Print this Article


අවිද්‍යාව නිසා විනාශවන සාරධර්ම

අවිද්‍යාව නිසා විනාශවන සාරධර්ම

සකල සත්වයන්ගේ සසර පැවැත්ම හා නොපැවැත්ම සිදුවන්නේ සත්වයාගේ ම ක්‍රියාකාරිත්වය නිසා බවත්, එය බාහිර බලයකින් සිදුනොවන බවත් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක.

සත්වයෙකුගේ හා එම ජීවන හේතු ධර්මයන්ගේ ආරම්භය හා අවසානය කිසිම කෙනෙකුට කිව නොහැකි වුව ද, අවිද්‍යාදී හේතුධර්මයන් නැතිකිරීමෙන් ලබන උතුම් නිවන් සම්පත් ලබාගැනීමේ මාර්ගය බුදු,පසේබුදු, මහරහතන් වහන්සේලා දේශනා කරති.

අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කෝටි නපඤ්ඤායති

අගක්, මුලක් නොපෙනෙන, සසර සැරිසරන සත්වයාගේ අවිද්‍යාව හා තණ්හාව නිසා ජාති, ජරා, මරණාදී අනන්ත දුක්දොම්නස් වේදනා කෙළවරක් නැත.

අවිද්‍යාව හෙවත් නොදැනීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

ඉන්ද්‍රිය ගෝචර නොදැනීම

බුද්ධිගෝචර නොදැනීම

උපන්දා පටන් සංසාරික පුරුද්ද හා චින්තනය අනුව හැඟීම් රැස්කරන්නේ පවතින පරිසරය ආශ්‍රය කරගෙන ය. එහි දී ප්‍රධාන වශයෙන් අවිද්‍යාවත්, තණ්හාවත් ක්‍රියාත්මක වන්නේ ය.අවිද්‍යාව නිසා ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් යථා පරිදි හැඳින නොගැනීමත්, තණ්හාවෙන් අරමුණට වහල්වීමත් සිදුවීම ස්වභාවික සිද්ධාන්තයකි.

සත්ව සන්තතියේ පැවැත්මට මෙම අවිද්‍යාව මෙන්ම, තණ්හාව ද, අවශ්‍යවන අතර එයින් සංස්කාර ධර්මයන් රැස්කර ගන්නේ ය.

බුදු සමයෙහි අවිද්‍යාව වශයෙන් දක්වන ප්‍රධාන අදහස නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීමයි. තව ද එයටම පුබ්බන්ත අපරන්ත, පුබ්බන්තාපරන්ත, පටිච්ච සමුප්පන්න නොදැනීමද එක් කළ විට මෙම අටතැන්හි නොදැනීම අවිද්‍යාව හෙවත් මෝහය වශයෙන් දක්වන්නේ ය.

මේ මහා විශ්වය තුළ සත්ව පරම්පරාවේ දීර්ඝ ඉතිහාසය නිරීක්ෂණය කරන විට අනාවරණය වන ප්‍රධාන කාරණය නම්, සත්වයන් තම තමන් ගත් තීරණය තුළ හිරවී එයින් මිදෙන්නට නොහැකිව මහා දුක්ගිනි ජාලාවක තැවි තැවී සිටින වගයි. අන්ධකාරයේ ගමනේ යනවිට කිසිම දිනෙක, කිසිම අවස්ථාවක නියම ස්ථානයක් හෝ නැවැත්මක් හෝ නැත්තේ මැයි.

අප බුදුරජාණන් වහන්සේ පමණක් ඒ යන ගමන පිළිබඳ ව යථාර්ථයෙන් ම පැහැදිලි කර දුන් වග දම්සක් පැවතුම් සූත්‍රයේ විස්තර වන්නේ ය. තද අන්ධකාරයේ බිංගෙයක් තුළින් එළියට එන්නට ප්‍රයත්න දරමින්, එකිනෙකාට ගැටෙමින්, තැලෙමින්, වේදනා විඳිමින් යන ගමනේ ආලෝකයක් දල්වා ගැනීමට නම් දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යං දුක්ඛ හෙවත් දුක නමැති ආර්ය සත්‍ය ආර්ය ඤාණයෙන් ම දැනගත යුතු වන්නේ ය. ඉපදීම දුකක් වන අතර, යළි ජීවත් වන මොහොතක් පාසා දුක් වේදනා ඇති වන්නේ ය.

විද්‍යා ඤාණය මෙතරම් දියුණු සමයක අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ජාති දුක ඉතා පැහැදිලිව අවබෝධ කරගන්නට හැකිවන්නේ ය. ඉපදෙන සත්වයාට, උපදවන සත්වයාට, ආධාර උපකාර කරන සත්වයාට ඇතිවන වේදනාව මෙපමණයයි නිගමනය කරන්නට හැකියාවක් නැත්තේ ම ය.

සත්වයෙකු උපන් විගසම ඇතිවන වේදනාව පිට කරන්නේ ඇඬීමෙන් හා වැළපීමෙනි. මෙම සංසිද්ධිය භවයෙන් භවයට කල්ප ගණන් සිදුවන්නේ ය.

