Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 08 : සඳකඩ පහණ

සඳකඩ පහණ

ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස පමණ වන විට ශ්‍රී ලංකාවේ ශෛලමය කැටයම් කලාව ඉතා දියුණු තත්ත්වයක පැවතුණි.

අභයගිරි විහාරයේ මහසෙන් මාළිගය ලෙස වරදවා හඳුන්වනු ලබන ගොඩනැගිලි සංකීර්ණයෙහි මැද ගොඩනැගිල්ලට අයත් නටබුන් අබියස ඇති සඳකඩපහණ ද, එම ස්ථානයට බටහිරින් පිහිටි කඳු ගැටය මත ඇති බිසෝ මාළිගය නමින් හඳුන්වනු ලබන ගොඩනැගිල්ල අබියස ඇති සඳකඩපහණ ද, ථූපාරාමය අසල ඇති දළදා මාලිගාව ලෙස හඳුන්වන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති සඳකඩපහණ ද බසවක්කුලම අසල ඇති සඳකඩපහණ දෙක ද ඉතාම විශිෂ්ටතම සඳකඩපහණ ලෙසින් ප්‍රකට ය. අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණ සියයකට අධික සංඛ්‍යාවක් අතර ඉතාම විශිෂ්ට නිර්මාණ ලෙසින් මෙම සඳකඩපහණ හඳුනාගෙන ඇත.

සඳකඩපහණේ කැටයම් කර ඇති රූකම් පිළිබඳ මතයන්

සඳකඩපහණෙහි ඇති රූකම් සත්වරූප සහ අනෙකුත් කැටයම් පිළිබඳ විද්වතුන්ගේ විවිධ මතයන් දක්නට ලැබේ. මෙහිදී මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් අනුරාධපුර යුගයේ නිර්මාණය වූ සඳකඩපහණවලට පමණක් සීමා වන මතයක් ඉදිරිපත් කර තිබේ. ඒ මෙසේ ය. සඳකඩපහණේ පිටවාටිය වැනි ලෙසින් කැටයම් කර තිබෙන පලාපෙති මෝස්තරය ගිනිදැල් ලෙසින් සැලකේ. එම ගිනි දැල්වලින් සංකේතවත් වන්නේ රාගය නමැති ගිනිදැල්වලින් සත්වයන් වෙලී සිටින ආකාරයයි. සඳකඩපහණේ නිර්මාණය කර ඇති සතුන් සතර දෙනා වූ සිංහ, අශ්ව, හස්ති (ඇනා) සහ ගවයා (වෘෂභ) ගෙන් කියැවෙන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි. සඳකඩපහණේ ඊට පසු තීරුවේ ඇති ලියවැල් මගින් සංකේතවත් වන්නේ තෘෂ්ණාව හෙවත් ආශාව ය. ඊළඟ කොටසේ සඳකඩපහණේ හංසයින්ගේ රූප නිර්මාණය කර තිබේ. එම හංසයින්ගෙන් නිරූපණය කර ඇත්තේ සංසාරයෙන් එතෙරවීමේ අවස්ථාව බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ මතය වන්නේ ය. සඳකඩපහණේ මැද පිපුණු නෙළුම් මලෙන් හැඳින් වූ පරිදි ලෝකයේ ඉපිද, එහි නො ඇලී, ඉස්මතු වී සිටින අයුරු සංකේතවත් කිරීම ය.

මෙම මතය සියලුම සඳකඩපහණවලට අදාළ නොවන බව ද, මතක තබා ගැනීම වැදගත් ය. අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩපහණ තුනක් දැකගත හැකි ය.

අනුරාධපුරයේ මහසෙන් මාළිගය යන ස්ථානයේ ඇති පුරාණ ගොඩනැගිලි අබියස දොරකඩ තිබෙන සඳකඩපහණ

අනුරාධපුරයේ බිසෝ මාළිගය යන ස්ථානයෙහි පුරාණ ගොඩනැගිල්ල අබියස ඇති සඳකඩපහණ.

අනුරාධපුරයේ ථූපාරාමයේ දළදා මාලිගය නමින් හඳුන්වන ස්ථානයේ ඇති ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුව පාමුල ඇති සඳකඩපහණ.

ලොව විශිෂ්ටතම සඳකඩපහණ

පැරැණි භාරතයේ ද, පැරැණි චීනයේ ද සඳකඩපහණ දක්නට ඇතත්, අප රටේ සඳකඩපහණ වැනි නිර්මාණාත්මක කැටයම් මුළු ලොව කිසිදු රටකින් හමු නොවේ. මේ නිසා සඳකඩපහණ නිර්මාණය කළ අපේ සිංහල කලාකරුවාගේ දක්ෂතාවයත්, නිර්මාණාත්මක භාවයත් අග්‍රගණ්‍ය බව දේශීය මෙන්ම විදේශීය කලා විචාරකයන් සහ විද්වතුන් විසින් පිළිගෙන ඇති කරුණකි.

