මහා කරුණා ගුණය
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
නව අරහාදී බුදුගුණ පද පෙළ සජ්ඣායනා කරන විට ම ඒ ඒ බුදු ගුණයන් පිළිබඳව දැනුමක්
තිබිය යුතු ය. ඔබ යම් තරමින් හෝ ඒ ඒ ගුණයන් සිතට ආරෝපණය කොට පුරුදු කර තිබිය යුතු
ය. ‘අරහං සම්මා සම්බුද්ධෝ” යන ගාථා රත්නය සංසුන්ව, සමාධිගත සිතක් සේ පවත්වාගෙන
සජ්ඣායනා කරන විට පළමුකොට ඔබ පුරුදුකොට ඇති අර්ථාන්විත වූ ඒ ගාථා පද පෙළ සිතට
දැනෙන්නට පටන් ගන්නවා.
නිදසුනක් ලෙස කොට්ටය, පැදුර, ඇඳ, මේසය, පුටුව ආදී වශයෙන් ඕනෑම වස්තුවක් පිළිබඳ
සිහිපත් කොට බලන්න. ඒ වගේ ම අඳින පළදින ඇඳුම්, පැළඳුම්, ආභරණ පිළිබඳ ව වචන පෙළකින්
කියාගෙන යන විට ඒ සෑම වචනයක ම අර්ථය, පසුබිම එය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාව, ආකාරය මේ
සියල්ල පිළිබඳව මනා අවබෝධයක් තිබෙනවා. එලෙස ම ගින්දර, වස විස ආදිය පිළිබඳ වචන ඇසෙන
විට ම විවිධ වර්ගවල නම් ඇසෙන විට ම එහි ඇති යථා ස්වභාවය ඔබට නුවණින් වැටහෙනවා. එසේ
නම් මේ හැම බුදුගුණයක් ම
“අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම
සාරථි, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ භගවා” යනුවෙන් ඒ නව අරහාදී බුදුගුණ පවසන විට,
සජ්ඣායනා කරන විට ඉන් පෙර මනාකොට පුරුදු කරන ලද පද පෙළෙහි අදහස ඔබට මනාකොට
වැටහෙන්නට පටන් ගන්නවා.
එය පරිකර්ම, උපචාර වශයෙන් බුද්ධානුස්සති භාවනාව පටිභාග නිමිත්ත දක්වා ම දියුණු කර
ගන්නට පුළුවන්කම ලැබෙනවා. පටිභාග නිමිත්ත අවස්ථාවේ දී තථාගත බුදුරජාණන් වහන්සේ
ජීවමානව වැඩ සිටිනා ලෙස යම් කෙනෙකුට දැනෙන්නට පුළුවනි. ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය
පෙනෙන්නට පුළුවනි. සිත තුළ බලවත් වූ ප්‍රීතියක්, ශාන්ත ස්වභාවයක් දැනෙන්නට පුළුවනි.
මින් අනතුරුව මේ අවස්ථාව ම ප්‍රයෝජනයට ගෙන ඔබ ධ්‍යාන අවස්ථාවකට යොමු කර ගැනීමක් හෝ
එසේ නොමැති නම් විදර්ශනා මාර්ගයට යොමු කර ගැනීමට හෝ අවස්ථාවක් සලසා ගන්නට පුළුවනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ සඳහන් උතුම් දහම් පෙළක් සිහිපත් කරනවා
නම්,
“ඒකධම්මො භික්ඛවෙ භාවිතො
බහුලීකතො ඒකන්ත නිබ්බිදාය විරාගාය
නිරෝධාය උපසමාය අභිඤ්ඤාය
සම්බෝධාය නිබ්බාණාය සංවත්තති
කතමො ඒකධම්මො
බුද්ධානුස්සති”
මහණෙනි, එකම එක ධර්මයක් පවතිනවා, කුමක් පිණිස ද? අත්‍යන්තයෙන් ම කළකිරීම හෙවත්
සංවේගය පිණිසයි. විරාගය පිණිසයි. නිරෝධය හෙවත් හටගත් හැම දෙයක් ම නැතිව යනවා කියන
අවබෝධය පිණිසයි. රාගාදි කෙලෙස් සංසිඳීම පිණිසයි. අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ
ත්‍රිලක්ඛණ ධර්මය වටහා ගැනීම පිණිසයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය
සත්‍ය ධර්ම අවබෝධය පිණිසයි. සියලු තෘෂ්ණාව බැහැර කිරීම මුළුමනින් ම උපුටා දැමීම නම්
වූ නිවන පිණිසයි. එසේ නම්, මේ බුද්ධානුස්සතිය නම් අපට පරිකර්ම උපචාර ඔස්සේ සමථ
භාවනාවක් ලෙස දියුණුකරගෙන ප්‍රඥා භාවනාව නම් වූ විදර්ශනා භාවනාවට යොමු කොටගත
හැකියි.
මෙයින් අදහස් වන්නේ මල් දහසක්, දස දහසක්, ලක්ෂයක් පූජා කරන්නා සේ ම එක ද මලක් පූජා
කිරීමෙන් නමුත් බුද්ධානුස්සතිය සේ වඩන්නට පුරුදු පුහුණු කර ගැනීමෙන් නිවන් මඟම
අරමුණු කරගත හැකි බවයි. ජීවිත කාලය පුරා දිනපතා ම මල් නෙළා, සුවඳ මලින් මල්
වට්ටියක් සකසා මල් ආසනය පිරිසුදු කොට තථාගත බුදුරජාණන් වහන්සේ පිදූ ඔබට හැබෑවට ම
බුද්ධ පූජාවක් ඔබගේ සිත තුළ සකස් වී ඇද්දැයි නුවණින් මෙනෙහි කොට බලන්න. එකවතාවක්,
දෙවතාවක් නොව කීපවතාවක් නමුත් මේ අදහස පිළිබඳ සිහිපත් කොට බලන්න.
තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය ආර්ය සංඝරත්නය නම් වූ තෙරුවන්ගේ
සූවිසි මහ ගුණයන් පිළිබඳව ඔබට සරල ලෙසින් මෙන් ම ගැඹුරු ලෙසිනුත් සිත පුරුදු පුහුණු
කර ගැනීමට අවශ්‍ය නම්, ඔබට උපකාරයක් ලෙස රේරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන් වහන්සේ
විසින් රචනා කොට තිබෙන ‘සූවිසි මහ ගුණ විවරණය’ නම් වූ ධර්ම පුස්තකය පිළිබඳව සටහන්
කරන්නට කැමැතියි. තථාගත බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඔබ මෙසේ පුරුදුකොට
සම්බුද්ධ වන්දනා පින්කම සිදුකිරීම ඔබ කැමැති ආකාරයකින් ඔබට ම සිදු කරගත හැකියි. ඔබ
පවසන ආකාරයෙන් එය අසූහාර දහසේ පහන් පූජාවක් විය හැකියි. තවත් විටක එක ද එක පොල්තෙල්
පහනක් දැල්වීමක් විය හැකියි. ඒ වගේ ම මල් ලක්ෂ ගණනාවකින් කරන පූජාවක් ද විය හැකියි.
තවත් විටෙක එක ද මලක් නමුත් පූජා කිරීමක් විය හැකියි. ඒ වගේ ම අසදෘෂ මහා දානයක් විය
හැකියි. ඒ වගේ ම ඔබට හැකි ආකාරයකින් ධර්මානුකූලව උපයාගත් ධනයකින් ආර්ය මහා සංඝරත්නය
සිහියට නගාගෙන සිදු කරන සාංඝික දානයක් විය හැකියි. ඒ වගේ ම ඔබ සිදු කරන දිනපතා
ගිලන්පස පූජාවක් විය හැකියි. ඔබගේ ශ්‍රද්ධාවත්, කාලයත් අවබෝධයත්, වීර්යත්, සතියත්,
සමාධියත් අනුව කුසලය මහත්ඵල මහානිසංස වෙනවා සේ ම, ඔබගේ අපගේ අරමුණ වූ රාග, ද්වේෂ,
මෝහා දී කෙලෙස් මුළුමනින් බැහැර කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට එමඟින් මාර්ගය
සකසා ගන්නට පුළුවනි. මේ සියලු අදහස් පෙළ අද දවසෙහි සාරාංශ කොට දැක්වුවහොත් මේ
වගෙයි.
“කරුණා සීතල හදයං
පඤ්ඤා පජ්ජෝත විහතමෝහතමං
අප්පමත්තා ආතාපිනො පහිතත්තා”
කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඥාව නමැති ආලෝකයෙන්, ලෝකයේ මෝහය නමැති ඝන
අන්ධකාරය දුරුකළා වූ බුදුරජාණන් වහන්සේ නම් වූ ය යන අදහසයි.
එසේ නම් තථාගත බුදුරජාණන් වහන්සේ නම් කරුණාවයි. එහෙත් මේ කරුණාව මහා කරුණා ගුණය
හැටියට හඳුන්වමු. තථාගත බුදුරජාණන් වහන්සේ නම් ප්‍රඥාවයි. මේ ප්‍රඥා ගුණය මහා
ප්‍රඥා ගුණය හැටියට හඳුන්වා ගනිමු. සියලු අවස්ථාවන් හි දී සද්ධා ගුණයෙන් හා
අවබෝධයෙන් යුතුව සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩාගෙන මනා වූ සතියෙන් යුක්තව සිදු කරන
සියලු පූජාවන් අපට දැනෙන්නේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් තථාගත
බුදුරජාණන් වහන්සේ වෙතට අප අවබෝධයෙන් ම පිළිවෙත් පූජාවෙන් ම සමීප වන බව ය. අපට
භාග්‍යවතුන් වහන්සේගේ ඒ මහා කරුණා ගුණයත්, මහා ප්‍රඥා ගුණයත් වැටහෙන්නට ආරම්භ
වෙනවා. දැනෙන්නට වෙනවා. උපචාර අවස්ථාවේ දී පටිභාග නිමිත්තෙන් ඔබ ඇති කරගත්තා වූ
අවබෝධය හා සංසිඳීම තවදුරටත් ඉතා ම සියුම් ලෙස දියුණු කරගෙන ඉදිරියට පවත්වා ගන්නට
ඔබට අවස්ථාවක් සැලසෙනවා. මෙය තවත් ආකාරයකින් මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා
භාවනා, උපේක්ඛා භාවනා හැටියටත් සතර බ්‍රහ්ම විහරණ පිළිබඳවත් සඳහන් කළ හැකියි. තවත්
අවස්ථාවක දී මෙය බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති නම් වූ
සතර කර්මස්ථාන දියුණු කරන්නා සේත් ඔබට වැටහෙන්නට පුළුවනි.
කෙසේ වෙතත් මෙහි දී අප භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණය අපගේ සිතට සමීප කර
ගන්නා ස්වභාවය අවබෝධ කර ගනිමු. ඔබ ඔබට දක්වන මෙත්තාව හෙවත් මෛත්‍රීය පිළිබඳව අදහසක්
පවතිනවා. මෙත්තාව යන වචනයේ තේරුම හිතවන්තභාවය යන අදහසයි.
- දීපා පෙරේරා |