ඇසට නොපෙනෙන ඇමීබා සත්වයාගේ පටන් ඉතා මහත් ඇතුන්, තල්මසුන් දක්වා සෑම සත්වයා ම අවිජ්ජා – තණ්හා මානසික අනුවලින් හා ප්‍රජනන ධාතු අනුවලින් ඉතා කුඩාවට හටගෙන ශාරිරික වශයෙන් මොහොතක් පාසා වර්ධනය වන අතර, ඉදිරියේ දී තව තවත් ජරා, ව්‍යාධි ආදි වේදනාත්මක අවස්ථාවන්ට මුහුණ දෙන්නේ ය.

හේතුඵල ධර්මය අවිද්‍යාවෙන් ආරම්භ වුව ද, විශ්වයේ ප්‍රථම සත්වයා අවිද්‍යාවෙන් හටගත් බවක් ප්‍රකාශ නොවේ. විද්‍යමාන සත්වයෙකුගේ ස්වභාවය හේතුඵල ධර්මයෙන් හෙවත් පටිච්චසමුප්පාද ධර්මතා විග්‍රහ කිරීමේ දී අවිජ්ජා තණ්හා දෙක මුලින් දැක්වීම ශාස්ත්‍රීය වන්නේ ය.

මිනිසුන් අතර හොඳ නරක දෙකම සමාන්තරව දක්නට ඇති අතර ක්ෂණ මාත්‍රයක් පාසා ඉන්ද්‍රිය ගෝචර වන තණ්හාව කර්ම රැස්කිරීමට ඉඳුරන් මෙහෙය වන්නේ ය. එය සත්වයාගේ වර්තමාන පැවැත්මට මෙන්ම, අනාගත පැවැත්මට ද හේතු වන්නේ ය.

සත්වයා අකුසල් රැස් කිරීමට ප්‍රධාන හේතු දෙකක් ඇත.

අවිද්‍යාව හෙවත් නොදැනීමෙන් අකුසල් රැස් කිරීම, චිත්ත ආවේග නිසා අකුසල් රැස් කිරීම

මේ කාරණා දෙකට අවිද්‍යාවම මූලික වන්නේ ය. අවිද්‍යාවේ සීමාවක් නැති නිසා සත්වයා අතීත අවිද්‍යාව හේතුවෙන් වර්තමාන අවිද්‍යාව ද, ඉන් අනාගතයට නොනවත්වා බලපවත්නේ ය. චිත්තාවේග ඇතිවන්නේ ද අවිද්‍යාවේ වරද නිසාම ය.

මෙසේ අග මුල සීමා නැති සත්වයෙකුගේ සංසාර පැවැත්ම සිදුවන නමුත් අවිද්‍යාවෙන් අවිද්‍යාව නැති කළ නොහැකි අතර විද්‍යාවෙන් අවිද්‍යාව නැති කළ හැකි වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙන් චතුරාර්ය සත්‍යධර්මය පිළිබඳව විජ්ජා උදපාදි යන වචනය දොළහක් දේශනා කළ සේක.

අප බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වීමට පෙර ලෝකය අවිද්‍යාන්ධකාරයෙන් සත්‍යාර්ථ ලෝකය වැසී තිබුණ බව එම සූත්‍රයෙන් ගම්‍ය මාන වන්නේ ය.චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව විජ්ජා උදපාදි ආදි නයින් දොළොස් තැනෙක දක්වා ඇති එම විද්‍යාව පහළ නොවන්නට මෙම මානව පරපුරම විනාශවන්නට අවකාශ තිබුණි. එයට හේතුව අවිද්‍යාව නිසා තණ්හාවත්, එයින් අන්‍යෝන්‍ය වෛරයත් වර්ධනය වී විනාශවන බැවිනි.

මිනිස් චින්තනය ස්වභාවයෙන් සකස්වන්නේ අවිද්‍යාවත්, තණ්හාවත් පදනම් කරගෙන ය. නීතියෙන්, දර්ශනයෙන්, දඬුවමෙන් යටපත් කරන මෙම චින්තනයන් කෙදිනක හෝ නැති කරනවා නම්, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකයේ පහළ විය යුතු ය.

මෙම ගෞතම බුද්ධ ශාසනය කෙදිනක හෝ මනුලොවින් නැතිවන්නේ ද මෙම අවිද්‍යා තණ්හා දෙකෙන් මානව පරපුරම ආවේගශීලි ව ඔවුනොවුන් අමනුෂ්‍යයන් මෙන් ක්‍රියා කිරීම නිසා ය. මිනිසා ලබාගත් උතුම් ආත්මභාවයෙන් අල්පමාත්‍ර වූ ද ප්‍රයෝජනයක් ගන්නේ නම්, අවිද්‍යා තණ්හා දෙක බැහැර කළ යුතු වන්නේ ය.

මානව ධර්මයන් වශයෙන් අප වෙන් කරන සෑම කාරණයක් ම ක්‍රියාත්මක කරන විට මෙම අවිද්‍යා තණ්හා දෙක සිතේ සරලත්වයට පත්විය යුතු අතර සසර දුකින් මිඳීමට නම්, චිත්ත සන්තානයෙන් සම්පූර්ණයෙන් නැති කළ යුතු වන්නේ ය.

තණ්හක්ඛයො, දොසක්ඛයෝ මොහක්ඛයො නිබ්බාණං යන දේශනාව අනුව තණ්හාව,ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් සමුච්ඡේද වශයෙන් නැති කළ විට සසර දුක් කෙළවර කළ හැකි වන්නේ ය.

ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි!