ශ්‍රේෂ්ඨතම බුද්ධ පූජාව
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
සසර හෙවත් භවය නිර්මාණය වූයේ අනවබෝධයෙන් සිදුවන තෘෂ්ණාව නිසා බව භාග්‍යවතුන් වහන්සේ
දේශනා කොට වදාළහ. අනවතග්ග සංයුත්තයේ දේශනා කොට ඇති ලෙස,
“අනමතග්ගෝයං භික්ඛවේ
සංසාරො පුබ්බාකෝටි නපඤ්ඤායති,
අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා
සංයෝජානං සන්ධාවතං සංසරතං”
අගක්, මුලක්, කෙළවරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාර ගමනේ අවිද්‍යාවෙන් වැසුණු සත්ත්වයෝ
තෘෂ්ණාවෙන් සසරට බැඳී කර්ම රැස්කරමින්, දුක්විඳිමින් දිව යති. සැරිසරති. බොහෝ
දුක්විඳිති.
එසේ නම් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් නාම රූප ධර්ම, තවත් වචනයකින් සඳහන් කළොත් සංඛත
හෝ සංඛාර අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට අවබෝධයෙන් යටත් කොට නොදැක
ඒ වස්තූන් ‘මගේ ය, මම වෙමි’. මගෙ ආත්මය යැයි පවසමින් සිතින් උපාදානය කරගනිති. ඒ
අවිද්‍යාවයි. ඒ නිසා ම ඒවා ප්‍රිය ලෙස සිතා නිමිති, අනුනිමිති, ව්‍යංජන වශයෙන් ගෙන
එහි බැඳුණෝ ය. එහි වඩ වඩාත් බැඳුණෝ ය. ඇළුණෝ ය. හැඬුවෝ ය. පස් පව් දස අකුසල්වලට
යොමු වූ හ. එය ම කර්ම බවට රැස්කරගෙන, කර්ම විඤ්ඤාණය වඩා උප්පත්ති භවය සාදාගත්තෝ ය.
එනම්, භවය නිර්මාණය කරගත්තෝ ය. එහෙත් නිවැරැදි දහම් මඟ යන්නාට තමන් ගැන නිවැරැදි
අවබෝධයක් වේ. ඔහු තමන් යන ගමන් මඟ මෙසේ ආවර්ජනය කරයි.
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව, සම්මත ලෝකය තුළ හොඳ නරක අවබෝධ කර ගන්නෙමි.
ප්‍රිය වචනයට කැමැති බවත්, අප්‍රිය වචනයට අකැමැති බවත් හඳුනාගන්නෙමි. පස්පව් දස
අකුසල් සිදු කරන අය අයහපත් බවත්. අසද්පුරුෂයන් ලෙසත්, ඒවායෙන් වැළකෙන අය යහපත්
බවත්, සද්පුරුෂයන් බවත්, හඳුනාගන්නෙමි. එහෙත් අසද්පුරුෂයන් හා අසද්පුරුෂ ක්‍රියාවන්
සමඟින් තරහවෙන්, අමනාපයෙන්, වෛරයෙන්, නොගැටෙන්නට පුරුදු වෙමි. සද්පුරුෂ පුද්ගලයන්
හා සද්පුරුෂ ක්‍රියාවන් පිළිබඳ ව කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙන් දකින්නටත්, ප්‍රශංසා
කරන්නටත්, සිත පුරුදු කරමි. නමුත් එහි ද, ඒ පුද්ගලයන් කෙරෙහි ද, නො ඇලෙන්නටත්, නො
බැඳෙන්නටත් පුරුදු කරමි. මගේ, මම යැයි, ස්ථිර යැයි සිතින් නොගන්නටත් සිත පුරුදු
කරමි.
