Print this Article


දැහැමි සිතිවිලි සිතට සහනයක්

දැහැමි සිතිවිලි සිතට සහනයක්

අපේ සසර ගමන මහා සාගරයක් වගෙයි. අප ඒ මහා සාගර ජලයේ ගිලෙන්න යනවා. ඒ වෙලාවට අපි මොන තරම් බය වෙනවද?. අනේ අපිට මහා බියකරු ජලයක ගිලෙන්න යනකොට ගොඩබිමක් දකිනව නම් හිතට කොච්චර සතුටුද? මේ සංසාර සාගරේ නමැති මහා බියකරු ජලයේ පීනාගෙන යනකොට පින්වතුනේ, අපි ඈත දකින ගොඩබිම නම් අපේ බුදුරජාණන් වහන්සේ නමැති මහා ගොඩබිමයි.

අනේ අපි ඒ ගොඩබිම හොයාගෙන පීනමු. ඒ ගොඩබිමට ළං වෙන්න නම් ධර්මය නමැති පාරුව අපට ඕනෑ. ශ්‍රී සද්ධර්මය නමැති ඔරුවත්, අපේ මහා සංඝරත්නය නමැති හබලත් අපිට ඕනෑ. අනේ! හාමුදුරුවරු අපිට කොච්චර වටිනවද?. අපේ වැරැදි දේ අපට වටහල දෙනවා. හොඳ දේ අපට කියලා දෙනවා. අපේ සිත් අසරණයි. අපි ධර්මයට ළං වෙමු. සමාවෙන්න බුදුහාමුදුරුවනේ. අපේ සිත් වල දැවෙන ගින්දර කාට නිවන්න පුළුවන්ද? අපේ ශරීරය ගිනි ගත්තොත් දැවිල පිච්චිලා අළු වෙලා ගිහින් නතර වෙනවා. ගෙවල් දොරවල් ගිනි ගත්තත් ඒ වගේම තමයි. පිච්චිලා අළු වෙලා ඉවර වෙනවා. ඒත් අපේ හිත් ගිනි ගන්නකොට ඒවා නිවන්න පුළුවන්ද? ජීවිත කාලෙම ගිනි ගත්තත් නිවෙනවද? අනේ අපි හිත් හදාගන්න බලමු. හිත්වල ඇවිලෙන ගින්දර නිවා ගනිමු. ඒකට අපිට අපේ බුදුහාමුදුරුවෝ නමැති මහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ඉන්නවා. ලෝකේ කවුරු නැති වුණත් ඔබ වහන්සේ අපේ හිතේ ජීවත් වෙනවනම් ඒ සැනසීම ඇති.

දීර්ඝ වූ සසර ගමනේ එක් පුංචි නවාතැන්පළක් මේ මිනිස් ජීවිතය. අපි එනකොට භෞතිකව අරගෙන ආපු දෙයකුත් නැහැ. යනකොට භෞතිකව අරගෙන යන දෙයකුත් නැහැ. ඒත් මේ සංසාර ගමන හරි භයානකයි. පින්වතුනේ, අපි දන්නේ නැහැ තව කොච්චර දුර යන්න තියෙනවද කියලා. අපි හිත් හදාගන්න ඕනෑ. හිතට ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, කාම රාගි ගිනි ඇතුළු වුණහම හිත කිළිටි වෙනවා. මේ භවයේ දී ණයට යමක් අරගත්තොත් ඒක කොහොම හරි ගෙවලා දැම්මොත් ඒ ණය ඉවරයි. ඒත් සසරේ එහෙම නැහැනේ. අපි කාටහරි ඉරිසියා කළොත්, නපුරුකමක් කළොත්, ඒ කියන්නේ සසර ගමනට තව ණයක් එකතු කරගත්තනේ. සංසාරේ කවදහරි ඒ පාපයට ණය ගෙවන්නම එපායැ. කාම රාගී ගින්නක් හිතට ඇතුල් වුණා කියන්නේ. මේ භවයේ ණයක් ගැනීමයි. ඉතින් පින්වතුනේ ඒ ණය සසර ගමනේදී ගෙවන්නම ඕන තමන්මයි. හිත පිරිසුදු කරගමු. පිරිසුදු හිත කිළිටි කරගන්නේ අපිමයි. තරහ හිතට එන්න දෙන්න හොඳ නැහැ.

