Print this Article


නො මළ ගෙයකින් අබ මිටක් ගෙනාවද?

නො මළ ගෙයකින් අබ මිටක් ගෙනාවද?

පින්වතුනේ, අපේ බුදුහාමුදුරුවෝ අපට කෙතරම් වටිනවද?. මේ සසර ගමන කෙටි කර ගන්න ඕනෑ. ඒකට අපට තියෙන එකම පිහිට, එකම සරණ අපේ බුදුහාමුදුරුවෝ සරණ යෑමයි. නිතරම අප ධර්මයට අනුව ම ජීවත් වෙන්න ඕනෑ.

මහා කැළයක වල් ගස් ලී කෝටු එක්ක එකට එකතු වෙලා සුදු හඳුන් ගහක් තිබුණොත්, අර අනිත් ගස් වැල් එක්ක එකට එකතු වෙලා තියෙන සුදුහඳුන් කොටය අතට ගත්ත ගමන් ඒකෙනුත් මුලින්ම හමන්නේ දුගඳක් නේද?. ඒ අර අනෙක් ගස් එක්ක එකට වැඩුණු නිසානේ. ඒ සුදුහඳුන් කොටය වෙන් කරලා අරගෙන හොඳට සුද්ද කරලා පිරි මැද්දොත්, උරච්චි කෙරුවොත් ඒකෙන් හමන සුවඳ කොපමණද? පින්වතුනේ, ඒකෙන් හමන්නේ සුදුහඳුන් සුවඳ නේද?. අර අනෙක් ගස්වැල් එක්ක එකට තිබුණ නිසානේ මුලින් දුගඳ හැමුවේ. අන්න ඒ වගේ අපේ හිතත් සුවඳ හමන සුදුහඳුන් කොටයක් වගේ හදා ගනිමු. සුදුහඳුන් කොටය ගල ගාන්න, ගලගාන්න ඒකෙන් වහනය වෙන්නේ සුදුහඳුන් සුවඳයි.

දීර්ඝ වූ සංසාර ගමනේ තාවකාලික පුංචි නවාතැන් පොළක් වූ මිනිස් ලොවට අප දෑතින් දරාගෙන ආපු දෙයකුත් නැහැනේ. යනකොට දෑතින් දරාගෙන යන්න දෙයකුත් නැහැ. අප ගෙනයන යම් දෙයක් තිබෙනවා. ඒ හොඳ නරක දෙක පමණයි. ඒත් කවුද දන්නේ තව කොච්චර දුර අපිට මේ ගමන යන්න තියෙනවද කියලා. අපේ බුදුහාමුදුරුවෝ නමැති මහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පිහිට මොනතරම් වටිනවද? මතකයි එදා කිසා ගෝතමි පන්සලට දුවගෙන ආවා. මියැදුණු පුංචි පුතුගේ සීතල මළකඳ ඔසවාගෙන ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා 'ස්වාමීනි, බුදුහාමුදුරුවනේ, හැමදාම පන්සලට එනකොට මල් අරගෙන එනවා. ඒ මල් ඔබ වහන්සේට පූජා කරනවා.

ඒත් ස්වාමීණී, මම අරගෙන ආවේ මගේ පුංචි පුතා. අනේ බුදුහාමුදුරුවනේ මට සමාවෙන්න. මට තියෙන ලොකුම මල තමයි මගේ පුතා. මම අද ඔබ වහන්සේට පුංචි පුතු නමැති මගේ මල පූජා කරනවා. සමාවෙන්න බුදුහාමුදුරුවනේ මගේ පුතා සනීප කරලා දෙන්න'. එහෙම කියලා කිසාගෝතමී ඒ සීතල මළකඳ පුංචි පුතුගේ මළ කඳ බුදුහාමුදුරුවෝ අබියස සුවඳ හමන මල් ගොඩ උඩින් තියලා අනේ ස්වාමීනි මගේ දරුවා සනීප කරලා දෙන්න කියා ඉල්ලා සිටියා. ඔබේ දරුවා සනීප කර දෙන්නම්. ඔබ ගිහින් කවුරුවත් නොමළ ගෙයකින් අබ මිටක් අරගෙන එනවද?. “හා ස්වාමීනි මම අරගෙන එන්නම් අබ ටිකක්.” කිසා ගෝතමී නැගිට්ටා . දරුවා අතට ගත්තා .දුවගෙන ගියා. එක ගෙදරකින් අබ මිටක් ඉල්ලුවා.

අබ ටික අතට අරගෙන අහනවා මේ පොඩ්ඩක් ඉන්න. ඔබේ කවුරුහරි මිය ගොස් තියෙනවද?. ඔව් අපේ තාත්තා මැරුණා. අනේ එහෙනම් මේ අබ මට එපා මම යන්නමි. තව තැනකට ගියා.ඒ ගෙදරිනුත් ඉල්ලුවා අබ මිටක් . ඔබේ කවුරුහරි මියගොස් තියෙනවද?. අනේ ඔව් ගිය සතියේ අපේ නැන්දා මැරුණා. ඔය විදියට කී තැනකට ගියාද?, ඒත් ලැබුණේ එකම පිළිතුර නේ. අනේ කිසාගෝතමී තේරුම් ගත්තනේ ජීවිතේ හැටි. දරුවා අරගෙන ගිහින් සොහොනකට දමලා මගේ රත්තරං පුතේ මට සමාවෙන්න. මම තේරුම් ගත්තා ජීවිතේ හැටි. මට තේරුණා පුතේ කවුරුත් මැරෙන මිනිස්සු බව. දරුවාගේ මළකඳ සොහොනේ දමලා ආයෙත් පන්සලට ගියා. කිසාගෝතමී නැගෙණියනි, ඔබ අරගෙන ආවද අබ මිටක්. නැහැ නැහැ බුදුහාමුදුරුවනේ, මට අබ මිටක් දෙන්න කෙනෙක් මේ ලෝකයේ නැහැ. මම තේරුම් ගත්තා බුදුහාමුදුරුවනේ, කවුරුත් මැරෙන අය බව. සමාවෙන්න බුදුහාමුදුරුවනේ, මට කියලා දෙන්න කවුරුත් මැරෙන අය නම් ඇයි අපි තරහා වෙන්නේ. මැරෙන අය වෙලත් ස්වාමීනි, මැරෙන මිනිසුන්ට පලිබඳින්නේ. මැරෙන බව දැන දැනත් මැරෙන මිනිසුන්ට වෛර කරන්නේ. ඊරිසියා කරන්නේ. හිතාගන්න බැහැ බුදුහාමුදුරුවනේ මොකක්ද මේ මායාව. හිතාගන්න බැහැ ස්වාමීනි ,මේ ලෝකයේ හැටි. මැරෙන මිනිසුන්, මැරෙන මිනිසුන්ට ම නේද කරදර කරන්නේ. මේ ලෝකය මායාවක් ස්වාමීනි.

එපා කිසිවිට උඩඟුවන්නට එයින් යහපත නැසෙනවා.

එපා කිසිවිට කෝපවන්නට ඔබේ හොඳ ගති මැකෙනවා

එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා

එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා