ආර්ය මාර්ගයෙහි යන ගමනට
මිත්‍යා මත බාධාවකි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ
සෝභිත නා හිමි
බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේ ද? යන ප්‍රශ්නය මෙකල ජනපි‍්‍රය මාතෘකාවක් යැයි
සමහරු කල්පනා කරති. එහි ඇත්ත නැත්ත වටහාගත නොහැකිව ඇතැම් බෞද්ධයන් තම තමන් විසින් ම
වංචාවකට හසු ව ඇති බවක් පෙනේ.
ධර්මය පිළිබඳව නිවැරැදි තොරතුරු නොලැබෙන තැන වැරැදි ඉස්මතු වී, මිත්‍යා දෘෂ්ඨීන්
බවට පත් වේ. ඒ මිත්‍යා දෘෂ්ඨීන් ආර්ය මාර්ගයෙහි යන ගමනට බාධාවකි. ආර්ය මාර්ගයෙහි
පළමු අංගය සම්මා දිට්ඨියයි. එනම් සත්ත්වයා හා ලෝකය පිළිබඳ යථාර්ථවාදී දැක්මයි.
නිවැරැදි අවබෝධයයි. මෙහි සත්ත්වයා යන්නට තමා හා සකලවිධ ජීවින් අයත්වේ. ලෝකය යනු තමා
ජීවත්වන පරිසරයේ ඇති සියල්ලම ය.
බුද්ධ දේශනාව අනුගමනය කරන කෙනා තමා වෙතටම සිත යොමාගත් අන්තර්නත පුද්ගලයෙක් නොවේ. හේ
තමා වෙතට අවධානය යොමු කරන අතර, ලෝක සත්වයා පිළිබඳව ද අවබෝධයක් ඇතිව සිටිය යුතුම ය.
ඒ අනුව සම්මා දිට්ඨිය යන්නෙහි සරල තේරුම තම පරිසරයේ සිදුවන දේ ගැන නිවැරැදි
අවබෝධයකින් සිටීමයි.
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා ද නැති ද යන වග ධර්මයට අනුව අපට ඒ තරම් වැදගත්
නොවේ. අපට වැදගත් වන්නේ උන්වහන්සේගේ දර්ශනය යි. ධර්මයයි. ධර්මය අනුගමනය කරන කෙනාට
උන්වහන්සේ ඉපැදුණු තැන අදාළ වන්නේද නැත.
චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ආර්ය මාර්ගය, ත්‍රිලක්ෂණය නිර්වාණය ආදි ධර්ම
සාකච්ඡා කිරීමට, අවබෝධ කර ගන්නට ඉපැදුණු ප්‍රදේශය ඒ තරම් ගැටලුවක් වන්නේ නැත. එහෙත්
වැරැදි අදහස් නිසා මිනිසුන් වැරැදි මතයකට යොමු වූයේ නම්, එයින් ඇතිවන සමාජමය,
සංස්කෘතිකම ය,ආකල්පමය විකෘතිභාවය සුවිශාල ය. මේ කරුණු සලකා බැලීම වැදගත් ඒ නිසා ය.
ඇතැම් පිරිස් පොත්පත් ලියමින්, දේශන පවත්වමින් ප්‍රසිද්ධියේ ම ඉදිරිපත් කරන මතය නම්
සිද්ධාර්ථ කුමරු උපන්නේ ශ්‍රී ලංකාවේ බව ය. සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට
පත්වූයේ, ධර්මය දේශනා කළේ, සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ලංකාවේ බව ය.
මේ මතය නම් ඉතා ආකර්ශණීය ය. ලාංකිකයෝ ලෙස මේ කතාව ඇත්ත යයි පිළිගන්නට අපි
කැමැත්තෙමු. කුමක් නිසා ද? ලාංකිකයන් ලෙස අප උපන් බිමට එවැනි සුවිශේෂී වැදගත්කමක්,
පූජනීයත්වයක් එමඟින් ලද හැකි නිසා ය. එහෙත් සැබෑ තත්ත්වය නම් අමූලිකා ශ්‍රද්ධාවෙන්
යුතුව, අවිවාදයෙන් පිළිඅරගෙන, හරි වැරැදි නොදැක කටයුත කරන අයට මේ අදහස් ආකර්ශණීය වන
බව ය. අප තුළ තිබිය යුතු වන්නේ අකාරවතී ශ්‍රද්ධාව ය. එනම්, බුද්ධිය සහිත
ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම ය.
