Print this Article


පැරැණි රජ දවසකෙත්වතු පිදූ සැටි

පැරැණි රජ දවස කෙත්වතු පිදූ සැටි

කෙත්වතු සඟ සතු කොට පිදීම හෙවත් සම්බුද්ධ ශාසනයේ යහ පැවැත්ම පිණිස ගොඩමඩ ඉඩ කඩම් පූජා කිරීම ඈත අතීතයේ සිට ම බෞද්ධයන් විසින් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා දුර දක්නා නුවණින් ද යුතු ව සිදු කරන ලද බවට අපේ මූලාශ්‍රය සාක්ෂි දරයි.

රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් මෙන් ම ප්‍රභූවරුන් හා සාමාන්‍ය මහජනයා විසින් ද මෙම උතුම් පින්කම සිදු කරන ලද අවස්ථා අපමණවත් දඹදිව මෙන් ම ලක්දිව ද ශාසන ඉතිහාසයෙන් සොයා ගත හැකි ය.

බුද්ධත්වයෙන් සත් මසෙක ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙන් නික්ම රජගහනුවරට නුදුරෙහි වු තල් වනයට වැඩම කළ බවත්, එහි පැමිණි පිරිවර සහිත බිම්සර රජු උන්වහන්සේ හමුවීමෙන් අනතුරුව ප්‍රසාදයට පත්ව රජගහ නුවරට වැඩමවා දන් පැන් පූජාකොට ස්වකීය රාජකීය උද්‍යානය වූ වේළුවනය පූජාකළ බවත් සඳහන් වෙයි. ඒ වනාහි සාසන ඉතිහාසයේ හමුවන ප්‍රථම කෙත්වතු පූජාව ය. “මගධෙශ්වර වූ සේනා ඇති ඒ බිම්සර රජු හට අපගේ මේ වේළුවන උයන ගමට නොදුරෙහි ය. නොලංහි ය. ගමනාගමනය ද පහසු ය. වුවමනා මිනිසුන්ට පහසුවෙන් යා හැකි ය. දහවල් ගැවසීමෙක් නැත. රාත්‍රිය නිහඬ ය. ඝෝෂා රහිත ය. ජනාවාස නැත. රහසිගත හමුවීම්වලට ද සුදුසු ය. කාය විවේකයට යෝග්‍ය ය. ඒ වේළුවන උයන බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පුදන්නේ නම් යෙහෙකැ’ යි සිත් විය. රජතෙමේ ඒ බව බුදුරදුන්ට සැළ කළේ ය. පැන් වත්කොට පුදන ලද එම භූමිය පිළිගත් බුදුරජාණන් වහන්සේ රජුට දහම් දෙසා සිත් පහදවා සතුටු කොට භික්ෂූන් ඇමතූහ. මහණෙනි, ආරාම පිළිගැනීමට අනුදනිමි”යි. වදාළ බව විනය මහාවග්ගය සඳහන් කරයි. මෙහි ආරාමය යනු මල් පලු පල්ලවයෙන් සැදුම්ගත් උයන යි. භූමිය යි. ඇතැම්විට වර්තමානයේ අදහස් කරන පරිදි සංඝාවාසය නොවේ.

දෙවන පෑතිස් මහ රජු දවස ලක්දිවට බුදු දහමේ ආශිර්වාදය ලැබීමෙන් පසු එම රජු විසින් රාජකීය උද්‍යානය වූ මහමෙවුනා උයන මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වහන්සේ වෙත පූජා කරන ලද්දේ ය.

මිහිඳු මා හිමියන් හා පිරිස රජතුමාගේ බලවත් ඇවිටිල්ල ඉවසා” නුවරට ඉතා නුදුරු ඉතා නොලං” මහමෙවුනා උයනෙහි පිහිටි රාජ මන්දිරයෙහි වැඩ විසූහ. රජතුමා තෙරුන් දකින්ට ගොස් එතැන උන්වහන්සේලාට සැප පහසු තැනක් දැයි අසා එසේ යැයි මිහිඳු මාහිමියන් වදාළ විට, රන් කෙණ්ඩියකින් මිහිඳු මාහිමියන් අත පැන් වත්කොට මහමෙවුනා උයන මහා සංඝයාට පූජා කෙළේ ය.

