වත් නොපිරූ කල
සිල් පිරෙන්නෙ නෑ
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
වත්ථං න පරි පුරෙන්තො
සීලං න පරිපුරති
අශුද්ධ ශීලො දුස් පඤ්ඤො
නරයාය උපවඩ්ඪති
පින්වත් දරුවනේ, අද අප කතා කරන්නේ දස පුණ්‍යක්‍රියාවන් හි එන වත්පිළිවෙත් කිරීම
පිළිබඳවයි. වත් පිළිවෙත්වලට වතාවත් කියලත් කියනවා. වතාවත් කිරීම හැමදාම පින් වැඩෙන
මහා පින්කමක්. ඒත් දරුවනේ, බොහෝ දෙනා නොකරන්නේ ද ඔය පින්කම ම තමයි. වත් පිළිවෙත්
කරන දරුවො අත ඔසවන්න කීවොත් බොහෝ ළමයින්ගේ අත් තිබෙන්නේ පහළ කියලා මම දන්නවා. ඒත්
මට විශ්වාසයි, මේ ලිපිය කියවීමෙන් පසුව හැම දරුවෙක් ම, සෑම කෙනෙක් ම වත් පිළිවෙත්
කරන කෙනෙක් වන බව.
අපි වතාවත් පිළිබඳව මුල සිටම පැහැදිලි කර ගනිමු. දරුවනේ, ගෙදරදී කරන්න වත් පිළිවෙත්
තිබෙනවා. පාසලේ දී කරන්න වත් පිළිවෙත් තිබෙනවා. පන්සලේ දී කළයුතු වෙනස් විදියේ වත්
පිළිවෙත්. ඒ වගේම මේ සියල්ලෙන් පිටත තැන්වල දී වගේ ම අම්මාට, තාත්තාට, ගුරුවරුන්ට,
වැඩිහිටියන්ට, ස්වාමීන් වහන්සේලාට කළයුතු වත් පිළිවෙත් වෙන වෙනම තිබෙනවා.
ගෙදරදී කළයුතු වත් පිළිවෙත් මොනවා ද? සාමාන්‍යයෙන් ගෙදර සියලුම වත් පිළිවෙත් කරන්නේ
බොහෝ වෙලාවට අම්මා. ඒ වගේම තාත්තා. දරුවන්ට ඒවාට වෙලාවක් නෑ. ඇතැම්විට වෙලාව
තිබුණත් කරන්නේ නෑ. දිනපතා නිවස අතු ගා පිරිසුදු කිරීම, මිදුල අතුගෑම, මුළුතැන්ගෙය
පිරිසුදු කිරීම, භාජන සේදීම, වැසිකිළි කැසිකිළි සේදීම ආදිය දෛනිකව කළයුතු වත්
පිළිවෙත්.
අපි හිතමු ගෙදර කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිවුණා කියලා. ප්‍රශ්න ඇතිවුණාම ඒවා විසඳන්න
පුළුවන් කාටද? අම්මාට ද? තාත්තාට ද? අම්මට නේද දරුවනේ. ප්‍රශ්නයක් පැන නැඟුනා ම
තාත්තට වඩා හොඳට ඒ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ අම්මට, හේතුව දන්නවා ද? ගෙදර
සියලු වත් පිළිවෙත් කරන්නේ අම්මා වන නිසා. සමහර දරුවන් තමන් ආහාර ගන්නා පිඟානවත්
සෝදන්නේ නෑ. ගෙයක් මිදුලක් අතුගාන්නේ නෑ. දරුවනේ, හැමදාම ගෙදර මිදුල අතුගාන්න තමන්ට
තැනක් වෙන් කර ගන්නට ඕනෑ. භාජන සෝදන්න ඕනෑ. තමන්ට හැකි පමණින් ගේ දොර පිරිසුදු
කරන්න ඕනෑ. ඒ ඇයි කියලා මම පසුව කියා දෙනවා.
පන්සලේ දී කළයුතු වත් පිළිවෙත් මොනවා ද? පාවහන් හිස් වැසුම් ගලවා පන්සලට ඇතුල්වීම,
බෝමළුව, වෙහෙර මළුව ඇමදීම, මල් ආසන පිරිසුදු කිරීම, පත්කඩය එළා පන්සලේ ලොකු
හාමුදුරුවන් වහන්සේට වන්දනා කිරීම ආදී බොහෝ වත් පිළිවෙත් තිබෙනවා. පිටතැනකට ගියා
කියලා සිතන්න. ඒ තැනින් නික්මී ආපසු එනවිට ඇඳ ඇතිරිලි පිළිවෙළකට තබා කාමරය පිරිසුදු
කරලයි එන්න ඕනෑ. ඒවාට කියන්නේත් වත්පිළිවෙත් කියලයි.