මේ මතය පිළිබඳ සලකා බැලීමේ දී අප අනුගමනය කළ යුතු බුද්ධාවවාදයක් වේ. ඒ සතරමහාපදේශ
ය. ඒ අනුව සුත්ත, සුත්තානුලෝම, ආචරිය, ආචරියවාද යන මේ කරුණු සතර අනුව ගෙන මේ
පිළිබදව විග්‍රහ කර ගැනීමට පුළුවන. කරුණු කවර ආකාරයෙන්, කවර කෙනෙක්. කෙසේ කීවද
බුද්ධිමත් පුද්ගලයා තීන්දු තීරණ ගන්නේ තමන්ගේ ස්වයං බුද්ධියට එකඟව ය. ධර්ම කරුණුූ
ගැන වුවද නිවැරැදි ද, වැරැදි ද යන්න විමසා බැලීමට කාලාම සූත්‍රයෙන් අවසර ලැබේ. මේ
සියලු කරුණු විමසා බැලූවිට බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාද? කියන ප්‍රශ්නයට
පිළිතුරු අවබෝධ කර ගැනීම අපහසු වන්නේ නැත.
සතරමහාපදේශයන්ට අනුව ‘සුත්ත’ නම් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය හා විනයයි.
‘සුත්තානුලෝම’ නම් ධර්මය අළලා ඉදිිරිපත් කෙරුණු අටුවා හා අදාළ වෙනත් ධර්ම
සාහිත්‍යයන් ය.
ආචරිය හා ආචරියවාද යන්නට ඉතිහාසය, හා ඊට අදාළ නිර්මාණ, පුරාවිද්‍යාව, තමන්ගේ
පාරම්පරික සම්ප්‍රදාය ය ඇතුළත් ය. මේ කරුණු එකින් එක සංසන්දනය කර බලන්නේ නම් විවිධ
පුද්ගලයන් හිතුමතේ ප්‍රකාශ කරන පෙර කී වැරැදි මතයන් පිළිබඳ ව නිවැරැදි අවබෝධයකට
පැමිණිය හැකි ය.
තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ චරිතය ගොඩනැඟෙන්නේ මහා භාරතය කේන්ද්‍රකොටගෙන ය. මහාවග්ග
පාලියේ, මහාඛන්ධකයේ උන්වහන්සේගේ චරිත කතාව පිළිබඳ තොරතුරු අන්තර්ගත ය. ඊට අදාළ
ස්ථාන නාම, භූ විෂමතා ලක්ෂණ මේ සියල්ලම අදත් උතුරු ඉන්දියාවේ ඒ ඒ ප්‍රදේශයන්හි
දක්නට ලැබේ. එබඳු භූවිෂමතා ලක්ෂණ හෝ එබඳු ස්ථාන නාම කිසිවක් ලංකාවේ තිබෙන බවට
ධර්මානුකූලව, සාධක සහිතව ඔප්පු වී නැත. සූත්‍ර දේශනා කිසිම තැනක එවැනි සඳහනක් නැත.
“සූත්‍ර පිටකයේ සෑම සූත්‍රයකින්ම හෙළිදරව් වන්නේ උන්වහන්සේ උපන් හා වැඩ සිටි පරිසරය
භාරත භුමි ප්‍රදේශය බවයි. සිද්ධාර්ථ තාපසයන් වහන්සේ බිම්බිසාර රජතුමා හමු වූ
අවස්ථාවේ . බිම්බිසාර රජතුමා ඔබ වහන්සේ කවරෙක්ද? කොහේ සිට එන්නේ ද? පැවිදිවූයේ
කොහේද යි විමසයි. තොරතුරු අසා සතුටු වෙන රජතුමා මේ තරුණ වයසේ මහණදම් පුරන්නේ කුමට
ද? මාගේ රාජ්‍යයෙන් අඩක් දෙන්නම්, මෙහි යුව රජු බවට පත් කරන්නම් එය භාරගන්න යැයි
සිදුහත් තවුසාණන්ගෙන් ඉල්ලා සිටියි.
එහිදී උන්වහන්සේ ලබා දුන් පිළිතුරු මෙසේ ය. “උජුං ජනපදෝ රාජ හිමවංතස්ස පස්සතො ධන
විරියෙන සම්පන්නො කෝසලේසු නිකෙතිනො ආදිච්චානාම ගොත්තෙන සාංකියානාම ජාතියා තම්හාකුලා
පබ්බජිතොම් හි රාජ න කාමෙ අභිපත්තයං’
“මහ රජතුමනි, හිමාලය කඳුයායට ඉදිරියෙන් පිහිටියා වූ, කෝසල රාජ්‍යයට අයිති, ධනයෙන්
වීර්යයෙන් ආඪ්‍ය ජනපදයෙහි ආදිච්ඡ නමැති ගෝත්‍රයට අයත් ශාක්‍ය නම් ජනවර්ගයෙහි උපත
ලැබුවෙමි. එසේ උපත ලද මමයි මේ පැවිදි බිමට පත්වූයේ .කාමාදි සැප සම්පත් පිළිබඳ මට
ප්‍රාර්ථනාවක් නැත”
මෙබඳු කුල පරිසරයක් ලංකාවේ තිබෙන්නේ කෙසේද? එය නිශ්චිතව ම අද හඳුනාගෙන තිබෙන
නේපාලයට අයත් ලුම්බිනි සහ ඉන්දියාවට අයත් කපිලවස්තු ප්‍රදේශයයි. ත්‍රිපිටකයේ සඳහන්
‘හිමවන්ත’ වචනයෙන් අර්ථවත් වන්නේ අද ‘හිමාචල්’ ප්‍රදේශයයි. හිමාචල් ඇතුළු හිමාලය
වනය පාදක කොටගත්, එවරස්ට් ආදි ලෝකයේ උසම භූවිෂමතා සහිත ප්‍රදේශය හිමවන්ත
ප්‍රදේශයයි. කපිලවස්තු යන නාමය අදත් ඒ ප්‍රදේශයට භාවිත වේ. ශාක්‍ය ජනපදය පිළිබඳ
සාධක තිබේ. ශාක්‍ය වංශිකයන් අදත් කපිලවස්තු ප්‍රදේශවල ජීවත්වේ. එබඳු ශාක්‍ය වංශයක්
හෝ එබඳු නාම ගෝත්‍ර සහිත ජනවර්ගයක් ලංකාවේ තිබෙනවාද? මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන්
විස්තර හැදෑරීමෙන් ද එදා පැවැති භූවිෂමතා ලක්ෂණ, ප්‍රදේශ ආදිය ඒ ආකාරයෙන් ම අදත්
පවතින බව පෙනේ. විශේෂයෙන් ම සිදුහත් කුමරුගේ උපත පිළිබද විශිෂ්ටතම සාධකය ඉදිරිපත්
වන්නේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලිනි.