භාග්‍යවතුන් වහන්සේ ඝෝර වූ සසරේ ඇති භයානක බව දැක, ඒ සසර සකස් වෙන රාග, ද්වේෂ, මෝහ
නම් වූ කෙලෙස් මුළුමනින් බැහැර කළ සේක. මම ද භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය
ශ්‍රාවකයෙක් හැටියට ඒ මඟ අනුගමනය කරමි. මම ද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශංසාවට
ලක්වන්නෙමි. සීලය අනුගමනය කරන තැන ‘විංඤෝ පසත්ථා’ ලෙස දැක්වූයේ බුද්ධාදී උතුමන්ගේ
ප්‍රශංසාවට යොමුවන ආකාරයෙන් සීලය සමාධි සංවත්ථනික කරගත යුතු බව ය. එනම්, සමාධිය ම
අරමුණු කරගත යුතු බව ය. ඒ සමාධිය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් පිණිස ම
මෙහෙවිය හැකි ය. මම ද එසේ ප්‍රශංසාවට ලක්විය යුතු පුද්ගලයෙක් විය යුතු වන්නේ ය. මේ
ඉතා ම කෙටි සඳහන් කිරීමකි.
බුද්ධ පූජාව කුමක් දැයි තේරුම් ගතයුතු ය. දින, සති, මාස ගණනාවක් සූදානම් වී මල්
නෙළා, ආහාරපාන හෝ ධජපතාක ආදියෙන් ද විවිධ පුද පූජා පරිස්කාරයන්ගෙන් ද යුතුව චේතිය
මළුවකට, බුදුපිළිම වහන්සේ නමක් සමීපයට, බෝධීන් වහන්සේ නමක් සමීපයට ගොස් අනවබෝධයෙන්
පවසන වදන් පෙළකට වඩා මුලින් පැහැදිලි කළ බුද්ධානුස්සති භාවනාවක් සේ ඇතිකර ගත්තා වූ
අවබෝධය, එමගින් සැලසෙන කෙලෙස් හි යටපත්වීම, සංසිඳීම හා ප්‍රහානය කිරීමට මාර්ගය
හදාගැනීම කෙතරම් වටින්නේ දැයි ඔබ ම සිතා බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව
බුදුරජාණන් වහන්සේට කරන උතුම් බුද්ධ පූජාව මෙය නොවේ දැයි ඔබ ම නුවණින් සිහිපත්කොට
බලන්න.
කාරුණික සිතින් එහෙත්, අනවබෝධයෙන් සිදු කරන බොහෝ පූජාවල සිදුවන වැරැද්දක්, දෙකක්
අපි නුවණින් සිහිපත් කරමු. මුලින් සඳහන් කළ අයුරින් ස්වල්ප ලෙස සිදුකරන පූජාවකට වඩා
ඉන් අදහස් කළේ ස්වල්ප වූ පූජා වස්තූන්ගෙන් කරන පූජාවකටත් වඩා දින සති මාසගෙන දස
දහස් ගණනින් වස්තූන් සකස්කොට කරන පූජාවක දී පවා අන් අය පරදා යන්න තරම් සියුම් වූ
හැඟීමක්, මානයක් සිතේ පවතින්නේ යැයි සිතමු. සිංහල සංස්කෘතියේ උපමාවකට අනුව නම්
එය“කිරි කළයකට ගොම බිංදුවක් දැමුවා සේ ය.” “දවස පුරා වතුර ඇද කළය බිඳගත්තා සේ ය”.
“කළයක් යටිකුරු කොට කළයේ පිටපැත්තට වතුර වත්කරන්නා සේ ය”.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මාර්ගයෙන් බැහැර ව ප්‍රතිරූපක ස්වභාවයක් අනුගමනය
කරන්නා සේ ය. ධර්ම විපල්ලාසයන් ට යුක්ත ව රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් විපරීත ව
කටයුතු කරන්නා සේ ය. බොහෝ අවස්ථාවන් හි දී සිත්තුළ ගැටීම් ඇතිවන්නේ නම් එය ද,
භාග්‍යවතුන් වහන්සේට කරන ගෞරවයක් නොව අගෞරවයකි.
