ගුරු භූමිකාවේ අග්‍රඵලය – අග්‍රගණ්‍ය ශිෂ්‍ය රත්නය:
සාර්වභෞම පණ්ඩිත
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ
වාග්විද්‍යා අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය,
විද්‍යාලංකාර පිරිවෙන්හි ආචාර්ය
උඩගලදෙණියේ ධම්මවිමල හිමි
විද්‍යාලංකාර ද්විතීය පරිවේණාධිපති සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙනි (1918-2018)
රටක, ජාතියක, සමාජයක, ආගමක පරිහානිය මෙන්ම දියුණුව රඳා පවතිනුයේ එකල සුජීවත්ව වාසය
කරන ප්‍රජාවගේ ක්‍රියා කලාපය අනුව බව මෙතෙක් අප පසු කළ අතීතය දෙස විමසා බැලීමේ දී
පෙනී යන කරුණකි. එමෙන්ම පරිහානියට පත් වී යන දේශයක් අරුත් බර හැරවුම් ලක්ෂයක් ඔස්සේ
ගමන් කරනුයේ එකී දේශයේ වාසනාවට පහළ වන ශ්‍රේෂ්ඨ පුද්ගල චරිත අනුව බව පැහැදිලි ය.
මහනුවර යුගයේ දී අප දේශයට බලපෑ විදේශීය ආක්‍රමණ හමුවේ විනාශමුඛයට ගිය, දේශියත්වය
ආරක්ෂා කළ, ජාතියේ පිනට පහළ වූ අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ එවැනි යුගකාරක
යතිවරයන් වහන්සේ නමකි. නූතන ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ජාතික, ආගමික, ශාසනික,
සංස්කෘතික මෙන්ම ශබ්ද ශාස්ත්‍රිය අභිවර්ධනය කෙරෙහි කටයුතු කළ නූතන චරිතය වන්නේද
උන්වහන්සේ බව අප අමතක නොකළ යුතු ය.
උන්වහන්සේගෙන් ආරම්භ කළ උදාර දේශීය මෙහෙවර යුගයෙන් යුගය ඉහළ යන්නට විය. එකී යුගකාරක
චරිත අතර පැවිදි ගිහි චරිත කිහිපයක්ම කැපී පෙනේ.
බෝධිසත්ත්වගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමියන්ගේ අග්‍රගණ්‍ය ශිෂ්‍යවර
සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් එවැනි යුගකාරක යතීන්ද්‍රයන්
වහන්සේ නමකි. උන්වහන්සේ විද්‍යාලංකාර පිරුවන මුළු මහත් ශාස්ත්‍ර ලෝකයේ ම
සම්භාවනීයත්වයට පත්කරන්නට ඇප කැප වූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් මෙන් ම, ධර්ම
දේශකයෙක්, ගුරුවරයෙක්, ගත්කතුවරයෙක්, සංස්කාරකවරයෙක්, උගතෙක් වශයෙන් අපේ රටට,
ජාතියට, ආගම දහමට මෙන්ම භාෂා ශාස්ත්‍රාදියට කළ සේවය අති මහත් ය. මෑත ඉතිහාසයේ වැඩ
විසූ අද්විතීය වූ බහුශ්‍රැත, සුපේශල ශික්ෂාකාමී, සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් හැටියට
ශාස්ත්‍ර ලෝකයා ම උන්වහන්සේට ගරු බුහුමන් කරත්.
