Print this Article


පූජාච පූජනියනං

බටුවන්හේනේ බුද්ධරක්ඛිත නා හිමි

 

ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළයේ හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝ නායක කීර්ති ශ්‍රී වාගීශ්වරාචාර්ය ශාස්ත්‍රපති, පණ්ඩිත අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ සුපේෂල ශික්ෂාකාමී සංඝ පීතෘන්වහන්සේ නමකි.

1940 මැයි 24 වැනි දින බටුවන්හේනේ දී උපත ලද බුද්ධරක්ඛිත නාහිමියන්ගේ මව්පියන් වූයේ හිනිදුම විතානගේ අප්පුසිංඤෝ මහතා සහ බෙන්තොට රොබෙල් ලෙහෝරා මංචිනෝනා මහත්මියයි. 1951 නොවැම්බර් 02 වන දින කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පොතුවිල ශ්‍රී සරණතිස්ස නාහිමියන් සහ හීනටියන්ගල ජිනාරාම යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1951 නොවැම්බර් 2 වන දින බටුවන්හේනේ බුද්ධරක්ඛිත නමින් පැවිදි බිමට ඇතුළු වූ හ.

ගාල්ලේ විද්‍යාලෝක මහ පිරිවෙනට පිවිස ප්‍රාචීන අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබී ය. එහි දී වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමි, පළන්නෝරුවේ විමලධම්ම නා හිමි, මිරිස්සේ ගුණසිරි නා හිමි, තලල්ලේ ධම්මානන්ද නා හිමි යන පැවිදි පඬිවරුන්ගේ ඇසුර උන්වහන්සේගේ ජීවිතය වඩාත් උත්ප්‍රේරණීය තලයකට පිවිසීමට රුකුලක් විය.

1961 දී එවකට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක මා හිමියන් ඇතුළු කාරක සංඝ සභාවෙන් උපසම්පදාව ලබා ගත්හ.

තමන් ලද ශාස්ත්‍ර ඥානය සෙසු ලෝකයට ලබාදීමේ අරමුණ පෙරදැරිව කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ කෙටි කලක් සේවය කළේ ය. අනතුරුව තංගල්ල මහා විද්‍යාලය, වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය, නාකන්දලගොඩ මහා විද්‍යාලය, කළුවාමෝදර කනිටු විදුහල යන විද්‍යාලයන්හි සේවය කළහ. 1977 දී කළුතර දෙදිසාවේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්ව කීර්ති ශ්‍රී වාගීස්වර විනයාචාර්ය යන ගෞරව නාමයෙන් පිදුම් ලැබී ය. 1996 දී ගුරු සේවයෙන් විශ්‍රාම ගත්හ. කන්දේ විහාරය සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණව දර්ශනීය පින් බිමක් බවට පත්වූයේ නාහිමියන්ගේ දැඩි උත්සාහය නිසා ය. එංගලන්තය, බෙල්ජියම, ඉතාලිය, ඇමෙරිකාව, ඉන්දියාව, කොරියාව, මලයාසියාව, ප්‍රංශය, තායිවානය, සිංගප්පූරුව, කාම්බෝජය, තිබ්බතය, කැනඩාව, ජර්මනිය, ඕලන්දය, පෘතුගාලය, ජපානය, මියන්මාරය, නේපාලය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය ආදී විදේශීය රටවල ධර්ම දූත මෙහෙවර සඳහා විශාල කැපවීමකින් ක්‍රියා කළහ.

ආගමික සේවාව මෙන්ම, සමාජ සේවාවන් සඳහා ද උන්වහන්සේ කැපවූහ. පාසල් අධ්‍යාපනය අවසන් කළ දරුවන්ගේ අනාගතය උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම හා සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් නඟා සිටුවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළහ. අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා.!


