Print this Article


සුත්ත නිපාතයෙන් ...: පබ්බජ්ජා සූත්‍රය: ලෝ සත වෙත සෙත පිණිස...

සුත්ත නිපාතයෙන් ...:

පබ්බජ්ජා සූත්‍රය:

ලෝ සත වෙත සෙත පිණිස...

අද අප සිත පහදවා ගන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් පැවිදිබවට පත් වූ ආකාරය සඳහන්වන සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රය පිළිබඳව යි.

ගිහිගෙයින් නික්ම වැඩි අපගේ සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේ ඝටීකාර බ්‍රහ්මරාජයා පූජාකළ අටපිරිකර උපයෝගි කරගෙන තනිවම පැවිදිබව ලබා හුදකලාවේ ම මගධ ජනපදයට වැඩි සේක. රජ මැදුරේ දී රන් බඳුන්හි සුමිහිරි බොජුන් වැළඳූ උන්වහන්සේ මේ ජීවිතයේ පළමුවරට පිඬුසිඟාලත් ආහාර පි‍්‍රය අපි‍්‍රයතාවයකින් තොරව වැළඳූ සේක. රාජකීය සැප සම්පත් අලුයම හෙළන කෙළ පිඬක් සේ බැහැර කළ බෝසතාණන් වහන්සේ විමුක්ති සැපය සොය සොයා ගතකළ දුෂ්කර අවදිය සිහි කරන විට අපේ හද කකියවන සුළු ය.

ජීවිතයක අර්ථය සොයන්නට සියල්ල ම කැපකළ අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කො තරම් නම් අසිරිමත් ද?භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගත් පරිදි ඒ උත්තම පැවිදිබව පිළිබඳ මේ දේශනාව වදාළේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමින් වහන්සේ විසිනි. පරමත්ථ ජෝතිකා නම් සුත්ත නිපාත අටුවාවේ සඳහන් වන ආකාරයට එම විස්තරය මෙසේ ය.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ දිනක් ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ සිතුනි. “භාග්‍යවතුන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී මහරහත් ශ්‍රාවකයන් වහන්සේලාගේ පැවිද්ද අගය කරන ලදී. ඒ තොරතුරු අනෙක් සඟ පිරිස හා උපාසකවරු ද දනිති. එනමුත්, බුදුරජාණන් වහන්සේගේ පැවිදිවීම ගැන එසේ අගය කොට වදාරා නො මැත. එනිසා මම එය විස්තර කොට කියන්නේ නම් මැනැවයි” සිතූ අනඳ තෙරණුවෝ ජේතවන මහා විහාරයෙහි දහම් අසුනෙහි හිඳ වටාපත අතට ගෙන, සඟ පිරිසට භාග්‍යවතුන් වහන්සේගේ පැවිදිවීම ගැන පහදා දෙමින් මෙම සූත්‍රය වදාළ සේක.

පබ්බජ්ජං කිත්තයිස්සාමි – යථා පබ්බජි චක්ඛුමා
යථා වීමංසමානෝ සෝ - පබ්බජ්ජං සමරෝචයී
ඒ උත්තම පැවිද්ද ගැන – පවසමි හඬ නගා ලොවට
සදහම් ඇස් ඇති මුනිඳුන් – පැවිදි වුණේ කෙලෙසින් දැයි
නුවණින් විමසමින් හෙතෙම – රුචි වුණ හැටි පැවිදි බවට

සම්බාධෝ’ යං ඝරාවාසෝ - රජස්සායතනං ඉති
අබ්භෝකාසෝ ව පබ්බජ්ජා - ඉති දිස්වාන පබ්බජි
බොහෝ කරදර පීඩා ඇත – ගිහි ගෙයි වාසය කළා නම්
කෙලෙස් උනන උල්පතක් ය – ‘නිවස’ කියා පවසන තැන
එහෙත් අනේ මේ පැවිද්ද - ආකාසය වැනි තැනක්ය
යනුවෙන් සැලකීමෙනි – ලබා ගත්තේ මේ පැවිද්ද

මෙසේ ගිහිගෙයි විසීමෙහි ආදීනවත්, පැවිද්දෙහි ආනිශංසත් නුවණින් සැලකූ අප බෝසතාණන් වහන්සේ සියලු දෙය ම අත්හැර, නික්ම ගොස් අනෝමා ගංතෙර නතර විය. අසිපතින් කෙස් වැටිය සිඳ, ඝටීකාර බ්‍රහ්මයා පුදන ලද අටපිරිකර පිළිගෙන, සසරේ නොයෙක් වර කළ ආකාරයෙන් ම පැවිදි විය. එක් කසාවතක් හැඳ, එක් සිවුරක් පොරවාගෙන, මැටි පාත්‍රයක් උරහිසෙහි එල්ලාගෙන උතුම් පැවිදි දිවියට එළඹියේ ය.

