UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අට්ඨකථා සහ බුද්ධඝෝෂ මා හිමි

අට්ඨකථා සහ බුද්ධඝෝෂ මා හිමි

“අට්ඨකථා” යන වචනය ඇසෙන විට නිරායාසයෙන් සිහිවන ශ්‍රී නාමය වන්නේ “බුද්ධඝෝෂ” යන්නයි. මෙකල පෙළ දහම හෙවත් ත්‍රිපිටක ධර්මය පිළිබඳව වැරැදි මත පළවෙන්නාක් මෙන්ම, පාලි අටුවා ග්‍රන්ථ පිළිබඳව ද විවිධ දුර්මත සමාජගත වෙමින් පවතී. එමෙන් ම විශුද්ධ බුද්ධි ප්‍රභාවෙන් සසුනඹර එකලු කළ අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේට ද අමූලික චෝදනා එල්ල කොට පව් රැස්කරන ඇතැම් ගිහියෝ ද, පැවිද්දෝ ද වෙති. සැදැහැති බෞද්ධයන්ගේ පින්බර සිත් ඉහත දැක්වූ ලාමක මතවාදයන්ගෙන් ආරක්ෂා කරනු පිණිස මෙම ලිපිය මගින් අටුවා සහ බුදුගොස් ඇදුරිඳු පිළිබඳව කරුණු කිහිපයක් සාකච්ඡා කෙරේ.

අර්ථකථා, අට්ඨකථා, අටුවා යනු පිළිවෙලින් සංස්කෘත, පාලි, සිංහල වචනයන් ය. එමගින් අදහස් කෙරෙන්නේ උතුම් ධර්ම ග්‍රන්ථ රාශියක් පිළිබඳවයි. බුදුන් වහන්සේගේ මුව පියුමින් වදාහළ දේශනාවේ සැබෑ අර්ථය වටහා ගැනීමට සියල්ලෝ එකසේ සමත් නොවෙති. ඇතැමෙක් වහා තෝරාගන්නා බණ පදය තවත් අයෙක් විස්තර විවරණ සහිතව ඇසීමෙන් තෝරා ගනිති. ඒ විස්තර විවරණ සියල්ලම පාහේ සූත්‍ර-විනය-අභිධර්මය නම් වූ ත්‍රිපිටකයේ නැත. ඒවා ඇත්තේ අර්ථ කථාව තුළයි. එම අටුවාවන්හි ඇතැම් කොටස් බුදුරදුන් විසින් ම වදාළ අතර, ඇතැම් කොටස් සාරිපුත්ත-මොග්ගල්ලාන ආදී සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලා විසින් වදාරන ලදී. ඊට අමතරව එම පැරැණි අටුවාවේ දක්වා නොතිබුණ, එහෙත් පසුකාලීනව පැන නැඟුණු ප්‍රායෝගික ගැටලු වලට සමකාලීනව වැඩසිටි රහතන් වහන්සේලා විසින් ලබාදුන් විසඳුම් ද අද අපට ලැබී ඇති පාලි අටුවාවේ දක්නට ලැබේ. නමුත් ඒවා දක්වා ඇත්තේ ආචාර්ය අදහස් ලෙස ය; අටුවාව ලෙසින් නොවේ. එබඳු ආචාර්ය මතවාද කිහිපයක් වූ විට ඒවායින් නිවැරැදි වූව කුමක්දැයි තෝරා ගන්නා පිළිවෙල ද අටුවාවේ ම පැහැදිලිව දක්වා ඇත. තවදුරටත් අටුවාවේ අන්තර්ගතය දෙස බලන විට කරුණු පැහැදිලි කිරීම සඳහා කථා වස්තූන් දැක්වීම, සසඳා බැලීම සඳහාත් පිරිසුදු ථේරවාදී මතය හඳුනා ගැනීම සඳහාත් වෙනත් වැරදි මත ද දක්වා තිබීම, ශාසන ඉතිහාසය පිළිබඳව වූ ප්‍රාමාණික වාර්තා ඇතුළත් වීම, සමකාලීන දේශපාලන, සාමාජික, ආර්ථික තත්වයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වීම ද වැදගත් වේ. එවක ජන සමාජයේ රුචි අරුචිකම්, සද්භාවයන්, අභිචාර විධීන්, සමාජ සංස්ථාවේ ව්‍යුහය, රැකී රක්ෂා, මුදල් ඒකක ආදී අනේක ප්‍රකාර ඉතිහාසගත නිවැරැදි තොරතුරු ලබාගත හැකි විශ්වසනීය මූලාශ්‍රය වන්නේ අද අප සතුවන අට්ඨකථාවන් ය. සූත්‍ර පිටකය, විනය පිටකය හා අභිධර්ම පිටකය ද යන වචනයේ නිවැරැදි අර්ථය කුමක්දැයි හරිහැටි අවබෝධ කර ගැනීමට නම් අටුවාව ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු වේ. බුදුරදුන් වදාළ පරිදිම හික්මෙන ශ්‍රාවකයා, “සමන්තපාසාදිකා” නම් විනය අටුවාව සමඟ විනය පිටකය ගුරුවරයෙකුගේ සමීපයේ තදීය ටීකාවන් ද සමඟ ශ්‍රද්ධාවෙන් , ධර්ම ගෞරවයෙන් හා සසර බිය දක්නා නුවණින් යුතුව හැදෑරීමෙන් පමණක් ම සැබෑ සිල්වතෙක් වේ. ඊට සමගාමීව ධර්ම ප්‍රීතියෙන් අටුවා සහිත සූත්‍ර පිටකය ද, අභිධර්ම පිටකය ද ගුරු ඇසුරේම සිටිමින් හදාරා පිළිවෙත් ගරුව දිවි ගෙවන විට, සසර කළ පින් මහිමය ද ඇත්නම් සමාධි ප්‍රඥාවන්ගෙන් පිරී ගිය සැබෑ ශ්‍රාවකයෙක් බවට පත්ව අරිහත් ඵල විමුක්තියෙන් සසර ගමන නිමා කරයි. මුලු බුද්ධානුශාසනාවම වෙන්වූයේ ඔහු උදෙසා ම ය.