පින්වතුනේ, අපි නිතරම මැදුම් පිළිවෙතට හිත හදාගන්න ඕනෑ. අපිට කවුරු හරි අපේ හොඳ වර්ණනා කෙරුවොත් උඩඟු වෙන්න හොඳ නැහැ. ඒ වෙලාවට හිතන්නට ඕනැ මේ ඇත්තා දැන් මට හොඳ කිව්වට, මාව වර්ණනා කළාට මට නින්දා අපහාස කරන බනින අය ඕන තරම් ඉන්නවනේ. ඔන්න කවුරු හරි ඔබට නොකළ වරදකට හරි බනින කොට නින්දා කරන කොට හිතන්නට ඕනෑ මේ ඇත්තා බැන්නට, නින්දා කෙරුවට මගේ හොඳ කියන අය ඕන තරම් ඉන්නවානේ කියලා. එහෙම හිතලා නිතරම හිත මැදුම් පිළිවෙතට හදාගන්න ඕනෑ. හදාගත්ත හිත කොච්චර වටිනවද? .හදාගත්ත හිතකට මොනවද කරන්න බැරි. ඔබත් හිත හදාගන්න. බෝසත් සිතක් හදාගත්ත ඇත්තෝ කොපමණ වටිනවද ? .අනේ බෝසත් සිතක් ඔබටත් තියෙනවනම්. පින්වතුනේ බෝසත් සිතක් හදාගත් ඇත්තා කාටවත් බැහැ පරාජය කරන්න. ඒ හිත රිදවන්න, අඬවන්න කාටවත් බැහැ. බෝසත් සිතක වටිනාකම දන්නවද?බෝසත් සිතක් නිතරම සතුටින් පෙරුමන් පුරනවනේ. හැම දෙයක්ම පාරමී පෙලහරක් කරගන්න බෝසත් සිතකට පුළුවන්. බෝසත් සිතක් කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. මොන දුක් පීඩාව මොන කරදරය ආවත් බෝසත් සිතක් හදාගත් ඇත්තා කවදාවත් සැලෙන්නේ නැහැ. කාටවත් බැහැ ඒ ඇත්තා කනගාටුවට පත් කරලා පරාජය කරන්න. ඔබත් බෝසත් සිතක් හදාගන්න. උත්සාහ ගත්තොත් බැරි නැහැ.

පින්වතුනේ, ඇයි අපි තරහ හිතට ගන්නේ. තරහ හිතට එන්න දෙන්න හොඳ නැහැ.අපි අව් රශ්මිය ටිකක් වැඩි වුණොත් ඉරට බනිනවා. වැස්සොත් වැස්සත් එක්ක තරහා වෙනවා. ඉර කරන්නේ ඉරට අයිති දේ. හඳ කරන්නේ හඳට අයිති දේ. වළාකුළු කරන්නේ වළාකුළු වලට අයිති දේ. ඇයි පින්වතුනේ අපි හැම දේටම තරහා ගන්නේ. පුටුවක කකුල වැදුණොත් අපි මොකද කරන්නේ? පුටුවත් එක්ක තරහා වෙනවා. අතුගාන කොට කොස්ස කකුලට වැටුණත් අපි කොස්ස එක්ක තරහා වෙනවා. අනේ එහෙම වෙන්න හොඳ නැහැ. පින්වතුනේ ඇයි අපි පලි බඳින්නේ. අපේ ජීවිත අපි හදාගනිමු. අපේ බුදුහාමුදුරුවෝ අපිට පිහිට වෙනවාමයි. අපිට කවුරු නැති වුණත් අපේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. අපේ බුදුහාමුදුරුවෝ අපේ හිත් ඇතුලේ වැඩ ඉන්නවා. අනේ බුදුහාමුදුරුවන්ට අපේ හිතින් ඈත් වෙන්න දෙන්න එපා. අපි බුදුහාමුදුරුවන් ළඟට යන පාර හොයා ගනිමු. අපි හිත් පරිස්සම් කරගනිමු. හිතට ඕනේ විදිහට දුවන්න දෙන්න හොඳ නැහැ. හොඳ දේ ඇති වරදක් නැහැ. වැරැදි දේ ඇති හොඳකුත් නැහැ. වරද වරදමයි. හොඳ හොඳමයි. අපිට හිසට සෙවනක් තියෙනවා තමයි. ඒත් හිතට සෙවනක් නැහැනේ.අපි හිතට සෙවනක් සොයාගනිමු. අපි අපේ බුදුරජාණන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරමු.

වැඩි වුණොත් මානය
එතැනමයි අවමානය
වනු නිහතමානය
එවිට ඔබ දෙවියකු සමාන ය