රජතුමා සිතෙහි හටගත් ශ්‍රද්ධාවෙහි බාහිර සංකේතයක් වූ මේ ආරාම දානයෙන් භික්ෂූන්ගේ ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය වන ලෞකික සැප විහරණය සැලසුණේ ය. එබැවින් මිහිඳු මාහිමියෝ ‘බුදු දහම ලංකාවෙහි පිහිටන්නේ” යි යන මේ ඉතාම වැදගත් ප්‍රකාශය කළහ. මහමෙවුනා උයන සංඝයාට පූජා කිරීමෙන් පසු මහින්ද ස්ථවිරයෝ බුද්ධ ධර්මයෙහි මූලස්ථානය පිළියෙළ කරන්නට යුහුසුළු ව ක්‍රියා කළාහු ය. මතු කලක දී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි හා සංස්කෘතියෙහි මහා කේන්ද්‍රස්ථානය ද, ථේරවාදයෙහි බලකොටුව ද වූ මහා විහාරය බවට පෙරළුණේ මෙසේ මිහිඳු මාහිමියන් ආරම්භ කළ ස්ථානය යි. පසු කලෙක අනුරාධපුර ශුද්ධ නගරය හැටියට සැලකුණු පෙදෙසෙහි මුල් සැලැස්ම හා වින්‍යාසය කරන ලද්දේ මිහිඳු මාහිමියන් විසිනැයි සිතීමට වැදගත් හේතු ඇත. මිහිඳු මාහිමියන්ට වඩා රටතොට සැරිසරා පුරුදු උන්වහන්සේට වඩා දැනුම ඇති. වඩා උගත්, වඩා සභ්‍ය ,වඩා ශිෂ්ට සම්පන්න එක ම කෙනෙකු වත් එවකට ලංකාවේ සිටියේ නැත.

උන්වහන්සේ මගධ මහාරාජ්‍යයේ ශෝභාසම්පන්න අගනුවර වූ පාටලීපුත්‍ර නගරයෙහි වාසය කොට පුරුදු කෙනෙකි. උන්වහන්සේගේ පියාණන් විසින් කරවන ලද අශෝකාරාමාදිය හා තම මෑණියන් විසින් විදිසාවෙහි කරවන ලද චේතියගිරි (වර්තමාන සාංචි) ආදී මහා ආරාමයන් දැක පුරුදු කෙනෙකි. එබැවින් ආරාමයක සැලැස්ම සකස් කිරීමට උන්වහන්සේට වඩා සුදුස්සෙක් නොවී ය. වංසකථාවල එන ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර ද මිත්‍යා කථා ද පැත්තකට කළ විට අපේ මනැසට පෙනී යනු ඇත්තේ සංඝ කර්ම සඳහා මාලකයක්, (සංඝයාගේ පරිහරණය සඳහා) උණු දිය නාන කාමරයක් සහිත පොකුණක්, ශී‍්‍ර මහා බෝධියට ස්ථානයත්, සංඝයාගේ උපෝසථ සාලාවත්, ලභබත් ගෙයත්, සංඝයාට බත් හලක් සහ මහාථූපය යන මේ එක එකට සුදුසු ස්ථානයක් දක්වමින් මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් රජු කැටිව නුවර වටා තැනින් තැන වඩින සැටි ය. මෙහි දී අපට මහා විහාරයෙහි මූලික සැලැස්ම පෙනේ. (ලක්දිව බුදුසමයේ ඉතිහාසය ආචාර්ය වල්පොල රාහුල හිමි)