බුදුන් කල පටන් මුඛ පරම්පරාවෙන් රැකගෙන පැමිණි පාලි අට්ඨකථා මිහිඳු මහා රහතන් වහන්සේ විසින් ලක්වාසීන්ට හෙළ බසින් හදාරවන ලදී. පසුව මාතලේ අළුලෙන් වෙහෙරේ පැවැති සතරවන ධර්ම සංගායනාවේ දී සිව් පිළිසිඹියා-ඡලභිඤ්ඤා ලාභී රහතන් වහන්සේලා 500 නමක් විසින් පෙළ දහම හා හෙළ අටුවාව ග්‍රන්ථාරූඪ කරන ලදී. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 953 ක් ගත වී ගිය පසු ලක්දිව රජකළ මහානාම (බු.ව. 955-977 / ක්‍රි.ව. 412-434) රජ දවස මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ උක්ත හෙළ අටුවා නැවත පාලියට පරිවර්තනය කළහ. ඊට හේතු වූයේ හෙළ අටුවා විදෙස් රටවල බෞද්ධයන් අතට පත්කිරීමත් නිකායාන්තර මතවාද වලින් මිශ්‍රවීම වැළැක්වීමත් ය. එහි දී බුදුගොස් තෙරුන් වහන්සේ මුලුමනින් ම මහා විහාරීය වාචනා මාර්ගයට එකඟවම හෙළ අටුවා පාලියට පෙරලූහ. ඒබව දීඝාගම අටුවාවේ සඳහන් වේ. (“සමයං අවිලොමෙනෙතා ථෙරානං ථෙරවංසපදිපානං” - ථේරවංශයට ප්‍රදීප බඳු තෙරුන්ගේ ඉගැන්වීම් අනුව) මෙසේ බුදුගෙ ාස් හිමි පාලියට නැංවූ අටුවා මිහිඳු මහා රහතන් වහන්සේ රැගෙන ආ පාලි අටුවාවට ඉඳුරාම සමාන වූ බව මහාවංශය ඇතුළු සියලු වංශකථා වලට ද, සමකාලීනව බිහිවූ පාලි-සිංහල බොහෝ ගද්‍යපද්‍ය සාහිත්‍ය ග්‍රන්ථයන්ට අනුවද මනාව ස්ඵුට වේ. මහා අටුවාව, මහා පච්චරිය අටුවාව හා කුරුන්දි අටුවාව යන මේ තුන පුරාණ සිංහල අටුවා වන අතර ඒවා බුද්ධමිත්ත නම් තෙරුන් වෙතින් උගත් බව බුදුගොස් හිමිගේම වචනයෙන් මෙසේ සඳහන්ව ඇත්තේ විනය අටුවාවේ නිගමන ගාථාවලයි.