මුල්කිරිගල වජිරවංස නා හිමි

 

දෙවිනුවර වඳුරුදෙණිය පුරාණ විහාරය, කපුගම බෝමුරේ පුරාණ විහාරය, තල්පාවිල ශ්‍රී සුධර්මාරාමය, කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී ක්ෂේත්‍රාරාමය යන සිව් මහා විහාරාධිපති මාර/ සිරි උපතිස්ස පිරිවෙනෙහි අධ්‍යක්ෂ දෙවිනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, සමස්ත ලංකා සාම විනිසුරු, ප්‍රවීනාචාර්ය මුල්ගිරිගල වජිරවංශ හිමිපාණන් වහන්සේගේ ශාසනික හා සමාජීය ජීවිතය අගයමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් පසුගියදා සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද ශ්‍රී උපතිස්සාභිධාන ගෞරව නාමය සහිතව මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලැබූහ.

1958 දෙසැම්බර් මස 08 වන දින හම්බන්තොට දිසාවේ මුල්ගිරිගල ග්‍රාමයේ ගලගම ගෙදර ජන්ම භූමිය කරගනිමින් හෙට්ටිආරච්චිගේ නිකුලස් මහතා සහ වීරසූරිය ආරච්චිගේ හින්නිහාමි දම්පතින්ගේ පවුලේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය හෙට්ටිආරච්චිගේ ආරියසේන නම් විය. මේ කුමරා එවකට වඳුරුදෙණිය පුරාණ විහාරය මූලික කොට විහාරාධිපති යටිගල උපතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සමීපයෙහි 1970 ඔක්තෝබර් 28 වන දින පැවිද්ද ලබා ගත්හ. ඒ තම ජීවිතයෙහි දොළොස්වන කඩ ඉමේදී ය. පැවිද්දේ දී ලැබූ නාමය වූයේ මුල්ගිරිගල වජිරවංස නාමයයි. සාමණේර හිමිනමක් ලෙස ගුරු ඇසුරෙහි හැදී වැඩුණු හිමිපාණෝ මූලික අධ්‍යාපනය හා ද්විතීයික අධ්‍යාපනය මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයෙන් ලැබූහ. වජිරවංස සාමණේර හිමි 1979 මැයි 21 දින මහනුවර මල්වතු පාර්ශ්වීය ඓතිහාසික උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබීය. උසස් අධ්‍යාපනයෙන් පසු පරිවේණාචාර්ය හිමිනමක් ලෙස 1989 වර්ෂයේ සිට මාතර කොටුව මිගදාය රතනපාල පිරිවෙනෙහි දිගු කාලයක් අධ්‍යාපනික සේවයෙහි නිරත විය.

අනතුරුව ගුරුදේවයාණන් වහන්සේගේ නමට ගුරු පූජාවක් ලෙස ආරම්භ කරන්නට යෙදුණු මාර / සිරි උපතිස්ස පිරිවෙනෙහි ප්‍රවීණාචාර්ය හිමිනමක් ලෙස කටයුතු කරන ලදී. ස්වකීය ගුරුදේව නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මුල්ගිරිගල වජිරවංස ලොකු හාමුදුරුවෝ 2009 අප්‍රේල් 15 වන දින සිට ස්වකීය විහාරස්ථානයන්හි අධිපතිත්වයට පත්වූහ. ආගමික, ශාසනික, සංස්කෘතික හා සාමාජික කටයුතුවලදී අප්‍රමාණ මෙහෙවරක යෙදෙමින් ප්‍රදේශයේ විහාරස්ථාන සමඟ චිරාගත ශාසනික සම්බන්ධතා අවිච්ඡින්නව පවත්වමින් නාහිමියෝ කටයුතු කරති. විහාරාධිපති පදවියට පත් නාහිමි සියලු පහසුකම් සහිත දාන ශාලාවක්, අභිනව පිරිවෙන් ශාලාවක්, සහ දැනට භික්ෂු නේවාසිකාගාරයක් ඉදි කිරීමෙහි පුරෝගාමීත්වයෙන් කටයුතු කොට ඇත. විහාරස්ථානයේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද අධ්‍යාත්මික අවශ්‍යතාවයන් සපුරාලමින් මෙත් සිතින් , දයාවෙන් ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සිදුවන සේවාව සුවිශේෂී වේ. නාහිමියන්ගේ සේවය අඛණ්ඩව ගෙනයාම සඳහා දක්ෂ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු තනා ඇත. දැනට තල්පාවිල ‘සුධර්මාරාමාධිපති’ වෙහෙරහේන පූර්වාරාම මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පට්ටියවෙල සීවලී හිමි ප්‍රධාන ශිෂ්‍ය රත්නය යි. බෝමුරේ පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී තෙලිජ්ජවිල පඤ්ඤාරාම හිමි සහ දැනට කැලණිය දික්පිටිගොඩ ක්ෂේත්‍රාරාම විහාරාධිපති මිද්දෙණියේ ධම්මසේන හිමි ශිෂ්‍ය පුත්‍රයෝ අතර වෙති. මුල්ගිරිගල වජිරවංස අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 09 වනදා මහනුවර මල්වතු මහා විහාරයේ දී පැවැත්විණි. අභිනව නාහිමි පිළිගැනීමේ උළෙල දෙසැම්බර් මස 16 වන දින වඳුරුදෙණිය පුරාණ විහාරස්ථානයේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මුල්ගිරිගල වජිරවංසාභිධාන අභිනව නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දිගාසිරි පතමි.