එසේ උතුම් පැවිදි බවෙහි පිහිටා කාය සුචරිතයේ ද, වචී සුචරිතයේ ද පිහිටා පිරිසුදු ආජීවයෙන් ද යුක්ත වූ සේක. (පබ්බජිත්වාන කායේන පාපං කම්මං විවජ්ජයි, වචී දුච්චරිතං හිත්වා ආජිවං පරිසෝධ යී) ඉන්පසු අනුක්‍රමයෙන් මගධ රටේ රජගහ නුවරට වැඩි මහා පුරිස් ලකුණින් යුතු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, ගෙ පිළිවෙලින් පිඬුසිඟා වැඩි සේක. රජ මැදුරේ උඩුමහලේ සිටි බිිම්බිසාර රජුට සුන්දර පෙනුමැති සන්සුන් ගමනින් වඩිනා අප බෝසතාණන් වහන්සේ දකින්නට ලැබ මෙසේ පැවසී ය.

ඉමං භොන්තෝ නිසාමේථ – අභිරූපෝ බ්‍රහා සුචී
චරණේන චේව සම්පන්නෝ - යුගමත්තං - පෙක්ඛතී
අන්න! බලව් අර – අභීරූවී පෙනුමෙන් යුතු
යහපත් ඉරියව්වෙන් යුතු – අර සුන්දර සමණානන් දෙස
පහළ හෙළා ගෙන දෙනයන - යන්නේ සංසුන් ගමනින්
හෙළා දෙනෙත් අඬවන් ලෙස - සිහිය පිහිටුවා සොඳ ලෙස
වඩිනා මේ සොඳුරු විලස - අයත් නො මැත ළාමක වූ
හීන වූ පහත් කුලයට
(ඔක්ධිත්ත චක්ඛු සතිමං - නායං නීචා කුලාමීව)

මෙසේ පැවසූ බිම්බිසාර රජතුමා “බෝධිසත්ත්වයන් වහන්සේ වඩින්නේ කොතැනටදැ යි?’ සොයා බලන ලෙස රාජ දූතයන් පිටත්කර හැරියේ ය. එසේ පිටත් වූ දූත පිරිස කොහේද හිමියනි වඩින්නේ? කොතැන ද මෙතුමා වසන්නේ? යැයි විමසමින් බෝසතාණන් වහන්සේ පසුපස ගියහ. තම ඉඳුරන් හොඳින් රැකගෙන, සංවරකමින් යුක්තව, හොඳින් සිහිය පිහිටුවාගන, නුවණින් යුතුව හැසිරෙමින් බෝසතාණන් වහන්සේ පිඬුසිඟා වඩිද්දී පහසුවෙන් ම පිණ්ඩපාතය ලැබුණි. (සපජානං චරමානෝ ගුත්තද්වාරෝ සුසංබුතෝ , බිප්පං පත්තං අපූරේසි සම්පරානෝ පතිස්සතෝ) පිඬු සිඟාගත් බෝසතාණන් වහන්සේ පාණ්ඩව පර්වත මූලයට වැඩි අතර, දූත පිරිස ඒ බව බිම්බිසාර රජතුමාට සැළකළේ මෙසේ පවසමිනි.

ඒස භික්ඛු මහාරාජ – පණ්ඩවස්ස පුරක්ඛතෝ
නිසින්නෝ ව්‍යග්ඝසභෝව - සීහෝව ගිිරිගබ්භරේ
භවත් මහරජාණෙනි දැන් – පාණ්ඩව පර්වත පෙදෙසේ
පෙරදිග බෑවුමට වෙන්ට - සිටින්නේ ය ඒ සමනිඳු
බලවත් තේජසින් යුතුය – ව්‍යාඝ්‍රයෙකු සේ ගුහාවෙ
සවි ශක්තියකින් ද යුතුය – වෘෂභ රාජයෙකු විලසින්
හේ එඩිතරකමින් යුතුය - සිංහ රාජයෙක් විලසේ

