ්ශීලයන්ට දුන් දේ එසේ නො වෙමි යයි කියමි. සිල්වතා නම් කවරේ ද? කාමච්ඡන්ද, ව්‍යාපාද,ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච හා විචිකිච්ඡා යන පඤ්චනීවරණ ප්‍රහීණ කොට මේ තුළින් යමෙක් අසේඛ විමුක්ති ඤාණ දර්ශන නම් වූ අරහත් ඵලය දක්වා පැමිණියේ වේ ද හෙතෙමේ මැනවින් ම සිල්වතා වේ.

(වච්ඡගොත්ත සූත්‍රය – 3.2.1.7 –අංගුත්තර නිකාය 1 – තික නිපාතය – බ්‍රාහ්මණ වග්ගය – පිටුව 289 )