‘වච්ච කුටිවත’ යනුවෙන් වෙනම වතක් තිබෙනවා. ඒ කියන්නේ වැසිකිළිවත. මාන්නය අධික නම්,
උඩඟු ගති පැවතුම් වේ නම්, ඒවා දුරුවෙන්න, ලස්සන රූපයක් ලබන්නට වැසිකිළි හොඳින්
පිරිසුදු කළ යුතුයි. ගෙදරදී පමණක් නොවෙයි. පන්සලේ, පාසලේ, ළදරු පාසලේ හැම තැනකම
වච්චකුටි තමයි ජරා ජීර්ණ වී තිබෙන්නේ.
වත් පිළිවෙත් කිරීමේ අනුසස් මොනවාද? එක් කාලෙක පන්සලක් තිබුණා. ඒ පන්සලේ ලොකු
හාමුදුරුවන් වහන්සේ සමඟ පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් වැඩ සිටියා. දවසක් ලොකු
හාමුදුරුවෝ පන්සල් මිදුල ඇමද එක්රැස් කළ කුණුරොඩු ටික අරන් දාන්න කියලා පොඩි
හාමුදුරුවන්ට කීවා. පොඩි හාමුදුරුවෝ ඇහෙන්නේ නෑ වගේ සිටියා. දෙවනිවරත් කීවා. ගණනකට
ගත්තේ නෑ. තුන්වෙනි වතාවේ දඬුවමක් දීලා වහාම කුණුරොඩු ඉවත් කරන්න කීවා. පොඩි
හාමුදුරුවන්ට දැන් හරිම කේන්තියි. කුණුරොඩුටික රැගෙන ගඟ ළඟට ගියා. කුණුටික වීසිකරලා
කවදා හෝ දවසක ප්‍රශ්න විමසලා ලොකු හාමුදුරුවන් පරදවන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක්
කළා. පොඩි හාමුදුරුවන් ගැන දන්න නිසා ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ පිටු පසින් ගියා.
පොඩි හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව ඇසුණා.
මිදුල ඇමදුවේ මමයි. පොඩි හාමුදුරුවෝ කුණු රොඩු ටික ඉවත් කරලා මේ වගේ ප්‍රාර්ථනාවක්
කළා නම් මමත් ප්‍රාර්ථනාවක් කරනවා. ඒ අහන සියලු ප්‍රශ්න මට විසඳන්න ලැබේවා! කියලා
ලොකු හාමුදුරුවෝත් ප්‍රාර්ථනාවක් කළා. ටික කාලයකින් මේ දෙදෙනා වහන්සේ ම අපවත් වුණා.
පොඩි හාමුදුරුවෝ මිළිඳු රජතුමා වී ඉපදුණා. ලොකු හාමුදුරුවෝ නාගසේන හාමුදුරුවන් ලෙස
ඉපදුණා. දරුවන්ට මතකයි නේද ‘මිළින්ද ප්‍රශ්නය’ ඒ ගැන පොත් පවා ලියා තිබෙනවා. ඉතින්
මිළිඳු රජතුමා විමසන ප්‍රශ්න පුදුම සහගතයි. සමහර වෙලාවට රහතන් වහන්සේලාගෙන් පවා
ප්‍රශ්න අහනවා. රහතන් වහන්සේලා පිළිතුරු නොදෙන නිසා රජතුමා හිතනවා මම රහතන්
වහන්සේත් පැරදුවා කියලා. දවසක් මිළිඳු රජුට නාගසේන හිමියන් ගැන තොරතුරු දැන ගන්නට
ලැබුණා. උන්වහන්සේ රජතුමා පරදවන බවටත් දැන ගන්නට ලැබුණා. දැන් රජතුමාට හරිම
කේන්තියි. රාජ රථයට නැඟී හාමුදුරුවෝ හමුවෙන්නට ගියා. උන්වහන්සේගේ සමීපයටම රථයෙන් යා
නොහැකියි. රජතුමා අතරමග රාජරථය නවතා පයින් ම ගියා. හාමුදුරුවන් වෙත ගිය සැණින් ම
කාටද නාගසේන කියන්නේ? කොතැනට ද නාගසේන කියන්නේ? කවුද නාගසේන කියන්නේ කියලා
කේන්තියෙන් ඇසුවා. මිළිඳු රජතුමා ගැන දන්නා නාගසේන හාමුදුරුවෝ “රජතුමනි, ඔබතුමා
මෙහි පැමිණියේ කුමකින් ද’යි ඇසුවා. රජතුමාට තවත් කේන්තිගියා.