“මහා අටඨ කතඤෙචව මහාපචචරිය මෙවච
කුරුන් දිඤචාති තිසෙසාපි
සීහළටඨකථා ඉමා
බුදධ මිතෙතාති නාමෙන
විසසුතසස සසසසිනො
මිත සඤඤුසස ධීරසස සුත්වා
ථෙරසස සනතිකෙ”

බුද්ධඝෝෂ, ධර්මපාල, බුද්ධදත්ත, මහානාම වැනි විනීත-විසාරද-බහුශ්‍රැත-ධර්මධර අටුවාචාරී උතුමන් වහන්සේලා අතර විසාරදතම උතුමාණෝ බුදුගොස් මහා ස්වාමීහුම ය. උන් වහන්සේගේ ඉපදීම, උපන් භූමිය ආදී තොරතුරු ශාසන වංශය, මහාවංශය ආදී ග්‍රන්ථයන්හි ලේඛනගතව පවති. බොහෝ උගතුන් විසින් ඒවා විශ්වාසනීය භාවයෙන් සලකනු ලැබෙත්. ඒ අනුව උතුරු ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයේ උපන් බුදුගොස් තෙරුන් කුඩා අවදියේ දී ම ත්‍රිවේදය ඇතුලු එකල දඹදිව පැවැති නොයෙක් ශිල්ප ශාස්ත්‍ර විෂයෙහි කෙළ පැමිණ විශාරද වූ හ. බුරුම සාසනවංශයට අනුව එකල දඹදිව වැඩසිටි රහතන් වහන්සේලාගේ හා සක්දෙව් රජුගේ ඉල්ලීම අනුව බුදුසසුන රැක ගැනීම උදෙසා වූ කාර්යභාරයට සහය පළකිරීමට දෙව් ලොවින් චුතව මිනිස් ලොව ප්‍රතිසන්ධි ගත් බව සඳහන් වේ. එම කථා ප්‍රවෘත්තිය ගෙනහැර දක්වන සියලුම ග්‍රන්ථ වලට අනුව පැවිදි වූ පසු බුදුගොස් හිමිගේ උපාධ්‍යාය වරයා වූයේ අරිහත් මහා රේවත තෙරුන් වහන්සේ ය. අනතුරුව හෙලටුවා පාලියට පෙරළීම සඳහා ලක්දිවට වැඩම කළේ; ඒ රේවත මහා රහතන් වහන්සේගේ ඇතුලු මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ය. ඒ වඩින මගදී බුදුගොස් හිමිට හමුවූ අටුවාචාරී බුද්ධදත්ත හිමිපාණන් වෙතින් ප්‍රශංසා කරන ලදුව අනුරාධපුර මහා විහාරයට සැපත් විය. ඒ යුගය ලක්දිව රහතන් වහන්සේලාගෙන් ගැවසී ගත්තකි. අටුවා සහිත ථේරවාදී ශ්‍රී සද්ධර්මය මැනවින් හදාළ බුද්ධඝෝෂ මහා ස්වාමීහු මහා විහාරීය සඟරුවනට වන්දනා කොට සබහුමානව හෙළ අටුවා පාලියට පෙරළීම සඳහා අවසර පැතූහ. එහෙත් නුවණැති මහා තෙරවරු බුදුගොස් තෙරුන්ගේ හැකියාව විමසීම සඳහා එක් උපායක් යෙදූහ. එනම් සංයුත්ත නිකායේ, දේවතා සංයුත්තයේ එන “අනෙතා ජටා බහිජටා” යනාදී ගාථා දෙක ලබාදී ඒ සඳහා ප්‍රාමාණික විවරණයක් සපයන ලෙස දැන්වීමයි. ඊට අනුව ත්‍රිපිටකයටම පටුනක් බඳුවූ විශුද්ධි මාර්ගය රචනා කළහ. මිහිකත කම්පා කරවමින් රචිත එම විශුද්ධි මාර්ග ග්‍රන්ථය පරීක්ෂා කර බැලූ මහා විහාරීය යතිවරු “මෙතේ බෝසතුන් බුදු සසුන රැකුමට මනුලොවට වැඩමකර ඇතැයි සතුටුව” හෙළ අටුවා පාලියට පෙරලීම පිණිස අවසර ලබාදුන් අතර ඊට පූර්ණ අනුග්‍රහය ද සැපයූහ.