අනුරාධපුර මහාමේඝ වනෝද්‍යාන පූජාවෙන් ආරම්භ වන ලක් ඉතිහාසයේ කෙත් වතු පූජාව යුග ගණනාවක් තිස්සේ ම විවිධ රජදරුවන් හා ජන ප්‍රධානීන් විසින් නොයෙකුත් වෙහෙර විහාර කේන්ද්‍රකොට ගෙන විවිධ පරිමාණයෙන් සිදු කරන ලද බවට අපේ ඓතිහාසික ශිලා ලේඛන හා සාහිත්‍යමය මූලාශ්‍රය ශාක්ෂි දරයි. එබඳු කෙත් වතු පූජාවන් අතුරින් සමහරක් ඉහත ආදර්ශයට ම අනුව වෙහෙර විහාර ඉදිකිරීම සඳහා ම පුදන ලදී. නාගරික ව පිහිටා තිබූ මුල් සමාජ මෙහෙවරක් ඉටු කළ ඇතැම්විට ශාසනික මූලස්ථාන හෝ සුවිසල් අධ්‍යාපන ආයතන වශයෙන් පැවැති වෙහෙර විහාරවලට එම ජාතික ,ආගමික හා අධ්‍යාපන කාර්යයන් සඳහා මෙන්ම සිය විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ සඳහා වාසස්ථාන ඉදිකිරීමට හා පවත්වාගෙන යාම සඳහා ද ඉඩ කඩම් අවශ්‍ය විය. එසේම එබඳු විහාරස්ථානවල එම විවිධ කාර්යයන්හි නිරත වූ ගිහි පැවිදි ජනයාගේ නඩත්තුව උදෙසාත්, ‘ගොඩනැගිලි ආදිය පිළිසකර කිරීම පිණිසත්, දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීමටත්, ආදායම් උපයා ගත යුතු විය. මෙම තත්වය සැලකිල්ලට ගත් ලක්දිව පුරාම රජ දරුවන් විසින් අක්කර සිය ගණන් විශාල ඉඩකඩම් ඇතුළත් ගම්වර පූජා කරන ලද බව ශිලා ලේඛන, සන්නස්. කතිකාවත් ආදියෙන් පැහැදිලි වෙයි. එම කෙත් වතු පූජාවන් ඒවායෙහි පදිංචිව සිටි වැසියනට කරදරයක් නොවන පරිදි සිදු කරන ලදී. කෙත් වතු පමණක් නොව විහාරස්ථානවලට ආදායම් ලැබෙන පරිදි වැව් අමුණු හා වේලි ද, පොලී මුදල් ද, තැන්පත් මුදල් හා ධාන්‍ය ද රජුගේ අනුමැතියෙන් අය කළ බදු ද පැවැති බවට සාධක තිබේ.

“තම ආහාර සහ වස්ත්‍ර සඳහා විශාල සංඛ්‍යාවක් භික්ෂූන් හා භික්ෂුණීන් අනුන් සිය කැමැත්තෙන් දෙන දේ මත මුළුමනින් රඳාපැවැත්ම අසතුටුදායක ක්‍රියා පිළිවෙතක් විය. තම නේවාසිකයන්ගේ අත්‍යවශ්‍ය වුමනාවන් නිතිපතා සැපයීම ද, ආගමික වත්පිළිවෙත් පැවැත්වීම ද, තම ගොඩනැගිලි නඩත්තු කිරීම ද සඳහා විහාරයකට ස්ථාවර ආදායම් මාර්ගයක් තිබිය යුතු බැව් වැඩියෙන් පැහැදිලිවන්නට විය. ඒ අතර ආහාර නිෂ්පාදන තාක්ෂණ ශිල්පය වර්ධනය වීමත් සමඟ විශාල පරිත්‍යාගයන් කිරීම සඳහා වූ රාජකීයයන්ගේ හා වංශවතුන්ගේ ශක්‍යතාවය ද වර්ධනය විය. විහාර දේපළ ක්‍රමයක් වර්ධනය වීමට මෙමඟින් මග පෑදිණි.” (සිවුර සහ නඟුල – රණවීර ගුණවර්ධන)