උප්පත්තිය
හේවාගම් කෝරළයේ වේරගල සිටි ගම්පති කළුබෝවිල අප්පුහාමිලාගේ අලිසන්දරි අප්පුහාමි
මහතාගේ සහ ආටිගල තිරගන්දගේ සිරිවර්ධන හාමිනේගේ වැඩිමහල් දියණිය වූ දෝන ඉසබෙලා ද
අල්විස් සිරිවර්ධන මෙනෙවිය සමඟ ඇලෙක්සැන්ඩර් වීරසිංහ අප්පුහාමි 1852 දී විවාහ වූයේ
ය. මේ දම්පතීන් යුවළට දාව 1853 ක් වූ සැප්තැම්බර් මස 23 වෙනි බදාදා දින මේ පුත්
කුමරාණෝ ජන්ම ලාභය ලැබූහ. මතු අනාගත සුබ මං සලකුණුවලින් පිරිපුන් පුත් කුමරු ඇකයේ
හොවාගත් මව්තුමියට ද, පිය පදවියෙන් මහත් ආනන්දයට පත් පියාණන්ට ද සපැමිණි සියලු
දෙනාට ද එය සතුට දනවන මොහොතක් වූවා නිසැක ය. රැස්ව සිටි ඥාති පිරිස අතර පුත්
කුමරුගේ කුඩා මෑණියන් වු දෝන ජුලියානා ද අල්විස් සිරිවර්ධන හාමිනේ සහ එතුමියගේ
ස්වාමිපුරුෂයා වූ ගොතටුවේ දොන් යොහන්නස් වෙද මහත්තයා ද වූ හ. පුත් කුමරුගේ
වේලාපත්කඩය සෑදවීම භාරගත් ජුලියානා හාමිනේ සිය සැමියාගේ ගුරුවරයා වූ බටුවන්තුඩාවේ
දේවරක්ඛිත පඬිතුමා වෙත යැව්වා ය . එතුමා කුමරුගේ උප්පත්තියෙහි දී ග්‍රහයන් පිහිටීම
බැලූ පමණින් ම මෙය දුර්ලභ ගණයේ හැකියා රැසක් දෝතින් රැගෙන පැමිණි පින්වත් කුමරෙකැයි
පවසමින් සතුටුවන හඳහනම ලියවා දෙන්නමැ’ යි දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමීන් වෙත
එය භාර කළේ ය. ඈපා අප්පුහාමි එම කේන්ද්‍රය විස්තරාත්මකව “මේ ළදරුවා මතු වන්දනීය
පැවිදි උතුමෙක් වන්නේ ය. ලෝකයා හට මහඟු සෙතක් අත්කර දීමට අප වෙත පැමිණි උතුම්
උපතකි” යැයි කියමින් ලිව්වේ ය.රුපියල් හතරක ඒ සඳහා දුන් බැරපැන “ළදරුවාගේ කිරි මිල
පිණිස ගන්නට ය “ කියා නැවත දුන් බවද සඳහන් වේ.
අකුරු ඉගෙනීමට සුදුසු කල පැමිණියෙන්, මේ කාලයේ ශතක පොත් කියවන්ට සුදුසු යැයි සලකා ඒ
පිළිබඳව අතිදක්ෂ වූ කිත්සිරිමෙවන් කැලණි විහාරවාසි කොටගම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
වෙත උදේ අකුරට ගොස් සවස ගෙදර එන ශිෂ්‍යයකු ලෙස භාර කළේ ය. දවස දෙවේලේ මෙසේ
ඇවිදීමෙන් කුඩා දරුවාට අධික වෙහෙසක් ඇති විය හැකි යැ’යි සලකා අලුත්කුරුවේ අස්ගිරි
වල්පොළ විසු ඉතා ළඟ ඥාතිවරයකු වූ දොන් දිනෙස් අමරතුංග අප්පුහාමිගේ නිවසෙහි නතර කොට
ඊට නුදුරුව අලුත් තැනක වස් වසා වැඩ සිටි කහතුඩුවේ චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ
වෙත සිප් සතර හැදෑරීම සඳහා භාර කරන ලදී. වීරසිංහ පවුලට පැරැණි ඤාති සම්බන්ධයක් ද
ඇති ධර්මධර , විනයධර බහුශ්‍රැත සිල්වත් හිමි නමක් වූ උන්වහන්සේ පියතුමාගෙන් මේ
කුමරු භාරගන්නා අවස්ථාවේ දී ”මේ ළමයා මහණ කරවන්ට සතුටුදැ’යි විචාළහ. එකී ප්‍රශ්නයට
පියතුමා දුන් පිළිතුර වූයේ “අකුරු ඉගෙනගත්තාම කැමැත්තක් කරන්ට පුළුවනැ” යි වශයෙනි.
