Print this Article


නිපාතයෙන් ...:  මහා මංගල සූත්‍රය - 2: සතහට සෙත පිණිස වදාළ උතුම් මංගල කරුණු

සුත්ත නිපාතයෙන් ...: 

මහා මංගල සූත්‍රය - 2:

සතහට සෙත පිණිස වදාළ උතුම් මංගල කරුණු

මහා මංගල සූත්‍රය දේශනා කරන්නට හේතු වූ පසුබිම හා මුල් ගාථාවන් තුනෙහි අර්ථයන් පසුගිය ලිපියෙන් විස්තර ලෙස ඉගෙන ගත්තා. භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රයෙහි හතරවෙනි ගාථාවෙන් තවත් උතුම් මංගල කරුණු කිිහිපයක් මෙසේ දේශනා කොට වදාළා.

මාතාපිතූ උපට්ඨානං - පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා - ඒතං මංගල මුත්තමං
මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැලකුම
මැනවින් වැඩ කෙරුම - මේවා උතුම් මඟුල් කරුණු ය.

මහා බ්‍රහ්මයා සම වූ මව්පියෝ

මෙහි පළමුවෙනි කාරණය මව්පිය උපස්ථානය යි. මව්පියන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ බ‍්‍රහ්මාති මාතා පිතරෝ කියායි. මව්පියන් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් යුක්ත බවයි. එමෙන් ම, පුබ්බාචරියාති වුච්චරේ – දරුවන්ට සෑම දෙයක් ම මුලින් ම කියාදෙන, යහපත අයහපත පෙන්වා දෙන මුල්ම ගුරුවරුන් ඔවුන් ය. ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා - ප්‍රජාවට අනුකම්පා කරන මව්පියන්ට දරුවන් විසින් කො පමණ දුරක් ගෙවාගෙන ගොස් වුවත් ඇප උපස්ථාන කිරීමට සුදුසු ය.

එසේම දරුවන් විසින් මව්පියන්ට ඉටුකළ යුතු යුතුකම් පහක් ද සිඟාලෝවාද සූත්‍රයේ දී මෙසේ දේශනා කොට වදාළ සේක.

* මව්පියන් විසින් හැදූ වැඩූ මම, මහලු වූ කල ඔවුන් රැක බලා ගන්නෙමි.

* මව්පියන්ට කළයුතු දෙයක් ඇති කල්හි කර දෙන්නෙමි.

* මව්පියන්ගේ කුල පරපුර ඒ අයුරින් තබා ගන්නෙමි.

* මව්පියන්ගෙන් ලද දායාදය නිසි අයුරින් පරිහරණය කරන්නෙමි.

* එමෙන් ම මව්ිපියන් මියගිය පසු දන්පැන් පුදා ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කරන්නෙමි.

සැබෑ මව්පිය උපස්ථානය

සුප්පතිකාරක නම් සූත්‍ර දේශානාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ “යම් දරුවෙක් සිය වසරක් මව්පිය දෙදෙන උරෙහි තබාගෙන, කවමින්, පොවමින්, නහවමින් ඇප උපස්ථාන කළද, කෙළෙහිගුණ සලකා අවසන් කළ නො හැකි බවයි”. නමුත් යම් දරුවෙක් මව්පියන් තෙරුවන් කෙරෙහි සිත පහදවා නම්,ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවනවා නම්, සීලයෙහි පිහිටුවනවා නම්, ධර්ම ඤාණය ඇතිකර දෙනවානම්, පරිත්‍යාගශීලී බවෙහි පිහිටුවනවා නම්, ප්‍රඥාව ඇතිකරදීමට උපකාර කරනවානම්, නියම කෙළෙහිගුණ සැලකීම එයම බව පෙන්වා වදාළ සේක. එමනිසා යම් පුද්ගලයෙක් මව්පියන් රැකබලා ගනිමින්, පංච සේඛ බලයන්හි පිහිටුවනවා නම්, එම මව්පිය උපස්ථානය යහපත උදාකර දෙන උතුම් මංගල කරුණක් වෙනවා.

සතර සංග්‍රහ වස්තුවෙන් අඹුදරුවන්ට සැලකීම

ඊළඟ මංගල කරුණ (පුත්තදාරස්ස සංගහෝ) පුත්ත කියන්නේ දරුවන්. දාර කියන්නේ බිරිඳ. අඹුදරුවන්ට දානය, පි‍්‍රය වචන, අර්ථ චරියාව, සමානාත්මතාව කියන සතර සංග්‍රහ වස්තුවෙන් අනුග්‍රහය කරනවා. උපයන ධනය අඹුදරුවන් උදෙසා මැනවින් වියදම් කරනවා. (දානය) යහපත් වචනවලින් කථාබස් කරනවා. (පි‍්‍රය වචනය) යහපත් වචන අතර අග්‍ර වූ ධර්මයන් ලබා දෙනවා. ඒ වගේම යහපතෙහි හැසිරෙනවා. (අර්ථ චරියාව) එසේම යහපතෙහි හැසිරෙද්දී හැමෝම ගුණයෙන් සමාන වෙනවා. (සමානාත්මතාව) මේ ආකාරයට අඹුදරුවන්ට සැලකීම උතුම් මංගල කරුණකි. එවැනි ධාර්මික ගිහි ජීවිත ගෙවන අයට සක් දෙවිඳුන් පවා ගෞරව කරන බව “සක්ක නමස්සන” නම් සූත්‍රයේ සඳහන් වෙනවා. අනාකුලාච කම්මන්තා කියන්නේ අයහපත් ක්‍රියාවලින් වෙන්වෙලා යහපත් කායික ක්‍රියාවන්ගෙන් යුක්ත වෙනවා. හොඳ දේ ම සිදු කරනවා. එයත් යහපත උදාකරන උතුම් මංගල කාරණාවක්.

