Print this Article


දුර්මත විදාරණය: අධර්මවාදීන්ගේ දුර්මත බැහැර කරමු

දුර්මත විදාරණය:

අධර්මවාදීන්ගේ දුර්මත බැහැර කරමු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි

බෝසත් සිරිත අද්විතීය, උත්තරීතර පුරුෂෝත්තමයෙක් පිළිබඳ ඓතිහාසික පුරාවෘත්තයයි. බෝසතාණන් වහන්සේ නමක් මෙලොව එළිය දකින්නේ බුදුවන ආත්ම භාවයෙහි එතෙක් වැඩිය යුතු සකලවිධ පාරමී ධර්මයන් පූරණය කිරීමෙන් පසුව ය. එවන් පාරමී ධර්ම පිරූ බෝසත් චරිතයක බුදුවන ආත්ම භාවයට අදාළ වූ සුවිශේෂතා, ආවේණික ධර්ම ලෙස හඳුනාගැනේ. බෝසතාණන් වහන්සේනමක් සම්බුද්ධත්වය ලබන ආත්ම භාවය තෝරාගැනීමේ දී කාලය, දීපය, දේශය, කුලය, මව යන පංච මහාවිලෝකනයන් වෙත අවධානය යොමු කරන බව ධර්ම සාහිත්‍ය පෙන්වා දෙයි.

එයින් කාලය යන්නෙන් මනුෂ්‍ය ආයුෂ වසර සියයකට වඩා අඩුනම් බුදුකෙනෙක් ලොව පහළ වන්නේ නැත. මනුෂ්‍ය ආයුෂ වසර ලක්ෂයකට වඩා වැඩි නම් එවන් යුගයක ද බුදුකෙනෙක් මෙලොව පහළ නොවෙති. වසර සියයට වඩා ආයු අඩු පුද්ගලයන් තුළ අධර්ම රාගය බහුල වීමත්, ජීවන අරගලය තීව්‍ර වීමත් නිසා ඒ කාලයෙහි බුදුකෙනෙක් ලොව පහළ වන්නේ නැත. වසර ලක්ෂයකට වඩා ආයු ඇති පුද්ගලයන් තුළ අත්දැකීම් ක්ෂේත්‍රයේ පුළුල්බව නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමට නොහැකිවීම නිසා එම කාලයෙහි ද බුදුකෙනෙක් ලොව පහළ වන්නේ නැත.

දීපය ලෙස ජම්බුද්වීපය සලකාගන්නා අතර ජම්බුද්වීපය යන වචනය ථෙරවාදී ත්‍රිපිටකයතුළ පමණක් නොව හින්දු, ජෛන ආදී විවිධ ග්‍රන්ථතුළ ද ව්‍යවහාරිත ය.

දේශය යන්නෙන් මධ්‍ය මණ්ඩලය අදහස් වේ. බෝසතාණන් වහන්සේ උපදින අවස්ථාව වන විට බ්‍රාහ්මණ හා ක්ෂත්‍රීය වංශ දෙකෙන් වඩාත් පිළිගැනීමට, සම්භාවනාවට පත් වූ වංශයක ය, උන්වහනසේ උපත ලැබුවේ. මෙහි දී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මව පිළිබඳව ය.

බෝසත් මාතාව විසින් පුරන ලද බෝධි සම්භාර ඇති බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් බවට පත්වීමට සසර දී ප්‍රාර්ථනා කරන ලදී. ඒ තුළ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීමට අදාළ වූ කරුණු රැසක් අන්තර්ගත වේ. එක් කරුණක් නම් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නේ තුසිතපුරයෙන් චුතව ය. එකල්හි මහා ආලෝකයක් ලොව පුරා පැතිරී යයි. බෝසතුන් පිළිසිඳ ගන්නාවිට සතර වරම් දෙවිවරු මෑණියන් ආරක්ෂා කර ගැනීම සඳහා සතර අතින් ආරක්ෂාව සලසති.

බෝසත් මාතාවක් ප්‍රකෘතියෙන් ම සිල්වත් තැනැත්තියකි. ඇයට කාම ගුණයන්ගෙන් වෙනත් පුරුෂයෙකු පිළිබඳ රාගයක් ඇති වන්නේ නැත. මාණික්‍යමය කරඬුවක් තුළ ඇති වස්තුවක් මෙන් බෝසතාණන් වහන්සේ මවට දර්ශනය වෙමින් මව සමඟ ගනුදෙනු කරමින් කුසතුළ වර්ධනය වේ. බෝසත් මාතාවකට ඇති තවත් ධර්මතාවයක් වන්නේ බෝසතාණන් වහන්සේ බිහි වී දින හතකින් මව කළුරිය කිරීම ය.