වීතරාගී, සියල්ල කැප කළ, අත්හැරිය මහාකාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ අභියස පවත්වන
තරගය නම් කුමක් ද? අනුන් පරාජය කරන තරගය කුමක් ද? අන් අයට වඩා විශාල දෙයක් සිදු කළා
යැයි පවසන කෙලෙස් සිතක ඇති සැබෑ යථාර්ථය කුමක් ද? ඒ වගේ ම යම් වූ ද පූජාවක් පවත්වා,
තවත් පිරිසකට වදන් පෙළකින් අගෞරව කරන්නේ නම්, නින්දා කරන්නේ නම්, එහි ඇති අදහස
කුමක් ද? අන් කාටත් වඩා ඉහළ ම දෙයක් මා සිදු කළේ යැයි පවසා, අන් අයගේ කටයුතු හීන
කොට, සුළු කොට ,මතු කොට දක්වන්නේ නම් එහි ඇති සැබෑ අදහස කුමක් ද? ඒ භාග්‍යවතුන්
වහන්සේට කරන උතුම් ගෞරවය නම් නොවේ.
එවැනි කෙලෙස්වලින් බැහැර ව එක ම මලක් හෝ, මල් කීපයක් හෝ, පූජාවස්තු කීපයක් හෝ පූජා
කරන්නට පුළුවනි. පූජා වස්තු රාශියක් හෝ මල් දස දහස් ගණනාවක් සූදානම් කරගෙන වෙන්නට
පුළුවනි. සැබෑ ශ්‍රද්ධාවෙන්, මානයන්ගෙන් තොරව සිදු කරන පූජාවන් ද නැතුවා නොවේ.
එවැනි පූජාවන් සිදු කරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා හැමට ගෞරවයක් ම වේවායි
ප්‍රශංසා කරමු. තවදුරටත් ඔවුන් උනන්දු කරමු.
එකද මලක් පූජා කළත්, තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මෙනෙහි
කරමින්, එනම් බුදුගුණයන්ට සිත ඔසවා තබමින්, බුද්ධානුස්සති භාවනාවක් සේ සිදු කරන්නට
හැකි නම් එය ඉතා උතුම් ය. දස දහසක් මල් පූජා කිරීම වැරැදි යැයි, නොකළ යුතු යැයි
මින් අදහස් කරන්නේ නැහැ. අදහස් කරන්නේ ඒ කරන ක්‍රියාව, ප්‍රමාණය කුමක් වූවත් එය
අවබෝධයෙන් යුතුව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට සිත, කය, වචනය තිදොරින්
ම අනුගතව, රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිඳෙන ස්වභාවයෙන් සිදු කළ යුතු ය යන
අදහසයි.
මේ පිළිබඳ ව සාරාංශ කොට අපට මෙසේ දැක්විය හැකි ය. ඔබ “ඉතිපි සෝ භගවා අරහං” ආදී
වශයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගාථා රත්නයන්ගෙන් සජ්ඣායනා කරන විට පළමුව ඒ
පිළිබඳව ඇති කරගත්තා වූ දැනුමක් තිබිය යුතු ය. එනම් “අරහං සම්මා සම්බුද්ධෝ” ආදී පද
පෙළ විස්තර සහිතව අර්ථාන්විත ව තේරුම සිත තුළ පවත්වාගෙන තිබීම අවශ්‍යයි. ඒ ඒ ගුණ
ටික ටිකවත් සිතට ආරෝපණය කරගෙන පුරුදුකර තිබිය යුතුයි. ඉන් අනතුරුව ඒ ගාථා රත්නය
සංසුන්ව, සමාධිගත සිතක් සේ පවත්වාගෙන සජ්ඣායනා කරන විට ඔබ පළමුකොට පුරුදුකොටගෙන ඇති
අර්ථාන්විත වූ ඒ ගාථා පද පෙළ ඔබට දැනෙන්නට පටන් ගන්නවා. නිදසුනක් ලෙස හැන්ඳ යැයි
පවසන විට ඔබේ සිතට දැනෙන අදහස කුමක් ද?. එය තේ හැන්ද, මේස හැන්ද, බත් හැන්ද, මෙන් ම
කන් හැන්ද ආදී වශයෙනුත් පවසන විට ම වැඩි විස්තරයක් ඒ මොහොතේ සිදුකරගෙන නොගියත්,
සාරාංශ වූ අදහසක් ඒ වදන් පෙළෙහි සකස් වී තිබෙනවා.
- දීපා පෙරේරා |