Print this Article


ලඛුමා විමාන වස්තුව

ලඛුමා විමාන වස්තුව

පව්, පින් සෑම ක්‍රියාවකට ම විපාක ඇත යන ධර්මෝපදේශය පිළිගන්නා බෞද්ධ අපි දුකින් මිදෙන අවසන් කෙළවර හෙවත් පරම නිෂ්ඨාව නිවන බව සිත් හි දරාගෙන සසර සැරිසරන තුරු සුගති උත්පත්ති ලබා ගැනීමට නම් කළ යුත්තේ පව්කම්වලින් වැළැකී පින්කම් කිරීම ය.

මේ අනුව පව්කම්වලින් වැළැකී පින්කම් ම කොට අප තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ ගිහියන් විසින් සිත පහදවාගෙන සිදුකළ, එහෙත් අප කුඩා යයි දැනට සලකන පින්කම්වල ආනිශංස වශයෙන් දිව්‍යලෝක උත්පත්ති ලැබූ කතා 85 ක් ඛුද්දක නිකායට අයත් ‘විමාන වත්ථු පාලි’ යෙහි සඳහන් වේ. මේවායින් තවත් ස්ත්‍රී විමාන වස්තුවක් වූ ‘ලඛුමා විමාන වස්තුව‘ මෙසේ ඉදිරිපත් කරමි. බුදුදහමට අනුව නිවන් අවබෝධයට දක්ෂ වන තුරු පින් කොට, භවයේ සුගති උත්පත්ති ලැබීම අකැප නොවේ. තමන් තුනුරුවන් ගුණ දැන ශ්‍රද්ධාවෙන් යුතුව කුමන පින්කමක් කළත් තමා ප්‍රාර්ථනා කළත් නොකළත් එම ක්‍රියාවේ ආනිශංස වශයෙන් මනුලොව ගුණවත් සැපවත් අයෙකු වශයෙන් හෝ (මනුලොව ද සුගතියකි) සදිව්‍ය ලෝක – එකොළොස් බ්‍රහ්ම ලෝකවල (ශුද්ධාවාස බ්‍රහ්මලෝක පහ අනාගාමි උතුමන් සඳහා පමණක් ම වෙන් වූවකි.) හෝ උත්පත්තියක් ලබන්නේ ම ය.

වරක් සෘද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ, තථාගතයන් වහන්සේගේ අවසරයෙන් තව්තිසා දෙව්ලොව කළ සංචාරයක දී පරිවාර දෙවඟනන් පන්දහසක් පමණ ඉක්මවා මහා විමානයක දෙව් සැප විඳිමින් සතුටින් සිටි දේවතාවියක් දැක,

“පින්වත් දෙව්දුව, ඔබ ඕසධී තාරකාව මෙන් සියලු දිසාවන් බබළවමින් මනා රූ සිරින් යුක්තව සිටින්නෙහි ය. කවර පිනකින් ඔබට මෙබඳු සිරුරු පැහැයක් හා මන වඩන (සිතන සිතන) සම්පත් පහළ වී ද? මහත් අනුභාව ඇති දෙව්දුවනි, ඔබ මිනිස් ලොව සිටිය දී කවර පිනක් කළේ දැයි විමසූ සේක. (යමෙක් මනුෂ්‍ය ලෝකයේ උපත ලබන්නේ ම ද්විහේතුක – ත්‍රිහේතුක සම්පත් ඇතිව ප්‍රභාස්වර සිතකිනි. එසේ උපන් අපි මේ ලොවට ආපසු කරුණු තේරුම් ගත් අවදියේ පටන් බුද්ධානුශාසනා පිළිපදින්නේ නම්, කළ යුත්තේ ම අලුතෙන් පව් නො කොට, මිථ්‍යාදෘෂ්ඨික නො වී, සසර දිගින් දිගට යන අකුසල් නැති කිරීමට පින් හා කුසල් පමණක් ම ය. ඒනිසා මේ විමාන වස්තු හැම කථාවක ම මනුලොව සිටිය දී ඔබ කළ පින කවරේ ද? යනුවෙන් ප්‍රශ්න කොට විමසීම් කර ඇති බව සිතට ගැනීම වටී.)

මසුන් මරණ මිනිසුන් වසන ගම් දොරින් නික්මෙන තැන මාගේ නිවස වී ය. එහි දී පිඬු පිණිස හැසිරෙන මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මහ මග වඩිනවා දුටු විට වඩම්මවා ගෙනවිත් ආහාර ලෙසින් බත් ද, කොම පිඬු ද (පිට්ටු) පලා කොළ ද (එළවළු), ධාන්‍ය වර්ග තුනපහ යොදා සෑදූ පානයක් ද (සුප් වැනි), සෘජු ගති ඇති ඒ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් ම පුජා කළෙමි. එසේ ම පින්වත් ස්වාමීනි, මම පුර අව පක්ෂයන්ට අයත් තුදුස්වක, පසළොස්වක, ප්‍රාතිහාර්ය පක්ෂය (පෝ දිනට පසුදින) හා අටවක යන දිනයන් හි අටසිල් සමාදන් වීමි. සියලු කල්හි කයින් හා වචනයෙන් සංවර වීමි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ මම ඉහත කී පරිදි දන් දෙමින් නිවසෙහි ම සිටියෙමි. මම ප්‍රාණඝාතයෙන් දුරු වීමි.

අන්සතු වස්තුන්හි නුදුන් දෙය ගැනීමෙන් ද, කාම මිථ්‍යාචාරයෙන් ද, රහමෙර පානයෙන් ද දුරු වීමි. මුසාවාදා දී වචනයන්ගෙන් සංසිඳීමි. මෙසේ පන්සිල් රැකීමෙහි ඇලුනු, චතුරාර්ය සත්‍ය ධර්මයෙහි දක්ෂ වූ මම යසස් හා පසැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් වීමි. ඒ පිනෙන් මට මේ සිරුරු පැහැය හා සමෘද්ධි සම්පත් පහළ වුණි. පෙරදා මිනිස් දුවක වූ මම යම් පිනක් කළෙම් ද, එය ඔබ වහන්සේට මෙසේ කියමි. ස්වාමීනි, ඔබවහන්සේ ආපසු මනුලොවට ගියවිට ‘ලඛුමා’ නම් උපාසිකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳිනු මැනැවි. ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්ග ඵලයක් ලැබූ කෙනෙකැයි වදාරන සේක් නම් එය පුදුමයක් නොවේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මා සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කරන සේක.

අට්ඨ කතා විස්තරය

බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර වැඩ වාසය කරන කාලයක ‘කේවට්ට ද්වාර’ (ධීවර දොරටුව) නමින් බරණැස් නගරයේ එක් දොරටුවක් විය.

මේ කේවට්ට ද්වාරයට නුදුරුව පිහිටි ගම ‘නිවිට්ඨ’ නම් වී ය. එහෙයින් කේවට්ඨ ද්වාරය ‘නිවිට්ඨ’ නමින් ද හඳුන්වයි. මේ ගම් දොරටුව අසල නිවෙසක ‘ලඛුමා’ නම් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාන්තාවක් විසී ය. (පාලියේ ‘ලක්ඛී’ යන්න සෝභා සම්පත්තිය - ශි‍්‍රයාව හා ශ්‍රී කාන්තාව යන අරුත් සපය යි.

මේ අනුව ඇය රූපයෙන් හා යහපත් ගතිගුණවලින් ද හෙබි ශි‍්‍රයා කාන්තාවක ගණයෙහි ලා ද සැලකිය හැක.) මෙම ලඛුමා තොමෝ තම ශ්‍රද්ධාව බලවත් හෙයින් ම එම දොරටුවෙන් පිවිසෙන්නා වූ බුද්ධශ්‍රාවක භික්ෂූන් වහන්සේලා දුටු විට තම ගෙදරට වැඩම වා ගෙන විත් දන් පිරිනමා ගිමන් හැරීමට ආසන ශාලාවක් ද කරවා ආසන පහසුකම් සපයමින් උපස්ථාන කරන්නී ය. අවශ්‍ය විට බීමට හා පරිභෝජනයට ජලය ද දුන්නී ය. (එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දවස බොහෝ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වැඩ සිට ඇති අතර බුදු රජු බැහැ දැක වැඳ යාමේ පුරුද්දක් ද තිබී ඇත. තව ද අප කුඩා කල ද ගමේ බොහෝ තැන්වල හන්දි ගානේ මහ මග පයින් ගමන් කරන සාමාන්‍ය ජනයාට ටිකක් ගිමන් හැර යාම සඳහා ගස් සෙවනක ලී කොටවලින් තැනූ බංකු සාදා ඒ මැද පිපාසය සංසිඳවා ගැනීමට ‘පැන් තාලිය’ යයි බුලත් කන හුණුවලින් ලියා පැන් භාජන තබා තිබුණු අයුරු සිහියට නැගේ. මේවා සමහර ස්ථානවල ‘පිං තාලිය’ ලෙස ද ලියා තිබුණි. නගරයේ ද පාර අයිනේ තිබූ බොහෝ ආපන ශාලාවල ඉදිරියෙන් දුම් දමමින් තිබුණේ තේ හදන උණු ජලය ඇති තඹ බොයිලේරුව ය. ඊටත් ඉදිරියෙන් පාරට මායිම්ව ඇති තට්ටුවක ලොකු වීදුරු පහක දහයක වතුර පුරවා පාරේ යන එන අයට බීමට පානීය ජලය තබා තිබුණු අයුරු ද මතක් වේ. අද මෙන් එදා ප්‍රවාහන පහසුකම් අපේ රටේ නොතිබුණි. මේ සියලු දේ ඉහත ලියාගෙන ආ ලඛුමා උපාසිකාවන්ගේ කතා ප්‍රවෘත්තියේ විහිදීම් නො වේද? එදා මිහිඳු මහරහතන් වහන්සේ හා සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ බුදු දහමත් සමග අපට ගෙන ආ ‘බෞද්ධ සංස්කෘතියේ’ නටබුන් නො වේ ද? එදාට වඩා අද ලෝකය දියුණු යැයි කියන්නේ මෙවැනි සාරධර්ම මෙවැනි මනුස්සකම් අද නටබුන් බවට පත් වීම ද? මනුස්ස දහම් නැත්තේ ද (අනුන්ට ඇති වේදනාව තමාට ඇති වේදනාව මෙන් නො සිතන්නා) ඔවුහු මනුස්සයෝ නොවෙති. බුදුදහමේ උගන්වා ඇති සාරධර්ම අපෙන් ඉවත්වීම ලෝක වාසීන්ගෙන් ඉවත් වීම ලෝක බල අරගලයන්ට මුල ය. පාසල් විෂයයන්ට මනුෂ්‍යකම් විෂයය අනිවාර්යයෙන් ඇතුළත් විය යුතුය.) මේ අතර ලඛුමා උපාසිකා තොමෝ ආහාර වශයෙන් බත්, කැවිලි ආදිය ද තමාගේ ගෙදර එවේලෙහි තිබුණේ ද ඒවා පවා පූජා කරන්නී ය. මෙසේ භික්ෂූන් වහන්සේලා නිතර නිතර සමීපයෙන් ඇසුරු කිරීමෙන් බණ (යහපත් වචන) ඇසීමට අවස්ථා ලැබීම නිසා ඇය තුනුරුවන් ගුණ තව තවත් හැඳිනගෙන තිසරණ සහිත සීලයෙහි ද පිහිටා සංසිඳුනු සිත් ඇත්තී විදර්ශනා කර්මස්ථාන පවා උගෙන ඒවා වැඩීම හේතුයෙන් නොබෝ කලකින් ම සෝතාපත්ති ඵලයෙහි ද පිහිටියා ය. පෙළෙහි ගාථාවල දක්වා ඇති පරිදි මෙතුමිය පර ලෝ සැපත් වීමට පෙර හෝ මහා මුගලන් මහරහතන් වහන්සේ සමග කළ ප්‍රශ්න කිරීම් වශයෙන් හෝ සකෘදගාමී ඵලයට ද පත්ව සිටි වාසනාවන්ත උපාසිකාවක් ම වූවා ය. මිනිස් ලොව මේ අයුරින් වාසය කළ සුඛුමා උපාසිකා පසු කලෙක කළුරිය කොට ඉහත සඳහන් වූ පරිදි තව්තිසා දෙව්ලොව මහා විමානයක පහළ වූයේ සකදාගාමී දේවතාවියක් වශයෙනි. (අප විශ්වාස කරන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවියන් අතර මෙසේ සෝවාන් සකෘදාගාමි මාර්ග ඵල ලාභී දෙවිවරුන් ද සිටින හෙයින් දෙවියන්ට පින් දෙන අවස්ථා වන්හි දී මිට මොළවා නොව දොහොත් මුදුන් තබා වැඳගෙන දෙවියන්ට පින් දීම වඩා නිවැරැදි බව ද දැන සිටීම මැනැවි.