Print this Article


බොදු දිවිය

බොදු දිවිය

මිනිසත්බව ලැබීම අති දුෂ්කරය. බුදුවරයෙකුගේ පහළ වීම ද ඉතාමත් කලාතුරෙකින් සිදුවන්නකි. මිනිසත් බවෙහි උපත ලැබුවද ඇස්.කන්, නාසය, දිව ආදී ඉන්ද්‍රිය ද මනා ලෙස පිහිටා තිබීම හා ඒවා ක්‍රියාකාරි තත්ත්වයෙන් තිබීම ද ඉතා විරල ය. එමෙන් ම ශ්‍රී සද්ධර්මයට ළගාවීම ද ඊටත් වඩා දුර්ලභ වූ සංසිද්ධියකි. මෙය අප බුදුරදුන් විසින් දෙසා වදාළ උතුම් වූ ධර්ම පාඨයකි.

මෙම බුදුවදන ගැන සලකා බැලීමේදී අපට පසක් කොට ගත හැකි කරුණු බොහෝ වේ.

බුදුදහම අනුව මුළු මහත් ලෝකධාතුවේම ඇත්තේ වාසභූමි 31 ක් පමණි. මිනිස් ලොව ඉන් එකකි. අනිකුත් වාසභූමි වන්නේ සතර අපායත්, සදෙව් ලොවත්, බඹලොව 20 ත් වේ. මිනිස් ජනගහණය ගැන සලකා බලන කල අප ඉතා හොදින් දන්නා, අප ඇස් ඉදිරියේ දිස්වන සත්ත්ව ලෝකයෙහි වෙසෙන සතුන් සංඛ්‍යාව මිනිස් සංඛ්‍යාවට වඩා කෝටි ප්‍රකෝටි ගණනින් වැඩි බව අමුතුවෙන් කීම අනවශ්‍යය. එක් කූඹි ගහණයක් ගත් කල වුවද මෙම කීමෙහි සත්‍යතාව මැනවින් තහවුරු වේ. මිනිසත් බව ලැබීමේ අතිශය දුර්ලභත්වය මේ අනුව මොනවට පැහැදිලි වේ.

බුදුවරුන් ලොව පහළ වීම අතිශයින් දුර්ලභ බව ය. එසේ පහළ වීම සිදුවන්නේ කල්ප අතිවිශාල සංඛ්‍යාවක පරතරවලින් බවද දහමෙහි අඩංගුය. කල්පයක් යනු නොගැණිය හැකි, නොමිණිය හැකි, නො සිතිය හැකි තරම් වූ දිගු කාල පරාසයකි. බුදුන් වහන්සේ විසින්ම දෙසා වදාළ පරිදි, කල්පයක් යනු යොදුනක් දිග, යොදුනක් පළල හා යොදුනක් උස අතිවිශාල කුටීරයක් අබ ඇටවලින් පුරවා වසර 100 කට වරක් ඒ තුළින් එක් අබ ඇටයක් බැගින් ඉවත් කිරීමෙන් කුටීරය හිස්වීමට ගත වන කාලයට සමාන වන හෝ ඊට වැඩි වන හෝ කාල පරාසයකි. තවද, බුදුබව ලැබීම සඳහා බෝධි සත්ත්ව උතුමෙක් පෙරුම් පුරනු ලබන කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වන බව ද ධර්මයෙහි සඳහන්ය. අසංඛ්‍ය යනුවෙන් හැඳින්වනුයේ ද නොගිණිය හැකි තරමේ විශාල සංඛ්‍යාවකි. මේ අනුව, කල්ප ලක්ෂයක් කොපමණ දිගද, අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කෙතරම් දුර ද යනු අනුමාන කිරීම අසීරු නොවේ. බුදුවරයකුගේ පහළ වීම එතරම්ම විරලය. මේ අනුව බලන කල, බුද්ධෝත්පාද කාලය හෙවත් බුදුවරයකුගේ බණ දහම් ලොව පවතින කාලය අවුරුදු දහස් ගණනක් වැනි වු අංශු මාත්‍ර කාලයක් පමණි. එය අතිශයින්ම විරල වූ කාල වකවානුවකි.

අප දැන් සිටින්නේ බුද්ධෝත්පාද කාලයක ය. තවමත් බුදුදහම ලොව ඇතැම් තැනක පවතී. තවමත් බණ ඇසීමේ, බණ පොත් පරිහරණය කිරීමේ, භාවනා කිරීමේ වරම අප සතුව ඇත. එය අප ලද අති උතුම් භාග්‍යයක් නොවේද, මිනිසත් බව ලැබූවද බණ ඇසීම බණ පොත් කියවීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, ධර්මය ප්‍රත්‍යාවේක්ෂ කිරීම ආදිය සඳහා යට කී ඉන්ද්‍රිය මැනවින් පිහිටා තිබීම හා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. මිනිසත් බව ලබා උපත ලැබුවද ගොළුවන්ට, බිහිරන්ට, අන්ධයන්ට හා මානසික වශයෙන් ආබාධිත වූවන්ට ධර්මයෙහි රසවිඳීම සඳහා කිසිදු ඉඩප්‍රස්තාවක් නොමැත. මේ අනුව මිනිසත්බව ලැබ, බුද්ධෝත්පාද කාලයක ඉපිද, මනා ලෙස අඟ පසඟ හා ඉන්ද්‍රිය ලබා සිටීමේ සම්භාවිතාව ඉතාමත් කුඩා බව සක් සුදක් සේ පැහැදිලි විය යුතුය.