Print this Article


සැමට පොදු වූ පංච ධර්මතා

සැමට පොදු වූ පංච ධර්මතා

" ලෝක ධර්මතා තේරුම් නොගතහොත්, අප තුළින් සිදුවන අකුසල් බහුල වන බවත්, සසර තව තවත් දිගු එකක් වන බවත් ප්‍රඥාවෙන් සිතිය යුතු ය. දෛනික ජීවිත තුළටද එම පීඩනය දරාගත නොහැකිව අනවශ්‍ය ප්‍රශ්න සමුදායකට මුහුණ දීමට සිදුවේ."

මේ ලෝකයේ බොහෝ දේ සෑම කෙනෙකුටම පොදුවේ එක සමාන අයුරින් බල නොපානු ඇත.

උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, කුලවත් – කුලීන, ධනවත් – දුප්පත් ආදි සෑම අංශයක ම ජීවත් වන්නවුන්ට එක සමාන අයුරින් බලපාන්නා වූ ධර්මතා පහක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දෙවන පණ්නාසයට අයත් ඨාන සූත්‍රය තුළින් බුදුරදුන් පෙන්වා දී ඇත. එම ධර්මතා අද යුගයට වුව ද ඉතා වැදගත් වන අතර, ඒවා පිළිබඳ නොසිතීම තුළින් අද සමාජය තුළ විවිධ ප්‍රශ්න, ගැටලු පැන නැඟීමට හේතුවක් වී ඇත. එම සූත්‍රය තුළින් පැහැදිලිකොට ඇත්තේ ජීවිතය පිළිබඳ මොහොතක් පාසා සිතිය යුතු ආකාරයත්, එය භාවනාවක් කොට ජීවත්වන ආකාරයත් පිළිබඳවයි.

“පඤ්චිමානි භික්ඛවේ ඨානානි අභිණ්හං පච්චචෙක්ඛිතබ්බානි
ඉත්ථීයා වා පුරිසේන වා,ගහට්ඨෙන වා, පබ්බජිතෙන වා කතමානි පඤ්ච”

මහණෙනි, මෙම කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය. කවර කරුණු පසෙක් ද යත්. මෙහි දී බුදුහිමි සමාජයේ ජීවත්වන සියලුම දෙනා හසුවන සේ එම ප්‍රකාශය කොට ඇත. ස්ත්‍රීන්, පුරුෂයින්, ගිහියන්, පැවිද්දන් යන සමාජයේ ඇති ප්‍රධාන කොටස් දෙක වන ගිහි පැවිදි දෙපක්ෂයම කැටිකොට සෑම සත්වයෙකුටම පොදු වූ ධර්මතා හා එම ධර්මතා තුළින් පැන යෑමට නොහැකි ආකාරය මනාව දේශනා කොට ඇත. එම කරුණු එකින් එක ගෙන හැර දැක්වීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු ඇත.

ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති ( මම දිරන ස්වභාවය ඇත්තේ ෙවි. ජරාව නොඉක්ම වූයේ වෙමි.

ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති ( මම රෝග හට ගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නොඉක්ම වූයෙමි

මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති ( මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නොඉක්ම වීමි)

සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවො විනාභාවොති (පි‍්‍රය වූ මනාප වූ සියල්ලෙන්ම මාගේ වෙන්වීම සිදු වේ)

කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්ම පටිසරණො යංකම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති – මම කර්මය දායාද කොට ඇත්තෙක් වෙමි. මම කර්මය උරුම කොට ඇත්තෙක් වෙමි. මම කර්මය සුවදුක් ලැබීම හේතුකොට ඇත්තෙක් වෙමි. මම කර්මය නෑ කොට ඇත්තෙක් වෙමි. මම කර්මය පිහිට කොට ඇත්තෙක් වෙමි.

දිරීම වනාහි ස්වභාවික දෙයකි. භද්‍ර යෞවන සමය තුළ ශරීරය තුළ ඇත්තේ සදාකාලික මනෝභාවයන් ය. එවිට ශරීරයේ යථා ස්වභාවය නොහොත්, ඒ තරුණ මදය සිතට ගත් කල්හි ශරීරයේ අනිත්‍යතාවය නොපෙනේ. එබැවින් තිදොරින් නොයෙක් දුෂ්චරිත කිරීමට ද පෙළඹේ, “පරිජිණ්ණ මිදං රූපං” මෙම රූපය දිරා යන්නේ ය. ඒ ගැන සිතීමෙන් යෞවන මදය පාලනය කර ගැනීමටත්, නැති කර ගැනීමටත් පුළුවන.

ව්‍යාධිය යනු රෝගාබාධයන්ට ලක් වීමයි. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් දේශනා කළේ නිරෝගිකම උතුම්ම ලාභය බවයි. නමුදු බොහෝ දෙනෙක් නිරන්තරයෙන් විවිධ රෝගාබාධයන්ට ලක් වේ.” රෝග නිඩ්ඩං පභං ගුරං” මේ ශරීරය රෝගයන්ට කැදැල්ලක් බඳු ය. වාතය, පිත. සෙම කිපීමෙන් ද, ඍතු වෙනස් වීමෙන් ද, අතුරු ආබාධ තුළින් ද, වස විෂ තුළින් ද, කර්ම බලපෑමෙන් ද, විවිධ රෝගාබාධ ශරීරය කරා එනු ඇත. තමා ලෙඩ රෝගවලට හසු වන්නෙක් හා එය ඉක්මවා යා නොහැක්කෙක් බව සිතා ආරෝග්‍ය මදය යටපත් කර ගැනීමට, නැති කර ගැනීමට උත්සාහවත් විය යුතු ය .

