Print this Article


චාරිත්‍ර හා වාරිත්‍ර සීලය

චාරිත්‍ර හා වාරිත්‍ර සීලය

චාරිත්‍ර යනු පිළිපැදීමයි. වාරිත්‍ර යනු වැළකී සිටීමයි. විරති, සමාදාන යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. සියලු පව් නොකිරීමත්, කුසල් ඉපිදවීමත්, සිය සිත සංවර කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාව වෙයි.” (සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා) මෙහි පළමු කරුණු දෙකම සම්බන්ධ වන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර දෙකට ය.

ප්‍රාණ ඝාතයෙන් වළකින තැනැත්තා දඬු මුඟුරු බැහැර කොට, අවි ආයුධ බැහැර කොට, පවට ලජ්ජා වෙමින්, දයාවෙන් යුක්ත ව සියලු ප්‍රාණීන් සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව විසිය යුතු ය. මෙහිලා ප්‍රාණඝාතයෙහි යෙදෙන තැනැත්තා ගේ මනසේ පවත්නා ද්වේෂ මූලික සිතිවිලි වෙනුවට මෙත් සහගත සිතිවිලි දක්වා පුද්ගලයා සංවර්ධනය කිරීම අරමුණු වෙයි. හුදෙක් මානසික සංවර්ධනයකින් තොරව සිදු කරන බාහිර ප්‍රදර්ශනයට පමණක් ආරක්ෂා කරනු ලබන සීලය සීලබ්බත හෙවත් සීල ව්‍රතයක් යනුවෙන් හඳුන්වා දිය යුතු ය. ප්‍රාණඝාතයෙන් වැළකීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵලය පුද්ගලයා වෙත පැමිණෙනුයේ ඔහු මෛත්‍රීයෙන් යුතු පුද්ගලයෙක් වීමෙනි. නොඑසේ නම් වැළකී සිටීම සිරගත පුද්ගලයෙක් තුළින් වුව ද නිරායාසයෙන් ම සිදුවේ. ‘මෙත්ත’ සූත්‍රයේ දී පෙන්වා දෙනුයේ සියලු ලෝ වැසියන් කෙරෙහි මෛත්‍රී මනස වැඩිය යුතු බවයි. (මෙත්තං ච සබ්බ ලොකස්මිං - මානසං භාවයෙ අපරිමාණං) ‘වසල’ සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ” යමෙක් තුළ ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැති ද හෙතෙම වසලයෙකු බවයි.

සොරකමින් වළකින පුද්ගලයා දෙන දේ ගනුයේ (දින්නාදායී), සිතිනුදු දෙන දේ පමණක් බලාපොරොත්තු වනුයේ (දින්නපාඨිකංඛී), නොසොර වූ (අථෙනෙන) අපිරිසුදු අයෙක් ව (සුවිභූතෙන) ජීවත් වෙයි. මෙහිලා දෙන දේ ගැනීම ලෙසින් පැහැදිලි කෙරෙනුයේ සාධාරණ ලෙස තබා ගැනීම මිස දෙන දේ නමුත් අසාධාරණයෙන් ලබා ගැනීම නොවේ. තමන් වෙත ලැබෙන දේ නමුත් ඊට අදාළ සේවය හෝ භාණ්ඩ ලබා දීමෙන් මිස වෙනත් වඤ්චක විධි ක්‍රමයන්ගෙන් ලබා ගැනීම මේ අනුව සොරකමින් වැළකීමේ සිල්පදය බිඳින්නේ වෙයි. තුලා කූට, මාන කූට, කංස කූට ආදී වශයෙන් සිදුකරන කූටකම් සේ ම, වඤ්චන, නිකති සාතියෝගාදී පයෝගයන් ද පුද්ගලයාගේ ආජීවය පිරිහීමට පමුණුවයි.