දූතයන්ගේ එම වචන ඇසූ බිිම්බිසාර රජුන් සොඳුරු යානයකින් පාණ්ඩව පර්වතය ළඟට ඉක්මණින් ම පිටත් විය. යානයෙන් යා හැකි දුර ගොස් එයින් බැස පා ගමනින්ම බෝසතාණන් වහන්සේ වෙත ගියේ ය. පිළිසඳර කථාවේ යෙදුණු බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට මෙසේ පවසා සිටියේය. “ඔබ වහන්සේ තවමත් සොඳුරු යොවුන් වයසේ සිටින තරුණයෙක්. හැඩරුවින් සහ උස මහතින් පෙනෙන්නේ රජ කුලයේ කෙනෙක් ලෙස යි. ඇත්තෙන් ම චතුරංගනී සේනාව සහිතව මේ රාජ්‍යයෙන් අඩක් මම ඔබට පුදන්නට කැමතියි. එම රජ සම්පත් රිසි පරිදි පරිහරණය කරන්න. පින්වතුන් වහන්ස, ඔබ වහන්සේ උපන්නේ කොයි ජාතියේ ද?” කියා යි. එවිට අප බෝසතාණන් වහන්සේ පිළිතුරු දී වදාළේ මෙසේ ය. “මහරජතුමනි, කොසොල් ජනපදයට අයත්, හිමගිරි පව්ව ආසන්නයේ පිහිටි ධන ධාන්‍යයෙන්ද, වීරියවන්තයන්ගෙන්ද යුතු සුන්දර ජනපදයක් තිබේ. එහි සූර්ය වංශයේ උපන් ජාතියෙන් ශාක්‍ය වූ මම ගිහිගෙයින් නික්ම පැමිණ පැවිදි වූ කෙනෙක්මි. එමනිසා කිසිම කාමයක් නො පතමි”.

ඉන්පසු බෝසතාණන් වහන්සේ සිය විමුක්තිකාමී අභිලාෂය රජතුමාට පහදා දෙමින් මෙම ගාථාව පැවසූ සේක.

කාමේස්වාදීනවං දිස්වා - නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ
පධානාය ගමිස්සාමී – එත්ථ මේ රජ්ජති මනෝති
කම් සැපයට ගිජු වන ලොව - දුක් විඳිනා හැටි දැකගෙන
එයින් නික්ම පැවිදි වුනෙමි – දකිමින් කෙම්බිමක් විලස
වෙර වඩනා සිතින් යුතුව - යන්නෙමි මම නිරිඳාණෙනි
මා පැවසූ මෙ කරුණ ගැන දැන් මා සිත රැඳී තිබේ

මෙසේ කී කල්හි බිිම්බිසාර රජු “හිමියනි, සුද්ධෝදන රජුගේ පුත් සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක, පැවිදි වී සම්බුදු බවට පත්වන්නේ යැයි මම කලින් ම අසන ලදී. හිමියනි, මම ඔබවහන්සේගේ විමුක්තිකාමී අදහස් දැන බෙහෙවින් සතුටු වුනෙමි. හිමියනි, සම්බුද්ධත්වය සාක්ෂාත් කළ මැනවි. සම්බුද්ධත්වයට පත්ව, මුලින්ම මාගේ විජිතයට වඩිනු මැනවැයි” ආශිර්වාද කොට ආරාධනා කළේ ය.

පින්වත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ, සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උතුම් පාරමි ධර්මයන් පරිපූර්ණ කළ සේක. මහා පුණ්‍ය තේජසකින් යුතුව දෙසිත් මහා පුරුෂ ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා වැඩි සිටි සේක. සතර පෙර නිමිති දැක ජීවිතයේ යථාර්ථය අවබෝධ වී ලෝ සතුන් දුකින් මුදවා ගන්නට මහාභිනික්මන් කොට උත්තම ශ්‍රමණභාවයට පත් වූ සේක. පි‍්‍රය යශෝධරාවන් ද, සිඟිති රාහුල පුතුද, රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගාවන් ද, රාජකීය දිවිය ද අත්හැර දමා විමුක්තිය සොයා ගිය ඒ වීර චරිතාපදානය මොනතරම් අසිරිමත් ද? ශාක්‍ය වංශයට ම විමුක්ති සුව උදාකර දුන්, දෙව් මිනිසුන්ට ම යහපත සෙත සලසා දුන් අපගේ ශාස්තෘන් වහන්සේගේ ඒ උත්තම පැවිදි බවට, උත්තම සම්බුද්ධත්වයට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා!