Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

පැන විසඳුම්හි ජයග්‍රාහකයා

ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ

දඹදිව රජගහනුවර උපතිස්ස නම් වූ සුන්දර ගමේ මහාසාර බමුණුකුලේ සාරි නම් වූ බැමිණියට දාව දෙටු පුත් ලෙස උපන් කුමරු උපතිස්ස නමින් ප්‍රකට විය. උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මය මැනැවින් වටහාගත් පසු සෝවාන් ඵලයට පත් වි ය. පසුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් පැවිදි වූ අතර, උපසම්පදා කොට අගසව් තනතුර ලබාදුණි. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ බෑණනුවන් වූ දීඝනඛ පිරිවැජියාට දේශනා කළ වේදනාපරිග්ගහ සූත්‍රය අසා සැරියුත් තෙරුන් රහත් ඵලයට පත්වූහ. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයට පත් වූහ. සසරේ රැස්කරගත් අපමණ කුසල් බලයෙන් බුදු සසුනේ අගසව් පදවිය ලැබූ සැරියුත් මහ රහතන් වහන්සේගේ ජීවන චරිතය, අපගේ ජීවිතය ආලෝකවත් කර ගැනීමට මනා පූර්වාදර්ශයක් සපය යි. වගකීම් නිසි පරිදි දැන හැඳින ක්‍රියා කිරීමත්, ගුරු ගෞරවයත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, නිහතමානි පැවැත්ම මෙන් ම උතුම් ඉවසීමත් ඒ අතර ප්‍රධාන විය.

****

වැලිවිට සඟරජ මාහිමි

වැලිවිට ගමේ ඉපදුන එම පඬි රුවන
දනහට සෙත් සලසමින් සිරිලක සොබන
පරහට නිති වැඩ කැමැතිව නිති සරණ
සඟරජ මහිමි තුම සිහිකර ගුණ ගයන

ලක් රජදහනෙ නැති වූ සම්බුදු සසුන
සක් රජුමෙන් එය පිහිටවුවා තුටින
රුක් ගොමුවක් ලෙසින් නිති සැලසූ සෙවන
දැක් වූ දස්කම්ම නිති එතුමන් සොබන

සම්බුදු දහමෙ ඇති දැනුමෙන් පොත් ලිව්වා
සම්බුදු සසුන තම දිරියෙන් පණ පෙව්වා
ජන හදවත් තම දම් නුවණින් පුරවා
එතුමෝ උතුම් මතු බුදු කෙනෙකුන් වේවා!

****

අපේ ලොකු හාමුදුරුවෝ

කලතා එකට දෙසමින් දම් අමා පැණී
හදවත් පතුළ තුළ සඟවා ඔවා මිණී
දෙසු දම් පදය නිවුවා හදවතෙහි ගිනී
කරනා මෙහෙවරට වෙමු ණය ගැති නිතිනී

හතළිස් පස් වසක් සපුරන දිවි මඟ ට
බාධක කම්කටොලු හා දුක සැප එකට
එන්නට ඇතිද කොතෙකුත් නොසිතූ ලෙස
ජය ගෙන වැඩි සේක සමිඳුන්ගේ පිනට

හරි දේ හරියට වරදට නැත සමාව
කිව යුතු දේ කියයි නැත ලොකු පොඩි සීමාව
පව් රැස් කෙරුම නිවනට වෙයි පමාව
හිමිගේ දෙසුම වෙයි සසරක නිමාව

****

ඉල් පොහෝ දිනය

වස්සාන සෘතුව අන්තයේ හමුවන ඉල් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය වැදගත් සිදුවීම්වලින් සමන්විත දිනයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත සේවාව මෙදින ආරම්භවීම ඉල් පොහෝ දින වූ ඓතිහාසික සිදුවීම ය. ධර්මදූත සේවාව සඳහා ශ්‍රාවකයන් වහන්සේලා පිටත්කළ බුදුරජාණන් වහන්සේ හුදකලාවේ ම උරුවේල දනව්වට වැඩම කළහ. බොහෝදෙනාගේ පිළිගැනීමට ලක් ව සිටි උරුවේල කසුප් ප්‍රධාන ජටිලයන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට එහි දී පත්වූහ. උරුවේල කසුප් තෙරුන් ප්‍රධාන ශ්‍රාවකයන් සමඟ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට වැඩි කල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් තෙරුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ද, උරුවෙල් කසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ද යන විමතිය බ්‍රාහ්මණ ගෘහපතියන් තුළ ඇතිවි ය. එනිසා උරුවෙල් කසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වැඳ තමන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බව වදාළහ. ජටිල තවුසන් පිළිබඳ එකල බොහෝ දෙනා තුළ පැවැති පිළිගැනීම කෙබඳු ද? යන්න මෙයින් ප්‍රකට වේ.


 

****

මගේ අම්මයි තාත්තයි

මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් ආදරෙයි. මමත් මගේ මව්පියන්ට ගොඩාක් ආදරෙයි. ඔවුන් මට අවශ්‍ය හැමදේම දෙනවා. මට හොඳ නරක උගන්වනවා. මමත් මගේ අම්මාටයි තාත්තටයි කීකරුව හැදෙනවා.