අංකුඹුරේ ධම්මසිරි නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහනුවර දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් සහ ශී‍්‍ර පඤ්ඤාසාර සාසනාවතංස ශාසන සෝභන යන ගෞරව නාමයෙන් පිදුම් ලබන අංකුඹුරේ ධම්මසිරි නායක හිමිපාණන් වහන්සේ,

මධ්‍යම පළාතේ හරිස්පත්තුව පල්ලේ ගම්පහ අංකුඹුර එගොඩමුල්ල ග්‍රාමයේ දී 1957 ඔක්තෝබර් 24 දින ජන්ම ලාභය ලැබූහ. සේනාරත්න ගම්ලත් ගෙදර උඩහේනේගෙදර හා වැවතැන්නේ ගෙදර නන්දාවතී යන දම්පතීහු මව්පියෝ වූ හ.

මහ/අංකුඹුර පරාක්‍රම මධ්‍යම මහා විද්‍යාලයෙන් 05 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා ඇත. වයස අවුරුදු 12 දී එනම් 1969 දී ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනු දැනුම ඇතිව අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ වයඹ – මධ්‍යම පළාත් සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ගලහ පඤ්ඤාසාරාභිධාන නා හිමිපාණන්ගේ ශිෂ්‍ය වරයෙකු වශයෙන් 1970.මැයි 21 දින අංකුඹුර ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවිදි භූමියට පත්විය.

උන්වහන්සේ පැවිදි ජීවිතයේ මූලික පිරිවෙන් අධ්‍යාපනය අංකුඹුර ඉහළමුල්ල ශී‍්‍ර සෝමානන්ද පිරිවෙනෙන් සහ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙන් ලැබූ අතර උසස් පෙළ විභාගය රම්බඩගල්ල විද්‍යාසාගර මහ පිරිවෙනෙන් සහ කුරුණෑගල මලියදේව මහ පිරිවෙනෙන් ලබා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් 1990 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර, 1995 දී ශාස්ත්‍රපති උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන්ද ලබා ගත්හ.

1981 දී කොළඹ හුණුපිටිය ගංගාරාම උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාවට පත් වූ හ. උන්වහන්සේ 1990 දී ගුරු සේවය සඳහා කෑ/ගැට්ටුවාන මහා විද්‍යාලයට පළමු පත්වීම ලබා අනතරුව කු/ඉඳුල්ගොඩකන්ද ශ්‍රී නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලයේ ද ,පො/මහින්ද මධ්‍ය විද්‍යාලය, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, මහජන ඉඩමේගම මධ්‍ය මහා විද්‍යලය, මහ/උඩුව මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි දැයේ දරුවන්ගේ නැණස පෑදීමට තම ජීවිතය කැප කළ නාහිමි 2017 දී උඩුව මහා විද්‍යාලයේ විශ්‍රාම ලබා ගත් අතර එවිට උන්වහන්සේ නියෝජ්‍ය විදුහල්පති හිමියන් ලෙස රාජකාරි කටයුතු සිදුකළහ.

උන්වහන්සේගේ ශාසනික ආගමික කටයුතු අතර දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්හට දහම් අධ්‍යාපනය ලබා දෙන අතර මිල්ල ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලමින් වර්තමාන දියුණුව වෙනුවෙන් තම ශ්‍රමය, ධනය කැප කළ හ.