“ඇයි දන්නේ නැද්ද? මම ආවේ රාජ රථයෙන්” රජතුමා කීවා.
“කොහේද රජතුමනි රාජ රථය?” හාමුදුරුවෝ ඇසුවා.
රජතුමා රථය පෙන්වූවා. “කොතැනටද රජතුමනි රාජ රථය කියන්නේ? වහලයට ද? රෝදවලට ද? එහෙම
නැතිනම් කඩ ඇණයට ද? ඔබතුමා අසුන් ගන්නා ආසනයටද? අශ්වයින් දෙදෙනාට ද?
මේ ප්‍රශ්න ඇසූ රජතුමාට හීන් දාඩිය දැම්මා. “හාමුදුරුවනේ, ඔය එක් එක් කොටස්වලට
නොවෙයි රාජ රථය කියන්නේ. ඒවා එක් කළාමයි රාජ රථය කියන්නේ” රජතුමා කීවා.
“රජතුමනි, ඔබතුමා ඇසූ ප්‍රශ්නයටත් උත්තර ලැබෙන්න ඇතිනේ. ඒ වගේ මගේ අත්, පා, හිස, කඳ
කොටස නොවෙයි නාගසේන කියන්නේ. මේ මුළු පංචස්කන්ධයටමයි නාගසේන කියන්නේ. මමයි රජතුමනි
නාගසේන කියන්නේ”
නාගසේන හාමුදුරුවෝ පිළිතුරු දුන්නා.
දරුවනේ, කෙනෙක් ප්‍රශ්නයක් ඇසුවොත් ඒ ඇසූ ප්‍රශ්නයෙන් ම උත්තර දෙන්නට හැකි මහා
ප්‍රඥාවක් ලැබුණේ ඇයි. මිදුල ඇමදූ නිසා, ඒ කියන්නේ මිදුල ඇමදුවේ අතීත කතාවේ ලොකු
හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවන් විසින් අතුගාන ලද කුණුරොඩු ටික ඉවත් කරනු ලැබීම නිසා
ලැබුණු ආනිශංස ගැනත් හිතන්න.
බොහෝවිට ගෙදර අම්මා තමයි ගේ දොර අතුගාලා කුණුටිකත් ඉවත් කරන්නේ. ඒ නිසා ගෙදර ඇතිවන
හැම ප්‍රශ්නයක් ම විසඳන්න අම්මාට පුළුවන්. තාත්තාට සාපේක්ෂව. අපි මෙහි සඳහන් කළේ,
මිදුල අතුගෑමේ අනුසස් ගැන පමණයි. බුද්ධ පූජා, ගිලන්පස පූජා, පැවැත්වීමෙන් ඒ සඳහා
ගන්නා භාජන සෝදා පිරිසුදු කිරීමෙන් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන වත්
පිළිවෙත්වලින් මොනතරම් ආනිශංස ලැබෙනවා ද?
වත්ථං න පරි පුරෙන්තො
සීලං න පරි පුරති
වත් පිළිවෙත් නොකරන කෙනාට සිල් පිරෙන්නේ නෑ. සීලය පිරෙන්නට නම් වත් පිළිවෙත් කළ
යුතු යි. සිල් නොපුරන ලද කෙනා දුශ්ශීලයි. එය අපායට යාමට හේතුවක්. ඉතින් අද ඉල් පුර
පසළොස්වක පොහෝ දිනයේ වත් පිළිවෙත් පුරන බෝසත් දරුවන් බිහිවේවා’යි ප්‍රාර්ථනා කරනවා.
“නපුරුදේ කරන්නෙ නෑ
අවැඩ සලස ගන්නෙ නෑ
සිල් බිඳින්න යන්නෙ නෑ
සසුන අතැර යන්නෙ නෑ
දරුවනේ, මෙය අපේ පාඩම් මාලාවේ තේමා කවියයි. හැමෝම පාඩම් කර ගන්නට ඕනෑ.
රමණී සුබසිංහ |