Print this Article


ඇසුරට සුදුස්සෝ

ඇසුරට සුදුස්සෝ

මොහොතක් පාසා වෙනස් වන සිතිවිලිවලින් සම්ප්‍රයුක්ත මිනිසා වෙනස්වන කාල සීමාව පවා තේරුම් ගැනීමට ඉතාමත් ම අපහසු ය. විටෙක මෙත් සිතිවිලි ඇත්තා විටෙක වෛරී සිතිවිලිවලින් ක්‍රියා කරයි. එම පුද්ගලයා ම නැවත මෙත් සහගත අදහස්වලින් හැසිරේ. එබැවින් බුදුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා කාර්යයෙහි දී පුද්ගල විභජන ක්‍රමය චරිතය, සිතිවිලි, හැසිරීම් පාදක කොටගෙන සිදු කොට ඇති බව ගම්‍යමාන වේ. මේ ඒ සඳහා නිදර්ශනයකි.

බුදුන් වහන්සේ ඉතාමත් කල්පනාකාරීව හා ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතු චරිත පහක් පෙන්වා දී ඇත. පිළිවෙළින් ඔවුන් පිළිබඳව මෙසේ හැඳින්වීමක් කළ හැකි ය.

එහි පළමුවන පුද්ගලයා වන්නේ යමක් යමෙකු හට දන් දී, පරිත්‍යාග කොට අවමන් කරන පුද්ගලයා ය. ඔහු තමන් දුන් දෙය හරහා ප්‍රතිලාභියා තමන් යටතේ තබා ගැනීම සඳහා වෑයම් කරයි.

දෙවැන්නා වන්නේ කලක් ඇසුරු කොට අවමන් කරන පුද්ගලයා ය. යමෙකු දිගු කලක් ඇසුරු නිසරු කිරීමෙන් ඔහුගේ දුර්වලතා මෙන්ම සත්‍යතාවයන් ද, චරිත ලක්ෂණ ද දැන ගැනීමට හැකියාව ඇත. එසේ දැන හැඳිනගෙන කලක් යාමේ දී ඇතිවන අමනාපකම් සිත් රිදීම් නිසා අපි ඉතින් එයාගේ හැටි දන්නේ නැතිව ද? යනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් චරිත ඝාතනය කිරීමට සූදානම් වීම මෙම පුද්ගලයාගේ පොදු ස්වභාවය යි. එබැවින් බුදුන් වහන්සේ සං.නි. කෝසල සංයුත්තයෙහි සත්තජටිල සූත්‍රයේ දක්වන අයුරින් වර්ණයෙන්, රූපයෙන් සිනහවෙන් ,බාහිර ලක්ෂණවලින් පුද්ගලයන් නිර්මාණය කොට රහස්, දුර්වලතා අනෙක් පුද්ගලයන් ඉදිරියෙහි විශ්වාස කොට තැබීම යහපත් නොවේ. එයින් අවැඩක් වන්නේ තමන්ටම ය. එබැවින් තම තමන්ගේ පෞද්ගලිකත්වය සුදුසු පුද්ගලයන් ඉදිරියේ පමණින් තැබීමට ප්‍රඥාවන්ත විය යුතු ය.

තෙවන පුද්ගලයා වන්නේ අනුන්ගේ දොස් පරොස් අඩු පාඩු යනාදිය විමසීම සඳහා මුව අයාගෙන හිඳින පුද්ගලයා ය. ඔහු වහ වහා අනුන්ගේ දේ තමන්ගේ ග්‍රහණය වෙත ගැනීමට පසුබට නොවන්නෙකි. කේළම් යනාදිය සමාජය පුරා පතුරවන්නට මෙම පුද්ගලයා සමර්ථ වේ. අන් අයගේ අඩු පාඩු, දුර්වලතා අප හමුවේ තබනවා සේ ම අපගේ අඩු පාඩු දුර්වලතා ප්‍රවාහනය කිරීමට ඔහු පියවර ගනී. තමන් පිළිබඳව සොයනවාට වඩා අන් අයගේ අඩු පාඩු ගැන විමසිලිමත් වීම මොහුගේ පොදු ලක්ෂණය යි. එවැන්නන් ද ජීවිතයට අතිශයින්ම අහිතකර පුද්ගලයෝ වෙති. එබැවින් ඔවුන් ද පරීක්ෂාවෙන් ඇසුරු කිරීම නුවණට හුරු ය.