සූත්‍රපිටකයේ සඳහන් මේ කරුණු ඔප්පුවෙන ඉතාම වැදගත් සාධකය පුරාවිද්‍යාවයි. ධර්මාශෝක
රජතුමා බලයට පත්වන්නේ බුදු උපතින් අවුරුදු දෙසීයකට පසුව ය. බුදුදහම පිළිබඳ දැඩි
උනන්දුවක් දැක්වූ එතුමා බුදුරජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය, වැඩසිටි ස්ථාන ආදි බුද්ධ
චරිතය හා බැඳී සුවිශේෂී ස්ථාන දැක බලාගෙන සෙල්ලිපි පිහිටුවූයේ ය. තමන් එහි ගිය බවට,
වැඳපුදා ගත් බවට සටහන් කළේ ය. අශෝකස්ථම්භය විශාල ගල්කුළුණකි. එහි රජතුමා විසින්
බ්‍රාහ්මී අක්ෂරයෙන් දීර්ඝ විස්තරයක් සඳහන් කොට තිබේ.
‘හිදබුධෙ ජාතෙති....... උබලිකෙකතෙ...” ලුම්බිනිය වාසනාවන්ත ගමකි. තථාගතයන් වහන්සේගේ
උපත සිදුවී තිබෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ගමෙහි ය. මේ ගමේ ජනතාව ද වාසනාවන්තයි. ඔවුන්
රාජ්‍ය බදුවලින් නිදහස් කොට සහනයක් ලබා දෙමි...” ආදි වශයෙන් එම නිවේදනයේ සඳහන් ය.
ඉන්දියා ඉතිහාසයේ පැහැදිලි අක්ෂර වින්‍යාසය සහිත විශාලතම සෙල්ලිපි සංඛ්‍යාවක්
ලියැවෙන්නේ ක්‍රි.පූ. 03 වැනි සියවසේ ය. බ්‍රාහ්මී අක්ෂරවලින් ලියු ලුම්බිනි
සෙල්ලිපියෙන් සිදුහත් කුමරු එහි උපන් බව පැහැදිලි ය. ඒ බුද්ධ කාලයට ඉතා සමීප
කාලයකි. ඒ වන විටද ලුම්බිනිය පූජනීය ස්ථානයකි. ප්‍රසිද්ධ ස්ථානයකි.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් සමඟ අපට ලැබුණේ ද මේ බ්‍රාහ්මී
අක්ෂර සම්ප්‍රදායයි.
මීට අමතරව බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව පැවැත්වු ස්ථානය, අදත් ඒ නමින්
තිබේ. “බාරාණසියං විහරති ඉසිපතනේ... මෙහි බාරණසි යනු වාරණසියයි. හින්දි භාෂා
ව්‍යවහාරයේ ‘බ’, ‘ව‘ අක්ෂර එකම ශබ්ද ගනී. එදා බාරණසිය අද වාරණසියයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය ලද බුද්ධගයාව පිහිටි ස්ථානය අද බොත්ගයා
යනුවෙන් හැඳින්වේ. වෛශාලී – විශාලා මහනුවර අදත් වෛශාලියම ය. කුසිනාරාව අදත්
කුසිනාරාව ම ය. සැවැත්නුවර වර්තමාන නාම ශ්‍රාවස්තිය යි. මේ නගර, ගම් දනව් තුළ ඇත්තේ
පයින් ආ ගිය දුර ප්‍රමාණයන් ය. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට පාපී අදහස්
ඉදිරිපත් කර මිත්‍යාමතධාරීන්ට ඒ වැරැදි මතයෙන් මිදෙන්නට මේ විස්තරය ද ප්‍රමාණවත් ය.
- රමණී සුබසිංහ |