පුරාණ සඳකඩපහණ පිළිබඳ තවත් මතයන්

අනුරාධපුර යුගයේ සඳකඩපහණවල මැද නෙළා ඇති නෙළුම් මල අසල ම තීරුවේ හංසයින් කැටයම් කර තිබේ. එහෙත් පොළොන්නරු යුගයේ සඳකඩපහණවල හංස රූපය කැටයම් කර ඇත්තේ සිව්පා සතුන් හා ගිනිදැල් හෝ පලාපෙති මෝස්තරයන් අතර තීරුවෙහි ය.

අනුරාධපුරයේ සඳකඩපහණට වඩා ඉහතින් සඳහන් කරන ලද වෙනස්කම්වලට අමතර ව තවත් විශේෂිත වෙනස්කමක් පොළොන්නරු යුගයේ සඳකඩ පහණෙහි බොහෝ දුරට සමාන සංකේත (හෙවත් අනුරාධපුර යුගයේ නිර්මාණවලට සමාන) යොදාගෙන ඇතත්, ඒවා කලින් කලට වෙනස් ක්‍රමයකට ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ උදාහරණයක් ලෙසින් පොළොන්නරුවේ වටදාගෙයි ප්‍රධාන දොරටුවෙහි ඇති සඳකඩපහණ පෙන්වා දිය හැකි ය. එහි නිර්මාණය කර තිබෙන සංකේත පිළිවෙලින් ගල්බිංදුව, හංස පෙළ, ඇතුන් පෙළ, අශ්ව පෙළ හා පිපුණු පද්මය දක්නට ලැබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා දක්වනු ලබන අනුරාධපුරයේ සඳකඩපහණ පිළිබඳ සඳහන් කළ සංකේත ආශි‍්‍රත වූ එම මතය මෙම පොළොන්නරුවේ සඳකඩපහණ සඳහා අදාළ නොවන බව දක්නට ලැබෙන්නකි.

(පැරැණි හෙළ කලා විස්කම් - සිරිසමන් විජේතුංග පි. 21 – 23 – 2017)

හිටපු පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහස වන්නේ සඳකඩපහණ ගොඩනැගිලි දොරටු සැරසීමට යොදාගන්නා උපායක් ලෙසිනි. එම මතය පොදුවේ සියලු ම සඳකඩපහණ සඳහා අදාළ වන්නේ ය.

සඳකඩපහණෙහි මූර්ති කැටයම් පිළිබඳ නව මතයක්

පුරාණ භාරත දේශයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද ක්‍රිස්තු වර්ෂ පළමුවන සහ දෙවැනි සියවස්වල දී පැරැණි බෞද්ධ පුදබිම් සැරසීම පිණිස ශිලා කැටයම් සඳහා සිංහයා, වෘෂභයා, අශ්වයා සහ ඇතාගේ රූකම් මෙන්ම නෙළුම් මල, පුන්කලස, මකර රූප, ලියවැල් මෙන්ම මඟුල් ලකුණු අට ද යොදාගෙන තිබේ.

මහාචාර්ය විනී විතාරණ මහතා සඳකඩපහණ පිළිබඳ මෑත කාලයේ දී ඉතා පුළුල් ලෙසින් පර්යේෂණ කළ ප්‍රකට විද්වතෙකි. සඳකඩපහණ සූර්ය, චන්ද්‍ර යන වස්තු දෙක පිළිබඳ විශ්වාසය ද එහි යොදාගෙන ඇති මූර්ති කැටයම්වල සංකේත, සශ්‍රීකත්වය පිළිබඳ සැලකීමට ද, එය ඇදහීමට ද සම්බන්ධ බව එතුමා පවසයි. ඔහුගේ මතය අනුව නෙළුම හෙවත් පද්මය සඳකඩපහණේ නිර්මාණය කිරීමෙන් සංකේතවත් කෙරෙන්නේ වාසනාව සෞන්දරත්වය, සශ්‍රීකත්වය, පවිත්‍රතාවය සහ දේවත්වයයි. ඒ අනුව සඳකඩපහණෙහි ලියවැල මඟින් සංකේතවත් වන්නේ සියලු ම වෘක්ෂලතා බවත්, හංසයින්ගෙන් සංකේතවත් කිරීම විවිධ අවස්ථාවල යොදා ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව සූර්යයා ද, මහා බ්‍රහ්මයාගේ වාහනය ද සංකේතවත් කෙරේ. මහාචාර්ය විනීවිතාරණ මතය අනුව මෙම සඳකඩපහණවල සැරසිලි සඳහා මංගල වස්තු යොදාගෙන ඇත. සඳකඩපහණට පමණක් නොව මුරගල හා කොරවක්ගලට ද මංගලවස්තු යොදාගෙන ඇත. ඒවා පයට ස්පර්ශවීමෙන් සහ දැකීමෙන් මංගල වස්තු එසේ දැකීමෙන් කෙනෙකුගේ සමෘද්ධිය ද, අපේක්ෂා ඉෂ්ට සිද්ධවීමට ද බලපාන බව එම මතයෙන් ප්‍රකාශිත ය.