සඟ සතු කොට පූජා කරමින් විහාරස්ථානවලට පවරා දෙන ලද කෙත්වතු වෙනත් දේපළ හා ගම්වරවලින් අයකර ගන්නා ලද බදු ආදිය කුමන කරුණු සඳහා වැය කළ යුතු දැ’යි ඇතැම් විට රජුන්, යුවරජුන් හෝ වංශවතුන් විසින් නියම කොට තිබිණ. එම දේපළවල භාරකාරත්වය දැරූ භික්ෂූන් හා එම දේපළ පාලනය පිණිස පත් කළ වගකීම් දැරූ ගිහියන් ද විසින් එම කාර්යයන් ඉටු කළ යුතු විය. සමස්තයක් වශයෙන් එසේ කළ යුතු යැයි දක්වා ඇති කටයුතු රාශියකි.

01. භික්ෂූන්ගේ දෛනික අවශ්‍යතා සැපයීම

02. භික්ෂූන්ට වෛද්‍ය පහසුකම් ලබා දීම

03. ආරාමික ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව

04. ආගමික වත් පිළිවෙත් සඳහා වියදම් කිරීම

05. අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම

06. සේවකාදීන්ට වැටුප් ගෙවීම් ආදිය ඉන් ප්‍රමුඛත්වයක් ගත්තේ ය.

ඇතැම් විහාරස්ථාන සතු ඉඩකඩම් ආදිය පරිපාලනය කිරීම භාරදූර වූ විශාල කාර්යභාරයක් විය. එබැවින් ඒ සඳහා විවිධ ගිහි පැවිදි නිලදරුවන් හා සේවකයන් පත් කරන ලදී. එසේම ඊට අදාළ වු නීති රීති ද සකස් විය.

විහාර ඉඩකඩම් ආරාමයට පමණක් නොව ඒවායේ රාජකාරිය කළවුන්ට ද ආදායම් මාර්ගයක් විය. රජය මේ ගම්බිම්වලින් කෙත්වතුවලින් බදු අය කෙළේ නැත. රාජපුරුෂයන්ට රාජකාරියට එහි ඇතුළුවීම තහනම් විය. යමෙක් ආරක්ෂාව හෝ අභය හෝ පතා මේ ඉඩම්වලට හෝ ගම්වලට හෝ වැදුණේ නම් එහි සිටින තාක් ඔහු රාජ පුරුෂයන් විසින් අල්ලා නොගත යුතු ය. ආරක්ෂාව නො ලැබිය යුතු අය විහාර ගමකට වැදුණොත් ඔවුන් අල්ලා ගත යුතු වුයේ ගමින් පිටමං කරවා ගත් පසු පමණි. මේ ඉඩම්වල මායිම් ඇතුළත දි රාජ පුරුෂයන් විසින් ඔවුන් අල්ලා ගැනීම තහනම් විය.

ලක්දිව පුරාණ බෞද්ධාචාර්යවරුන්ට අනුව කෙත් වතු පිදීම මහ පින්කමකි. එය ගරුක පුණ්‍ය කර්මයකි. අටමහ පින්කම් අතර එකකි. කඨින මහ පින්කම ය, අටපිරිකර පූජාව ය, ආවාස තනවා පිදීම ය, බුද්ධ ප්‍රමුඛ සඟ සතු දානය, දහම් පොත පත පිදීම ය , වැසිකිළි කැසිකිළි කරවීම ය, කෙත්වතු පූජාව ය, බුද්ධ ප්‍රතිමා කරවීම ය, යනු අට මහා පින්කම් ය. මිනිසුන් අතින් සිදුකෙරෙන කුඩා පව්කම් ද පින්කම් ද පසුපසට තල්ලු කොට ඉදිරියට පැමිණ සැප විපාක දෙන පින්කම් අටමහා පින්කම් වේ. සසර දී සිදුකර ගත හැකි, සසරට පිහිට වන, මෙලොවට ද පරලොවට ද තමන්ට මෙන් ම අනුන්ට ද බොහෝ අනුසස් දෙන මේ පින්කම් ගරුක පුණ්‍ය කර්ම ලෙස සැලකෙයි.