ප්‍රව්‍යජාව
චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ පියාණන් දුන් එකී උත්තරය, මහණ කිරීමට දුන්
අවසරයක්” යැයි සලකා ටික දිනකට පසු දරුවා භාරව සිටි දිනෙස් අප්පුහාමි ගෙන්වා” ළමයා
මහණ කරන්නට කැමැත්ත දී තිබෙනවා. ඊට නැකතක් බලා තිබෙනවා. නැකත් වේලාවට කලින් ළමයා
කැටුව එන්න”යැයි කීවේ ය. එවිට “පියාණන්ගෙන් එවැනි වචනයක් අපට ලැබුණේ නැත. අපට වරද
වැටේ “ යැයි කී විට, ඒ අප්පුහාමි මගේ කිට්ටුවරයෙක්, ළමයා මගේ මුනුබුරෙක්, බාර දීමේ
දී මහණ කිරීමට කැමැත්ත දී තිබෙනවා. නැකත ළඟ නිසා උන්නැහේට දන්වා යවන්ටත් කල් නැහැ.
ඒ සියලු වරදකට මම සිටිමි” යි උන්වහන්සේ යළිත් කීහ. උන්වහන්සේ තරයේම කියා සිටි නිසාම
දිනෙස් අප්පුහාමි එයට කැමැතිව සිය නෑදෑ පිරිස සමඟ ළමයා නියමිත වෙලාවට පැමිණ භාරදුන්
පසුව උත්සවාකාරයෙන් මහණ කළේය. (මහණ කිරීමේ දී දුන් නමක් පිළිබඳ තොරතුරක් සොයා ගත
නොහැකි ය) එවිට දරුවාට අවුරුදු හතයි මාස හතරක් පමණ වයස ය. සිප් සතර ඉගෙන ගැනීමෙහිලා
අති දක්ෂයෙකු විය.
චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ දරුවා මහණ කිරීමෙන් ශාසනික අභිවෘද්ධිය පිණිස
යහපතක් කළේ නමුදු කුමරුගේ මව්පිය දෙපාර්ශ්වයට එය කණස්සල්ලට හේතුවක් විය. විටෙක
සිවුරු හරවන්නට තැත් කළ ද, හෙරණපාණන් වහන්සේ ද එයට අකැමැත්ත ප්‍රකාශ කළහ. උන්වහන්සේ
දෙමාපියන්ගේ බලකිරීම ද දුරුකරනු වස් සිංහල අලුත් අවුරුදු කාලයේ ඥාති ග්‍රාමයෙහි
(කලපළුවාව) මාසයක් පමණ වැඩ වාසය කරමින් බණ දහම් කියා දෙමින් පිරිස අස්වසාලීමට
ක්‍රියා කළහ. එහි දී උන්වහන්සේ පාලි භාෂාවෙන් කථාකිරීම ද, චතුර ලෙස ධර්මදේශනා
පැවැත්වීම ද ප්‍රගුණ කළහ. හෙරණපාණන්ගේ දක්ෂතාවන් දුටු චන්දජෝති හිමියෝ “ඉතා දියුණු
වන කුලදරු කෙනෙකි. එසේ මෙසේ තැනක වාසය කරවිය යුතු නොවේ” යැ’යි කල්පනා කරමින් වැඩ
සිටියහ. මේ අතර හෙරණපාණන් වහන්සේගෙන් බණ අසා පැහැද සිටි සල්පිටි කෝරළයේ මුදලි තනතුර
දරමින් සිටි නිකලස් ගුණතිලක මුදියන්සේ රාළහාමි “මුන්නාන්සේ සුදුසු ආචාර්යස්ථානයකට
වහාම පත්කරන්නට “ යැයි ගුරුදේවයන් වහන්සේට ප්‍රකාශ කර සිටියේ ය. පසුව තමාම සුදුසු
ආචාර්ය කෙනෙකුන් සොයා භාරකරන්නට ඉදිරිපත්ව හෙරණපාණන් වහන්සේ කැටුව ගිය නමුදු
‘ආචාර්යයන් වහන්සේගේ බැල්ම නපුරු යි” කියා එහි නැවතීමට නො සතුටු වූයෙන් එය අසාර්ථක
විය. හෙරණපාණන් වහන්සේගේ කැමැත්ත අනුවම සුදුසු විද්‍යස්ථානයක් සෙවීමට වසරක් පමණ
කාලය ගත විය. පනහවත්තේ විහාරාධිපතිව වැඩ විසූ හේවාගම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ
කාරණය පිළිබඳව උත්සාහවත් වී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ
වර්ණනා කොට එහි ගොස් බලන්නට යෝජනා කිරීමෙන් එහි වැඩම කිරීමෙන් හෙරණපාණන් වහන්සේ
ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැන ද, සෙසු ශිෂ්‍ය පිරිස ගැන ද විහාරස්ථානය ගැන ද
සතුට ප්‍රකාශ කිරීමෙන් ගමන සාර්ථක විය.
