Print this Article


කවි සිතුවිලි

කවි සිතුවිලි

කෙලෙස්

තණ්හා ආශා මෙවලම් පොදි බැඳ
ක්ලේශ මරඟනන් සමඟින්
කෙළවර නො දකින ජීවිත ගමනේ
උපදින අප සැම ගමන් කරනවා
පංචස්ඛන්ධය සතපාලන්නට
සැප සම්පත්වල මධු රස හින්දා
ජීවිත ගමනත් දික්වෙනවා
රන්මසු සම්පත් වස්තුව හින්දා
කෙලෙසුන් දහනය කළ නො හැක
ජීවිත ගමනේ කෙළවර දැක්මට
කෙලෙස් දහනෙන් මිදිය යුතු යි
අමරා කුරුප්පුමුල්ලගේ


උඳුවප් පොහෝ අසිරිය

පන්දහසක් වර්ෂ රැකගනු ලෙස බලය
පින් ඇති රටක් පැළ කොට සදහම් පැළය
රොන් පිරි මලක් මෙන් තෙරුවන් ගුණ බලය
තුන් වාරයක් වැඩිය බුදු හිමි තුන් හෙලය

අනුබුදු මිහිඳු හිමි වැඩියා අනුර පුර
මනුසත් ගුණෙන් හඬවා බුදු දහම් බෙර
දෙනුවට බෝ සමිඳු ගෙනවිත් රහත් තෙර
අනුලා මෙහෙණකම ලැබුවා සසුන් තෙර

බුදු සිරිපද තබා සමනොළ කඳු මුදුන
සිදු කළ සේක පින්කෙත සැමටම බොදුන
බොදුවන් පා ගමන කරුණාවෙන් බැඳුන
උඳුවප් මහේ සිසිලස අසිරිය රැඳුන


නිවනට මඟ

සරා සිතැඟි මින් වැළ මෙන් වැඩෙන
මරා නො මැති විට නතුවෙයි සිත නිතින
කරා නො හැකි වෙයි යාමට පැතු නිවන
මරා සිතැඟි නවතමු යන බව ගමන


සව් සඟන රැක

නුවණැත්තෝ ය සඟ ගණ තිරසර නැණැතී
කුසලැත්තෝ ය සුදැහැමි සුරවර පිනැතී
දැනුමැත්තෝ ය සිරි සදහම් ගුණ දැනැතී
ගුණ ඇත්තෝ ය නිකෙලෙස් පිරි නැණ ගුණැතී

සිව් බුදු පහස ලද සිව් බුදු ගුණෙනි නෙක
සිව් මඟ පල අනුව බව දුක හරින සැක
සිව් වණ පිරිස සමඟින සෙව් සසුන දැක
ලෙව් විදු සසුන රැකෙනුව සව් සඟන රැක