මරණය නම් ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය පහව යෑමයි. නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වී නොයෙකුත් අකුසල් කර්ම සිදු කිරීම සසර දුක් විඳීමට හේතු වේ. “මරණං තම්හි ජීවිතං” ජීවිතය මරණයෙන් අවසන් වේ. බුදු, පසේබුදු , මහරහත් වැනි කෙලෙස් නැසූ උතුමන් ද, මරණයට පත් වූහ. තමා මිය යන බව නිතර භාවනානුකූලව සිතීම “මරණානුස්සති භාවනාව“ වැඩීමක් වේ. කුමන ආකාරයෙන් ජීවත් වුව ද මරණයෙන් නම් ගැලවිය නොහැක. ඒ බව සිතා ජීවත්ව සිටිය දී පින් දහම් හා යුතුකම් ඉටු කරමින් ගුණ ධර්ම තුළින් මිනිසත්කම ඔපවත් කරගත යුතු ය.

හතරවෙනි කාරණය වන්නේ පි‍්‍රයයන් ගෙන් වෙන් වීමට සිදුවීමේ ස්වභාවය නිතර මෙනෙහි කිරීමයි. චතුරාර්ය සත්‍ය තුළ දුක්ඛ සත්‍ය පිළිබඳ හැඳින්වීමේ දී ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ද පෙන්වා දී ඇත. මිනිසුන් පි‍්‍රයයන් කෙරෙහි කැමැත්තෙන් හා රාගයෙන් වෙසෙති. ඒ රාගයෙන් මත් වූ ඔවුහු කාය, වාග්, මනෝ යන ත්‍රිවිධ දුෂ්චරිතයෙහි යෙදෙති. කවදා හෝ පි‍්‍රයයන්ගෙන් වෙන්වීමට සිදුවන බව නිතර මෙනෙහි කරන කල පි‍්‍රයයන් කෙරෙහි ඇති රාගය දුරුවීමත්, නැතිකර ගැනීමත් කළ හැකිව ඇත.

පස්වන ධර්මතාවය නම් කර්මය තුළ සියල්ල විනිශ්චය වීම ය. ලොව න්‍යාම ධර්ම පහක් ඇත. ඍතු, බීජ,ධම්ම, චිත්ත හා කර්ම වශයෙනි. කර්මය තුළින්ම සියල්ල සිදු නොවුන ද කර්මය අන් සියල්ලටම වඩා බලවත්ව පෙනී සිටිනු ඇත. කර්මය ස්වකීය කොට ගැනීම, උපත් කොට ගැනීම, ඥාති කොට ගැනීම, දායාද කොට ගැනීම, පිළිසරණ කොට ගැනීම, සැම සත්වයෙකුටම පොදුවේ සිදුවන ධර්මතාවයකි.”චේතනාහං භික්ඛවේ කම්මං වදාමි,”චේතනාව ම කර්මය වේ. එහි දී කර්මය අන් න්‍යායන්වලට වඩා බලවත් වන අතර, ඒවා කුසල හා අකුසල වශයෙන් දෙවර්ගයකින් සැදුම්ලත් ය. හොඳ සිතින් කරන ක්‍රියා කුසල වශයෙනුත්, නරක සිතින් කරන ක්‍රියා අකුසල වශයෙනුත් සසර ගමනට එකතු පාදා වන අයුරු වටහා ගත යුතු ය.

ඉහත සඳහන් කරන ලද ධර්මතා සෑම සත්වයෙකුටම අඩු වැඩි වශයෙන් බලපානු ඇත. බුදුන් කල සිටි පූතිගත්තතිස්ස තෙරුන් දැඩි රෝගාබාධයකට ගොදුරු වූවෙකි. භක්කුල හිමි අවුරුදු එකසිය හැටක් ආයු වින්ද හිමි නමකි. කිසාගෝතමී, පාටාචාරා පි‍්‍රයයන්ගෙන් වෙන් වීම උමතු අයුරින් ප්‍රදර්ශනය කළ කාන්තාවන් ය. පසුකල ඔවුහු එහි යථාර්ථය වටහා ගත්හ. මරණ දෝංකාරයෙන් සලිත වූ ප්‍රකට චරිතයක් වන්නේ ආනන්ද හිමියන් ය. බුදු හිමිගේ පිරිනිවීම දරාගත නොහැකිව කඳුළු හෙලූ භික්ෂුවකි.

මේ අයුරින් කාටත් පොදු වූ ලෝක ධර්මතා තේරුම් නොගතහොත්, අප තුළින් සිදුවන අකුසල් බහුල වන බවත්, සසර තව තවත් දිගු එකක් වන බවත් ප්‍රඥාවෙන් සිතිය යුතු ය. දෛනික ජීවිත තුළටද එම පීඩනය දරාගත නොහැකිව අනවශ්‍ය ප්‍රශ්න සමුදායකට මුහුණ දීමට සිදුවේ. එබැවින් කාටත් වෙනසක් නොමැතිව උරුම වන පොදු ධර්මතා සෑම දෙනෙකුටම උරුම වන බවත්, එයින් පළා යාමට නොහැකි බවත් උපන් සත්වයින් විසින් නිරන්තරයෙන් සිතිය යුතු ය.