1864 ක් වූ මැයි මස ශුභ නක්ෂත්‍ර දිනයක් නියම කරගත් පසු පියාණන්ට දන්වා චන්දජෝති
ස්වාමීන්ද්‍රයන් වහන්සේ පියවර කැටුව පැමිණ සිරිත් පරිදි කුඩා සාමණේරයන් වහන්සේ
ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතේ තබා “ස්වකීය ශිෂ්‍ය පුත්‍රත්වයෙන් කැමැති සේ
සාදාගත මැනවැ”යි භාරකළහ. මෙහිදී හෙරණපාණන් වහන්සේගේ මුත්තණුවන් කෙනෙකු වූ මීගොඩ
වෛද්‍යාචාර්ය වෙලුන් දියෙස් ජයසූරිය මහතා ඉදිරිපත්ව උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු
සියලු ආධාර සලසවන බවට පොරොන්දු දී එකී භාර කිරීම තව තවත් තහවුරු කළේ ය.
ශිෂ්‍ය රත්නය භාරගත් ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ “මේ ගෝලයා සෑදීම, ස්වකීය
ප්‍රධාන කාර්යය ලෙස සලකා, තම ආචාර්ය වංශය පිහිටුවීම් වශයෙන් සිය අතින් නැවතත්
සාමණේරයන් වහන්සේ පැවිදි කරවා, “රත්මලානේ ධර්මාරාම” යන නාමය තබා පාලි වරනැඟිල්ලේ
පටන් ඉගැන්වීම ආරම්භ කළහ. එවිට ධර්මාරාම සාමණේරයන් වහන්සේට වයස අවුරුදු දහය යි මාස
අටකි.
පැවිදි වීමේ දී ‘කලපළුවාවේ ධර්මාරාම ලෙස නම යොදන්නට ඇතැයි සිතේ. එයට හේතුව ධර්මාරාම
හිමියෝ කිසි තැනක ආර්. ධර්මාරාම නමින් අත්සන් කර නැත.උන්වහන්සේ කේ. ධර්මාරාම ලෙසම
අත්සන් කර ඇත. මෙහි දී කිවයුතු කරුණ නම් ධර්මාරාම හිමියෝ තම ගුරුදේවයන් වහන්සේගේ
අපවත්වීමත් සමඟ උන්වහන්සේට කෘතගුණ සැලකීමක්, ගෞරව කිරීමක් වශයෙන් රත්මලානේ ධර්මාරාම
ලෙස තම නම භාවිතයට ගන්නට ඇතැයි යන්න යි. ලුණුපොකුණේ ධර්මානන්ද හිමියෝ ද රත්මලානේ
ධර්මාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු රත්මලානේ ධර්මානන්ද ලෙස තම නම් ව්‍යවහාර
කරන්නට යෙදුණි.
