Print this Article


පහන් සිතක කවි

එතෙර වුණෙමි

අනියත මේ පස් කඳ මම ය කියා
දුක යැ’යි උරුමකරගත් ජීවිතය නිසා
අනාත්මයේ තිලකුණු නො දැන සොයා
සසර දිගුයි අවිඳු අඳුර දෝර ගියා

****

සිතට සුවය රටට සවිය

ගලන ගඟක් දෙස නෙත
යොමු කර දරුවෙනි සිත
විකසිත කර බලනු මැනවි
ඔවදන් මිණි මුතු ඇත

වැඩිහිටියන් නිතරම
සිහි කරමින් බැති පෙම
යොමු කළ මැන කරුණාවෙන්
විඳ ගැනුමට සැනසුම

සම්බුදු හිමි වදහළ
සුව විඳ බණ පදවල
දැහැමි හැඟුම් තැන්පත් කර
ගනු මැන හදවත තුළ

****

පිරිහීම

වටකර පිරිස් හිස් වචනම දෙඩවීම
පිටකර කෝප වදනින් බැණ අඬගෑම
කෙටිකර වැඩ නිතර අලසව වැතිරීම
කැටිකර කියමු පිරිහෙන්නට හැක එහෙම

දැඩි ශිතලය තද රශ්නය, බැහැ දැන්ම
බඩ ගිනි වැඩිය බඩ පිරිලය මඟ හැරුම
වැඩ කල් දමන රිසියෙන් බස් මිමිණීම
මැඩ නො ගතහොත් , හරි ලේසියි පිරිහීම

****

සමාධි පිළිම වහන්සේ

මෙත් කරුණා ගුණ
ඇද හැලෙනා
සමාධි බුදු
පිළිම වහන්සේ

අඩවන් වූ දෙනෙතේ
පින්බර මුහුණ
බලා හිඳිමි
සමාධි පිළිම වහන්සේ

****

ඡායාව

උදෑසන දුටු
මේ තුරෙහි ඡායාව
සවස් කල දකින කල
වෙනස් වී තුර සමඟ
වෙනස් වූ මගෙ දෑස
ස්පර්ශ වෙන අයුරු

****

කිරි අම්මාවරු

ගොයම් කපාලා පාගාලා
මුල් අස්වැන්නෙන් වෙන් කරලා
මළ ගිය අයන් සිහි කරලා
බුදුන්ට කිරිපිඬු පූජා කළා

අම්මාවරු සුදු පිරුවට ඇඳලා
ගේ අද්දර ගුරු පාරට වැඩලා
කඩුල්ල ළඟදී පේළියෙ සැදිලා
කිරි අම්මාවරු දානෙට වැඩලා

****

බණ පොත

සිත සනහන
අවුල් වූ සත
නිරවුල් කරමින්
බණ පොතක්
දිවියට නිති

අස්වැසිල්ලකි
උපැස් යුවළ යටින්
නළල් තලය
රැළි නංවමින්
බණ පොත කියවන්නේ
දිවි මඟ නිසි මඟට
ගෙන
සැනසුම පතා
අසතුට නසමින්
සතුටු සිනා නංවමිනා
බණ පොතෙහි ඇති මඟ යන්නේ