Print this Article


පිරිත් දේශනාව 29 : ආලවක සූත්‍රය - 3 කොටස

ආලවක සූත්‍රය

3 කොටස

ඇති ඕනෑම ප්‍රශ්නයක් විමසන ලෙස බුදුරදුන් ආලවකට දැන්වූ හ. ආලවකගේ මව්පියන් කාශ්‍යප බුදුරදුන්ගෙන් විමසා දැනගත් ප්‍රශ්න ගණනාවක් හා පිළිතුරු ආලවකට කුඩා කාලයේ ඉගැන්වූයේ ය. නමුත් ආලවකට කාලයාගේ ඇවෑමෙන් ඒවා අමතක විය.

ආලවක බුදුරදුන් හමුවට පැමිණියේ ය. පැමිණ බුදුරදුන්ට විමානයෙන් බැහැරට යන ලෙස ප්‍රකාශ කළේ ය. බුදුරදුන් බැහැර විය. විමානයට පිවිසෙන ලෙස දන්වන ලදී. බුදුරදුන් පිවිසුණේ ය. මෙලෙසින් බුදුරදුන් සිදුකරන විට මේ අයුරින් ඉතා පහසුවෙන් ශ්‍රමණයන් වෙහෙසට පත්කර දමනය කිරීමට හැකියාව තිබෙද් දී තමන් වෙන දෙයක් කළේ මන්දැයි කල්පනා කරමින් ආලවක බුදුරදුන් රාත්‍රිය පුරාම එළියට යන ලෙස පවසමින් ඇතුළට එන ලෙස පවසමින් වෙහෙසට පත් කරන්නේ යැයි කල්පනා කරන්නේ ය.

බුදුරදුන් ආලවකගේ දැන්වීම අවස්ථා තුනක් ඉටු කළේ ය. සිව්වන වාරයේ දී තමන් එළියට වැඩම නොකරන බවත්, කළ හැක්කක් ඇත්තේ නම් කරන ලෙසත් ප්‍රකාශ කළහ. ආලවක තමන් ළඟ ප්‍රශ්න ඇති බවත්, එම ප්‍රශ්නවලට උත්තර නොදුන හොත්, තමන් කළ යුත්ත කරන බවත් ප්‍රකාශ කළේය. ඇති ඕනෑම ප්‍රශ්නයක් විමසන ලෙස බුදුරදුන් ආලවකට දැන්වූ හ. ආලවකගේ මව්පියන් කාශ්‍යප බුදුරදුන්ගෙන් විමසා දැනගත් ප්‍රශ්න ගණනාවක් හා උත්තර ආලවකට කුඩා කාලයේ ඉගැන්වූයේ ය. නමුත් ආලවකට කාලයාගේ ඇවෑමෙන් ඒවා අමතක විය. එම ප්‍රශ්න බුදුරදුන්ගෙන් විමසා පිළිතුරු ලබා ගැනීමට ආලවක කල්පනා කළේ ය. ඒ අනුව තමාට ඇති ප්‍රශ්න ආලවක බුදුරදුන්ගෙන් විමසුවේ ය.

ආලවක යක්ෂයාගේ ප්‍රශ්නය හා ඊට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මෙසේ විය.

මෙලොව පුද්ගලයෙකුට ඇති උසස් ම ධනය කුමක් ද?

ශ්‍රද්ධාව

මෙලොව සැපසේ ම ජීවත් වන්නේ කවරෙක් ද?

දැහැමිව ජීවත් වෙන්නා.

පුද්ගලයෙකුට අත්විඳිය හැකි උසස් ම රසය කුමක් ද?

සත්‍යවාදී වීම

කෙසේ ජීවත් වන අයෙකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨතම වේ ද?

ප්‍රඥාවෙන් ජීවත් වීම.

කාම භව දිට්ඨි අවිද්‍යා යන ඕඝ තරණය කළ හැක්කේ කෙසේ ද?

ශ්‍රද්ධාවෙන්

සසර තරණය කළ හැක්කේ කෙසේ ද?

අප්‍රමාදයෙන්

දුක ඉක්මවා යා හැක්කේ කෙසේ ද?

වීර්යයෙන්

කෙනෙකුගේ ජීවිතය පිරිසුදු භාවයට පත්වන්නේ කෙසේ ද?

ප්‍රඥාවෙන් ජීවත් වීම

ප්‍රඥාව ලැබිය හැක්කේ කෙසේ ද?

ශ්‍රවණය කිරීමෙන් හා විමසීමෙන්

ධනය ලැබිය හැක්කේ කෙසේ ද?

උත්සාහයෙන්

යසස ලැබිය හැක්කේ කෙසේ ද?

සත්‍යවාදී වීමෙන්.

මිත්‍රයන් ලැබිය හැක්කේ කෙසේ ද?

දන් දීමෙන්

මෙලොවත් පරලොවත් ශෝක නො කර ජීවත් විය හැක්කේ කෙසේ ද?

සත්‍යවාදී වීම, ඉන්ද්‍රිය දමනය, පරිත්‍යාගය, ඉවසීම

මෙම ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බුදුරජාණන් වහන්සේ ලබා දී තවදුරටත් ඔබට ප්‍රශ්න ඇත්තේ දැයි ආලවකගෙන් විමසූ සේක. නොමැති බව ආලවක ප්‍රකාශ කළේ ය. මීට වෙනස් පිළිතුරු ඔබ අපේක්ෂා කරන්නේ නම් ඕනෑම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු සමීපයට ගොස් විමසා දැන ගන්නා ලෙස දේශනා කළහ. ආලවක යක්ෂ තෙමේ තමන්ට තවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු ළඟට යෑමට අවශ්‍යතාවයක් නො මැති බවත්, සියල්ල මැනවින් අවබෝධ වූ බවත් ප්‍රකාශ කළේ ය.