ලබන ලද සංඝානුමැතියෙන් මුලු අභිධර්ම පිටකයේ ද, විනය පිටකයේ ද අටුවා පාලියට නැංවූ අතර සූත්‍ර පිටකයේ මුල් සඟි සතරෙහි ම අටුවා විධිමත් ක්‍රමවේදයන් යටතේ පාලියට නංවන ලදී. ඒ සමගම ඛුද්දක නිකායට ඇතුළත් ග්‍රන්ථ 15 අතරින් වැඩි ප්‍රමාණයකට අදාළ හෙළ අටුවා පාලියට නැංවූ පසු බුදුගොස් මහා ස්වාමීහුගේ ඓතිහාසික කාර්යභාරය නිමවිය. ලක්වාසී මහා සඟරුවනේ නොවක් පැසසුම් ලද උන්වහන්සේ නැවතත් දඹදිවට වැඩම කළහ. ලෝකයේ බොහෝ රටවල් අතරට පාලි අටුවා පැතිර යද්දී හෙළ අටුවාවන්ගේ ද, හෙළයන්ගේද කිතුගොස දිගන්තරයෙහි පැතිර ගියේ ය. බොහෝ විදේශ භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කිරීමට ද, විදේශ රාජ්‍යයන් හා දේශපාලන හා ආර්ථික සබඳතාවන් තර වීමට ද එම පාලි අර්ථකථා සාහිත්‍යයේ පුනරාගමනය හේතුභූත විය. ලංකාවට පැමිණීම පවා මහත් කීර්ති නාමයකට හේතුවක් වූ බව “ලඞකපපතෙතා ඡපපටො මහාථෙරො” යන කීර්ති නාමය විදේශික භික්ෂූන් වෙත ලැබී තිබීමෙන් ම හෙළිවේ. මේ සියල්ලම පාලි අටුවාකරණය මගින් සිදු වූ අතර තථාගත ශ්‍රී සද්ධර්මය විතණ්ඩවාදීන්ගේ මතවාද වලින් ද අද දක්වාම ආරක්ෂා වී ඇත්තේ එනිසාවෙනි.

තත්ත්වය මෙසේ තිබියදී ඇතැමුන් බුදුගොස් හිමිට නගන චෝදනා පදනම් විරහිත බව කිව යුතු ය. උන්වහන්සේ බමුණු මතවාද අටුවාවට එක්කල බවට චෝදනා කරන පිරිසට කිවයුත්තකි; එනම් බුදුගොස් හිමිගේ අටුවා පරිවර්තන කාර්ය භාරය ස්වාධීන වූවක් නොවන අතර මහා විහාරීය පූර්ණ අධීක්ෂණයට යටත්ව එය සිදුවූ බවයි. සමන්තා පාසාදිකා විනය අටුවාවේ සඳහන් වන පරිදි ඒ හිමියන්ගේ අටුවාකරණය මුලුමනින් ම පුරාණ සිංහල අටුවාවන්ගේ පාලි පරිවර්තනයක් හා වියරණ විධීන්ට අනුව කැරුණු සංග්‍රහ කිරීමක් පමණි ඒ හිමියන් විසින් කර ඇත්තේ.