කාමයෙහි වරදවා හැසිරීම තිරච්ඡාන ධර්මයකි. යමෙක් මිත්‍යා කාම සේවනයෙන් වැළකෙන්නේ නම්, හෙතෙම තිරිසන්කමෙන් මිදෙන අතර බඹසර රකින්නේ නම් ආර්ය වූ චරිතයකට හිමිකම් කියයි. සුත්ත නිපාතයේ ‘කාම’ සුතුරට අනුව කාමය යනු අඟුරු වළකි. එබැවින් කාමයට ඇති කැමැත්ත අඟුරු වළකින් ඈත්වන්නෙකු සේ දුරු කළ යුතු ය. බහුභාර්යා සේවනය ඇතැම් සමාජයන්හි සම්මතව පැවති කරුණක් වෙතත් බුදුසමය වඩාත් අගය කරනුයේ සිය බිරිඳගෙන් සංතෘප්ත වී ගත කරන ජීවිතය බව පැහැදිලි ය.

මුසාවාදය යන්නෙන් බොරුව පමණක් නොව සියලු වාචසික අකුසල් නියෝජනය වන්නකි. මුසාවෙන් වළකින පුද්ගලයා සත්‍ය පවසන, (සච්චවාදී) ඇත්තට ඇත්ත ගලපන, (සච්චසන්ධෝ) ස්ථිර කතා ඇති, (ථෙතො) හේතු සහිත දේ පමණක් පවසන, (සච්චයිකො) සමාජයේ විසංවාදී අදහස් නො තෙපළන, (අවිසංවාදෙකා ලොකස්ස) අයෙක් විය යුතු ය. රළු වදනින් වළකින්නා මිහිරි, (නෙලා) කණට සුව දෙන, (කණ්ණ සුඛා) ප්‍රේමනීය, (පෙමණියො) හදවතට කිඳා බසින,(හදයංගමා) බොහෝ ජනයාට යහපත සලසන, (බහුජන කන්තා) බොහෝ ජනයාට මනාපවූ, (බහුජනමනාපා), ශිෂ්ට මිනිසුන් කතා කරන වචන (පොරි) තෙපළිය යුතු ය.

පිසුණු වදනින් වළකින්නා මෙතන අසා එතන නොපවසන, එතන අසා මෙතැන නොපවසන, බිඳුනුවන් සමගි කරන වචන ඇත්තෙක් විය යුතු ය. හිස් වචන නොකියන්නා කාලයෙහි සුදුසු දෙයක් පමණක් අර්ථවත්ව කතා කරන්නෙක් විය යුතු ය. මෙසේ චතුර්විධ වාග් අකුසලයන්ගෙන් වළකින්නා සේ ම වාග් සුචරිතයේ විවිධ ඉසව් පිළිබඳව ද චාරිත්‍ර සීලයෙහි ගම්‍යමාන වේ.

රහමෙර පානය සමාජය අවුලෙන් අවුලට පත් කරයි. පවුල් ජීවිත විනාශ කරයි. දරුවන්ගේ ජීවිත ද අඳුරේ හෙළයි. එවන් රහමෙර පානයෙහි ආදීනව පසක් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඇස් හමුවේ ම ධනය විනාශ වීම, කළහ ඇතිවීම, රෝගයන්ට ගොදුරු වීම, අපකීර්තිය පැතිරීම, පැණැස දුර්වලවීම යනාදියයි. යමෙක් ලාමක ධර්මයක් වන රහමෙර පානය කරයි නම්, යථෝක්ත හානි පහ ඒකාන්තයෙන් ම හිමි කර ගනියි. එමෙන් ම සුරාමේරය පානය යමෙක් පුන පුනා සිදු කරයි නම්, හෙතෙමේ මෙලොව දීම සිය මුල කපා ගන්නා බව බුදුරදුහු ධම්මපදයේ දී පෙන්වා දෙති.

රහමෙර පානයෙන් වැළකී සිටීම මෙන්ම සමාජගත යථෝක්ත ක්‍රියාවලිය විෂයෙහි විරුද්ධ වූ වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම හා මෙම පිළිලය සමාජයෙන් අතුගා දැමීම විෂයෙහි ක්‍රියාත්මක වීම ද සිදුකළ යුත්තකි. එසේ වූ කල්හිම රහමෙර පානයෙන් වැළකීම නම් වූ විරතිය හා එයට එරෙහි වීම නම් වූ සමාදානය ද ආරක්ෂා වන්නේ වෙයි. මේ ආදී නයින් බුදුන් වහන්සේ චාරිත්‍ර හා වාරිත්‍ර සීලය තවත් බොහෝ තන්හි ආචාරාත්මක සංවර්ධනය විෂයෙහි දේශනා කොට ඇතිබව අවධාරණය කළ යුතු ය.