දන් දීම ද මංගල කරුණකි

දානං ච ධම්මචරියා ච – ඤාතකානංච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගල මුත්තමං
දන්පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයින්ට සැලකීම ද – නිවරැදි දේ කිරීමද

මේවා උතුම් මඟුල් කරුණු ය.

(දානං ච) දන්දීමත් උතුම් මංගල කාරණයක් බව මෙම ගාථාවේ දී පෙන්වා දී ඇත. දන්දීමේ දී ස්වාමින් වහන්සේලා උදෙසානම්, ආර්ය සංඝරත්නයේ ගුණ සලකාගෙන පූජා කළ යුතුයි. දුගී මගී යාචකයන්හට අනුකම්පාවෙන් දන්දිය යුතුයි. කාට යමක් දුන්නත් මහත්ඵල වන්නේ අංග පහකින් යුතු සත්පුරුෂ දන්දීම බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

* සහත්ථා දානං දේති - සිය අතින්ම දන් දෙනවා

* සක්කච්චං දානං දේති - සකස් කොට පිළිවෙළකට දෙනවා

* චිත්තිකත්වා දානං දේති – ගෞරවයෙන් දන් දෙනවා

* අනපවිද්ධෝ දානං දේති – විසි නො කරන දෙයක්, පිරිසුදු ප්‍රයෝජනයට ගතහැකි දෙයක් දෙනවා.

* ආගමන දිට්ඨිකෝ දානං දේති – කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව දානය දෙනවා.

මේ ආකාරයට ත්‍යාගී ගුණය දියුණු කර ගැනීම ජීවිතයකට යහපත සැපත උදාකරන තවත් උතුම් මංගල කරුණකි.

ධර්මානුකූල ජීවිතයක් ගෙවීම

(ධම්ම චරියා ච) ධර්මයට අනුව ජීවත්වීම, ධර්මානුධර්ම ප්‍රතිපත්ති උතුම් මංගල කාරණයක් (ඤාතකානං ච සංගහෝ) දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාව කියන සතර සංග්‍රහ වස්තුවෙන් නෑදෑයින්ට සංග්‍රහ කිරීමත් මංගල කාරණාවක්. (අනවජ්ජානි කම්මානි) නිවැරැදි ක්‍රියාව කිරීම හෙවත් සිල්වත්වීම ඊළඟ කරුණ යි.

මත්වතුරෙන් වෙන්වීම

ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු - ඒතං මංගල මුත්තමං
පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත්පැනින් දුරුවීම ද – යහපතෙහි නො පමාව ද

මේවා උතුම් මඟුල් කරුණු ය.

(ආරති විරති පාපා) පවෙහි නො ඇලීමත්, හැම පවින්ම වැළකීමත් ජීවිතයකට යහපත උදා කර දෙනවා. (මජ්ජපානා ච සඤ්ඤමෝ) ඒ වගේම මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත නො කිරීම මංගල කාරණයක්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ආදීනව හයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළා.

* තමාගේ ඇස් ඉදිරියේ ම ධනය වැනසීයයි

* රෝග හටගැනීමට මුල් වෙයි

* කළකෝලාහල වැඩෙයි

* අපකීර්තිය උපදියි

* කයෙහි වසාගත යුතු තැන් බාහිරට පෙන්වමින් හැසිරෙයි

* ප්‍රඥාව දුර්වල කරවයි.

එමනිසා වැළකීම විශාල යහපතක් උදාකර දෙනවා

අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්න

(අප්පමාදෝ ච ධම්මේසු) ධර්මයේ හැසිරීමට ප්‍රමාද නො වීම ඉතාම වැදගත්. සමහර පිරිස් සිතා සිටින්නේ ධර්මයේ හැසිරීම කියන්නේ විහාරස්ථානයකට, භාවනා මධ්‍යස්ථානයකට ගොස් පමණක් කරන්න තිබෙන දෙයක් ලෙස යි. නමුත් සිව් ඉරියව්වේ දී ම හැම තැනක දී ම අකුසල් හටගන්නට නො දී සිහියෙන් ඉන්නවානම්, ඒ කෙනා ධර්මයේ හැසිරෙනවා. ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය කරනවානම්, ඔහු ධර්මයේ හැසිරෙනවා. සිල්පද ආරක්ෂා කරනවානම්, භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව යුතුකම් වගකීම් ඉටු කරනවානම්, ධර්මයේ හැසිරෙනවා නම්, බුදුගුණ සිහි කරනවානම්, මෙත් සිත පතුරවනවානම්, සතර සතිපට්ඨානයේ යෙදෙනවානම් ඔහු ධර්මයේ හැසිරෙන කෙනෙක්. “අප්පමාදෝ ච ධම්මේසු” කියන්නේ සිහිය, නුවණ, වීරිය උපකාරි කරගෙන ගෙවෙන මොහොතක් මොහොතක් තුළ ධර්මයේ හැසිරීම යි. එය ජීවිතයකට විශාල යහපතක් උදාකර දෙන, මහත් රැකවරණයක් ලබාදෙන උතුම් ම මංගල කාරණාවක් බව භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ අප්පමාද වර්ගයේ දී පෙන්වා වදාළ සේක.