බෝසත් මෑණියන් දරුවා බිහි කරන්නේ සිටගත් ඉරියව්වෙනි. වැතිරී හෝ හිඳගෙන සිටින ඉරියව්වෙන් නොවේ. බෝසත් දරුවා බිහි කිරීමේ දී මුලින් ම බාරගනු ලබන්නේ දෙවිවරු විසිනි. බෝසතාණන් වහන්සේ බිහිවන මොහොතේ සාමාන්‍ය දරුවන් මෙන් දුර්ගන්ධයෙන් වැසී උපදින්නේ නැත. මෙසේ බෝධිසත්ත්ව මාතාවගේ සහ බෝධිසත්වයන් වහන්සේගේ ධර්මතා ගුණ රාශියක් පිළිබඳව සඳහන් වේ. මේ සියල්ල ධර්මතා ලෙස තිබුණ ද ඇතැම් පිරිස් බෝසත් කුමරු ඉපදී දින හතකින් මෑණියන් වහන්සේ කළුරිය කිරීම බෝසතාණන් වහන්සේගේ අභාග්‍යයක් බව සඳහන් කිරීමට උත්සාහ දරනු පෙනේ. එය පාපිෂ්ඨ මිනිසුන්ගේ පාපී සිතිවිල්ලක් මිස බෝසතාණන් වහන්සේගේ අභාග්‍යයක් නොවන බව අවධාරණයෙන් කිව යුතු ය.

මෑත කාලයේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නායැයි කියන පාපී භික්ෂුවවිසින් ජනතාව අතරට ගෙන යන තවත් පාපී අදහසක් වන්නේ බෝසතාණන් වහන්සේගේ මව බෝසත් උපතින් දින හතකින් පසු කළුරිය නොකළ බවත් එතුමියට පූර්ණ ලිංග විපර්යාශයක් සිදු වූ බවත් ය. එබැවින් එතුමිය තවදුරටත් රාජ මාලිගයෙහි රඳවා ගත නුහුණු සුද්ධෝදන රජතුමා මහා මායා දේවිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංඛපාල විහාරයට ඉහළින් ඇති ‘සංඛ අස්ස’ නම් තැනෙක සැඟ වූ බවටත්, බුදුරජාණන් වහන්සේ සංකස්සයට වැඩමවීම යනු එම ස්ථානයට වැඩම කිරීම බවටත් ධර්ම විරෝධී, ඉතිහාස විරෝධී, මිථ්‍යා ප්‍රලාපයක් ප්‍රචාරය කරයි. එබැවින් මෙහි දී අවධාරණය කළයුතු වන්නේ බෝධිසත්ත්වයන් වහන්සේගේ උපතින් දින හතක් ගත වූ පසු මෑණියන් වහන්සේ කළුරිය කරන්නේ බුදුරජාණන් වහන්සේට ආවේණික ධර්මතාවක් නිසා මිස බෝධිසත්වයන් වහන්සේගේ අකුසල විපාකයක් නිසා නොවන බවයි. එසේ ම, මෑණියන් වහන්සේගේ අභාවය බෝධිසත්වයන් වහන්සේගේ අකුසලයක් නිරූපණය කරන්නක් යැයි සිතා එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ගලවා ගැනීමට බොරු ගෙතීමෙන් ඇති ඵලක් නැත.

එසේම, පසුගියදා එක්තරා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් බෝසත් උපත සිතුවම්ගත කර තිබුණේ විකෘති ස්වරූපයෙන් ය. එහි බෝසත් මෑණියන් උඩුකුරුව වැටී දරුවා බිහි කරන ආකාරයක් චිත්‍රයට නඟා තිබෙනු දුටුවෙමි. බෝසත් මෑණියන්ගේ විලිවැසී තිබුණේ බෝසතාණන් වහන්සේගේ ශරීරයෙනි. ඉතා පැහැදිලිව ම දීඝ නිකායේ මහා වග්ග පාලියෙහි මහාපදාන සූත්‍රයෙහි බෝධිසත්ත්ව ධර්මතාවත් පැහැදිලිවන බැවින් එවන් විකාර සිතුවම් ඇඳීමට, ප්‍රසිද්ධ කිරීමට ඉතිහාසයෙහි ඉඩක් නැත. මෙවන් අවියත් ප්‍රකාශ කරන්නන් හා නිර්මාණ කරන්නවුන් ද ධර්මය පිළිබඳ තමාතුළ පවත්නා අල්පකෘත භාවයන් විචාර බුද්ධිය යැයි සිතා ගන්නා වූ අඥාන භාවයන් පිළිබඳව කනගාටු විය යුතු ය.