ශාස්ත්‍රෝද්ග්‍රහණය
ඉගෙනීමෙහි සහ දක්ෂතාවයෙන් හෙබි උන්වහන්සේගේ අර්ථාවබෝධය හා ධාරණය පුදුම දනවන සුළු
විය. වයස දාහතරේ දී සිංහල, පාලි භාෂා දෙකම මැනවින් දත් ප්‍රවීණ බුද්ධියක් ඇත්තෙක්
වූ හ.
බටුවන්තුඩාවේ පඬිතුමා ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වු විටක “හාමුදුරුවනේ,
ඔබ වහන්සේ දැන් කුමක් කරන්නේ දැ”යි ඇසු විට “මම ධර්ම ශාලාවක් තනවමි” යැයි පිළිතුරු
දුන්හ. පසු වතාවක මේ පණ්ඩිත උත්තමයන් දෙදෙනා හමු වූ තැනක දී “හාමුදුරුවෝ, අර
ධර්මශාලාව තනා අහවර දැ”යි බටුවන්තුඩාවේ පඬිතුමා ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගෙන් ඇසූ විට “ඔව්, මම ඒ ධර්මශාලාව තනා අහවරයි. මේ ඒ ධර්මශාලාව තමා” යැයි සිය
ශිෂ්‍ය රත්නය වූ ධර්මාරාම හිමියන් පෙන්වමින් උන්වහන්සේ ඉමහත් පී‍්‍රතියෙන් පිළිතුරු
දුන්හ. ස්වකීය ශිෂ්‍ය රත්නය ගොඩනැංවීමට ගුරුදේවයන් වහන්සේ හැටියට ධර්මාලෝක
යතීන්ද්‍රයන් වහන්සේ ක්‍රියා කළ ආකාරය වත්මන් සමස්ත ගුරු ප්‍රජාවට පූර්වාදර්ශයක්
වනු නොඅනුමාන ය. තමන් වහන්සේට හැකි උපරිම අයුරින් අවවාද අනුශාසනා මඟ පෙන්වීම් ලබා
දුන්හ.
අධිශීල සංඛ්‍යාත උපසම්පදාව
විසි වස් සම්පූර්ණ ධර්මාරාම සාමණේරයන් වහන්සේ 1874 ක් වූ ජුනි මස මූල සතියක දී
මහනුවර මල්වතු මහා විහාරයේ මැදගම ශ්‍රී ධර්මරක්ෂිත දේවමිත්‍රාභිධාන මහානායක
ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව වෙත පෙනී සිටියහ. මෙහි දී මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මාලෝක හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එනම්, ධම්මාරාම කුඩා
උන්නැහේ මටත් ගෝලයා කරගන්ට ඉල්ලමි”යි යන්නයි. මහානායක හිමි එයින් අදහස් කළේ තමන්
වහන්සේ උපාධ්‍යාය වී වදාරන්ට සතුටු බව ය. “මෙවැන්නක් සාමාන්‍ය ගෝලයන්ට සිදු වී නැත.
එබැවින් මම මේ ආයුෂ්මතුන්ට උපාධ්‍යාය වෙමි” යි නැවතත් වදාළහ. මෙහිදි ධර්මාරාම
හිමියෝ ලියා ඉදිරිපත් කළ සංස්කෘත, පාලි, අෂ්ටක දෙක, ඡන්දස් අලංකාර, ව්‍යාකරණ විස්තර
සහිත පදගතාර්ථ සන්නය කාගෙත් පැසසුමට ලක් විය.
පරිවේණාධිපති ධූරය
විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භයත් සමඟ එහි පරිවේණාධිපති ධූරය හෙබවූයේ
බෝධිසත්ත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක යතීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ නොබෝ
දිනකින්ම උපාචාර්ය ධූරය දරමින් සිට තම අග්‍රගණ්‍ය ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම
ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරුවෙනෙහි උප පරිවේණාධිපති ධූරයට පත් කොට බැදිගම රතනපාල
ස්ථවිරයන් වහන්සේ උපාචාර්ය ධුරයට පත් කළහ. මේ කාලයේ දී ගුරු ශිෂ්‍ය දෙදෙනා වහන්සේ
සංස්කෘත ශබ්දමාලා” නම් ග්‍රන්ථය ද “ධර්මප්‍රදීපිකතා” නම් ගැඹුරු ව්‍යාඛ්‍යාන
ග්‍රන්ථය (1886) ද ශුද්ධ කොට ප්‍රකාශයට පත් කළහ.