පොළොන්නරුවේ සඳකඩපහණ

අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේ නිර්මාණය කරන ලද සඳකඩ පහණවල ඒවායේ නිර්මාණය කර ඇති මූර්ති කැටයම්වල වෙනසක් දක්නට ලැබේ. මෙහි මූලික වෙනස වන්නේ පොළොන්නරු යුගයේ සඳකඩ පහණවල නිර්මාණය කර ඇති සිව්පා සතුන් සතර දෙනාගෙන් එක් සිව්පාවෙකුගේ රූපය ඒ සඳකඩපහණවල නිර්මාණය කර නොතිබීම ය. මේ අනුව පොළොන්නරු යුගයේ සඳකඩපහණවල වෘෂභයා හෙවත් ගවයාගේ රූපය මූර්තිමත් කර නැත. අනුරාධපුර යුගයේ සඳකඩපහණවල වෘෂභ රූපය නිර්මාණය කිරීමට ත්, පොළොන්නරු යුගයේ සඳකඩ පහණවල එසේ වෘෂභ රූපය නිර්මාණය නොකිරීමටත් හේතුව කුමක්ද? යන්න සොයා බැලිය යුතු ය.

පොළොන්නරු යුගයේ ඉතිහාසය ගැන විමසා බලන විට ඒ කාලයේ දී බුද්ධාගම මෙන්ම හින්දු ආගම ඇදහීම ද බහුල ලෙසින් පැවති බව පොළොන්නරුවේ පිහිටි ශිව දේවාල වලින් ද පැහැදිලි වෙයි. එම ශිවදේවාලවල හින්දු ආගමට අයත් ලෝකඩ ප්‍රතිමා ද, ශිලා නිර්මාණ ද හමු වී ඇත. හින්දු ආගමේ පූජනීය සත්වයෙක් ලෙසින් වෘෂභයා සැලකේ. මේ නිසා දෙපයට පෑගෙන ලෙස නිර්මාණය කළ සඳකඩපහණෙහි වෘෂභ රූපය මූර්තිමත් කර නැත. මේ ලක්ෂණය පොළොන්නරු යුගයේ සඳකඩපහණවල දක්නට ලැබෙන විශේෂිත ලක්ෂණයකි. මීට අමතරව අනුරාධපුර යුගයේ සඳකඩපහණ මෙන් පොළොන්නරු යුගයේ සඳකඩ පහණ කලාත්මක නොවන බව ද පැහැදිලි ය. අනුරාධපුර යුගයට පසුව නිර්මාණය කරන ලද පොළොන්නරු සමයේ සඳකඩපහණවල පමණක් නොව ඉන්පසු කාලවල දී නිර්මාණය කළ සඳකඩ පහණවල ද අනුරාධපුර යුගයේ මෙන් කලාත්මක නැත.

පොළොන්නරු යුගයේ සඳකඩ පහණ

අනුරාධපුර යුගයේ සඳකඩ පහණින් තීරු එක් එක් සත්වයා වෙනුවෙන් වෙන් කර තිබීමත්, පොළොන්නරු යුගයේ සඳකඩ පහණවල තීරු එක් එක් සත්වයා වෙනුවෙන් වෙන් කර තිබීමත් ය. උදාහරණයක් ලෙසින් පොළොන්නරුවේ වටදාගෙයි නිර්මාණය කර ඇති සඳකඩපහණෙහි තීරු තුනක එම සතුන් නිර්මාණය කර ඇත. පිටස්තර තීරුවේ හංස රූප 30 ද, මධ්‍ය තීරුවේ හස්තිරූප 14 ක් ද, ඇතුළත තීරුවේ අශ්වරූප 12 ද නිර්මාණය කර ඇත. පොළොන්නරුවේ වටදාගෙයි ඇති සඳකඩපහණ ඉතා අලංකාර ලෙසින් නිර්මාණය කිරීමට මූර්ති ශිල්පීන් කටයුතු කර ඇත. මෙම වටදාගෙය අයත් මුරගල් සහ අනෙකුත් නිර්මාණ ද ඉතා වැදගත් වන්නේ ය.(පොළොන්නරුව - මධ්‍යකාලීන ලක්දිව අග නගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, පි. 286 – 1998 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)