තවද එම පාලි අටුවා අනුව යමින් ඒතුළ ඇති වචන යෙදුම විසද කරනු වස් ටීකා-අනුටීකා-ගැටපද-සන්න-පිටපොත් ආදී අති මහත් පාලි සහ සිංහල ග්‍රන්ථ සාහිත්‍යක් බිහි වීමද සිදුවිය.

එසේ වූයේ පාලි අටුවා පසුකාලීන ගිහි පැවිදි උගතුන් අවිවාදයෙන් බුද්ධ වචනයක් ලෙස පිළිගත් නිසාවෙනි. පූජාවලිය ලියූ බුද්ධපුත්‍ර හිමියන් තම ගතෙහි මෙසේ දක්වා ඇත. “එකල බුද්ධඝෝෂ නම් අටුවා කතෘන් වහන්සේ දඹදිව සිට මේ ලංකාද්වීපයට වැඩ බුදුන් වදාළ දෙලක්ෂ පන්සැත්තෑ දහස් දෙසිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන් ලක්ෂ එක් සැට දහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතු.”

හෙළ අටුවා පාලියට පෙරලීමෙන් පසු පුරාණ හෙළ අටුවා සියල්ල ගිනිබත් කළේ ය, යන්න බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේට චෝදනා නගනවුන්ගේ තවත් ප්‍රලාපයකි. ඒ සඳහා ද කිවයුත්තක් ඇත. පාලි අටුවා සම්පාදනයෙන් පසු බොහෝ කලක් හෙළ අටුවා ලක්දිව සුරැකිව තිබූ බව අටුවාවන්ගෙන් පසුව රචනා වූ පාලි ටීකා අනුටීකා මෙන්ම සෙසු පාලි හා සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වලින්ද පෙන්විය හැකි ය. එනම් එම ග්‍රන්ථවල හෙළ අටුවාවන්ගෙන් ගත් උදෘත දක්වා ඇති ස්ථාන රාශියක් හමුවන නිසාවෙනි. බුදු වදන් ලියවුන ග්‍රන්ථයන් ගිනි බත් කිරීම් ආදියක් බුදුගොස් හිමි වැනි උතුමෙකු අතින් කිසිසේත් ම සිදු නොවන්නකි. සිදුව ඇත්තේ පලුදු වූ ද; කටු සටහන් ලීවා වූ ද පුස්කොල ඉවත් කිරීමක් පමණි.

පාලි අටුවාවන් ලෝක ප්‍රසිද්ධ වීමත් සමඟ හෙළ අටුවා ක්‍රමයෙන් අභාවයට ගිය බව සත්‍යයකි.අදට වඩා ඉමහත් විනය ගෞරවයක් ඇති, විනය සිකපද ඒ අයුරින්ම ආරක්ෂා කරන සඟ පරපුරක් වැඩ සිටි යුගයේ ලියූ අටුවා ග්‍රන්ථ පිළිබඳ භාරකාරීත්වය දරන ලද්දේ ත්‍රිවිධ සාසනයෙහි මුදුන් පැමිණි උතුමන් වහන්සේලා විසිනි. බුදුරදුන්ගේ දේශනාව හා අටුවා මතය යනුවෙන් දෙකක් නැත. ඒ විභේදනය යම් අයෙකු විසින් ඇතිකරගන්නවා නම් , ඔහු පෙළ සාහිත්‍ය හා අටුවා සාහිත්‍ය පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයනයක් නොකළ අයෙක් වන අතර දැන හෝ නොදැන ආර්ය උපවාද නම් බරපතල පාපය ද රැස් කරන්නෙක් වේ. එබැවින් සත්පුරුෂයන් විසින් අටුවා සහිත පෙළ දහම ගෞරවයෙන් ඉගෙන, දරා, පිළිවෙත් පුරා, දුක් අවසන් කොට සනාතන වූ නිවන් සුවයම ලබත්වා !

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]