1887 වූ අගෝස්තු මස 17 වෙනි දින බෝධිසත්ත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට රත්මලානේ
ශ්‍රී ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර දායක සභාව විසින් පත්කරගන්නා
ලදී.
ශාස්ත්‍රීය සේවය
ස්වකීය ගුරුදේවයන් වහන්සේගේ අවධියේ පටන්ම කරගෙන ආ ඒ ශාස්ත්‍රිය කටයුතු නොනවත්වා
ඉදිරියට කරගෙන යමින් ශාස්ත්‍රීය ලෝකයා වෙත මහත් මෙහෙවරක් කරන්නට උන්වහන්සේ සමත්
වූහ. ශී‍්‍ර ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ එකල මූල ග්‍රන්ථය අභාවයට ගොස් තිබිය
දී පුරාණ සිංහල සන්නය අනුසාරයෙන් මහා කවි කුමාරදාසයන් විසින් රචිත ජානකීහරණ මහා
කාව්‍යය නැවත රචනා කොට 1890 දී පළ කළහ. එමෙන්ම ඒ වනතුරුත් ව්‍යාකූලව පැවැති සිංහලයේ
න,ණ,ල,ළ භේදය පිළිබඳ යථා ප්‍රයෝග අක්ෂර වින්‍යාසය හෙළිදරව් කළහ. 1892 දී ධර්මාරාම
හිමියෝ සත්‍යසමුච්චය’ සඟරාව මගින් ස්වකීය නිගමනය ඇතුළත් කොට අක්ෂර වින්‍යාසය පිළිබඳ
පැරැණි නිවැරැදි පිළිවෙළ පැහැදිලි කළහ. 1896 දී පඤ්චිකා ප්‍රදීපය සංශෝධනය කොට
ප්‍රකාශනය කළහ. 1902 දී සිදත් සඟරාව සංශෝධනය කොට ලියා පළ කළහ. තව ද එකී ශාස්ත්‍රීය
පොත පත අතර පපංචසූදනී අටුවාවෙහි ප්‍රථම භාගය, මනෝරථපූරණී,අත්ථසාලිනී වැනි පෙළ අටුවා
ද මජ්ක්‍ධිම නිකාය, ධම්මසංගණී ආදි පෙළ පොත් ද, බාලාවතාර, මහාරූපසිද්ධි, පාලි
නාම්‍යාත පදමාලා වැනි පාලි ව්‍යාකරණශි‍්‍රත ග්‍රන්ථද මහාබෝධිවංශ ග්‍රන්ථ පද විවරණය
සන්න සහිත කාව්‍යශේඛරය සන්න සහිත සැළලිහිණි හා හංස සන්දේශ, කාව්‍යශේකර පුරාණ සන්නය
සංස්කරණ ආදිය ඒ අතර වේ. එමෙන්ම බුද්ධවර්ෂ වාද, පාරුපනවාද, සුගත්වියත්වාද ආදී විවිධ
වාදවිවාද පවත්වා එකී මතවාදවල පැවැති ව්‍යාකූලතා නිරාකරණය කොට ඉදිරිපත් කළහ.
යථෝක්ත කරුණු පිළිබඳව සලකා බැලීමේ දී විද්‍යාලංකාර පිරුවන්හි දෙවන පරිවේණාධිපතීන්
වහන්සේ වූ රත්මලානේ ශී‍්‍ර ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑත ඉතිහාසයේ වැඩ
විසූ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් හෙබි බහුශ්‍රැත ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමී
සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස පැවිදි ගිහි වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී
ඇත.
1918 මැයි මස 03 වන දින උන්වහන්සේ අපවත් වී වදාළහ. |