සිව්වැනි පුද්ගලයා වන්නේ දැඩි ලෝල සහගත පුද්ගලයා යි. එහි අදහස වන්නේ සෘජු අදහස් නොමැති පුද්ගලයා යනු යි. ධර්මානුකූලව ගතහොත් ශ්‍රද්ධාව නොමැති පුද්ගලයා ලෙස හඳුන්වන්නේ ද මොහුම ය. විවිධ පුද්ගලයන්ගේ වචන වලට අදහස්වලට ඉක්මනින්ම නම්‍යශීලී වීම මෙම අයගේ ලක්ෂණ වේ. ඔවුන්ගෙන් අපට වන පීඩා වැඩි ය. ඉතා සමීපතමයන් සේ පෙන්වා, අන් අයගේ කීම අසා ඇතැම් විට මුදලට ලාභයට ගිජුව ජීවිත හානි පවා අත්කරදීමට මොවුහු සමාර්ථයෝ යි. තමන් දරන මතය වහා වෙනස් වන ස්වභාවය ඇති හෙයින් ස්ථිර නිගමනවලට එක්කර ගැනීමට ඔවුන් සුදුසු නොවේ. ඉන්ද්‍ර ඛීලයක් මෙන් එකම අරමුණක, අදහසක පිහිටන පුද්ගලයන් සොයා ගැනීම ඉතාමත් අපහසු වන නමුත් ලෝලත්වය උසුලන අය කෙරෙහි විශ්වාස තැබීම භයානක ය. එය විවිධ කරදර බාධකවලට ලක්වීමට හේතුවකි.

පස්වන පුද්ගලයා වන්නේ නුවණ මඳ වූ, ප්‍රඥාව බිඳුවක් තරම්වත් නොමැති පුද්ගලයා ය. ඔහුට කුසලය අකුසලය, සරු දෙය, නිසරු දෙය, යහපත අයහපත පිළිබඳව වැටහීමක් නොමැත. තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාවකින් ක්‍රියා කරනු නො ලබයි. මුළාවට පත් ව වහා කිපෙන ගති ලක්ෂණවලින් යුතු වනවාසේ ම නොම විමසා කටයුතු කිරීම මොහුගේ ලක්ෂණ වේ. එයට නිදසුන් කතාවක් ඇත.

අතීතයේ රජ කෙනෙකු සමීපයෙහි ආදරයෙන් හදා වඩාගත් වඳුරෙකු වාසය කළේ ය. ඌ රජුට අතිශයින්ම ආදරය සෙනෙහස දැක්වූවෙකි. එබැවින් නිබඳවම රජු සමීපයෙහි විසීමට පි‍්‍රය විය. දිනක් රජු නිදි යහනේ තද නින්දක සිටින විට වඳුරා ද රජු සමීපයෙහි හිඳිමින් රජුට රැකවල් ලබා දෙන අතර රජුගේ ඇඟෙහි මැස්සෙකු වසා හිඳිනු දැක රජු කෙරෙහි ආදර පෙරදැරිව මැස්සා එළවා දැමීමට විවිධ උපක්‍රම යෙදවී ය. එහෙත් මැස්සා යළි යළි රජුගේ සිරුරෙහිම වසන්නට විය. මෙයින් කිපුණු වඳුරා රජුගේ මඟුල් කඩුව ගෙන මැස්සාට කොටන විට මැස්සා ඉවත් වී ගිය අතර කඩු පහරින් ගෙල කැපී රජුගේ මරණය සිදු විය.

මෙයින් ලැබෙන උපදේශය වන්නේ ප්‍රඥාවන්ත වූ, මුළාවට පත් නොවූ පුද්ගලයන් පමණක් ඇසුරු නිසරු කිරීමේ වැදගත්කම යි. එබැවින් ඉහත කරුණු පිළිබඳව නුවණින් විමසා ඇසුරට සුදුසු කල්‍යාණ මිත්‍රයන් පමණක් සමීප කර ගන්න.

‘නභජෙ පාපකෙ මිත්තෙ
නභජේ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ’

යන බුදු වදනට අනුව පාප මිතුරන් හා අධමයන් ඇසුරු නො කළ යුතු ය. කලණ මිතුරන් හා උතුම් පුද්ගලයන් පමණක් සමීපකර ගැනීම දෙලොවම දියුණුවට හේතුවකි.