Print this Article


අධ්‍යාත්මික අරමුණු සපුරා ගන්නට චාග සම්පදාව

අධ්‍යාත්මික අරමුණු සපුරා ගන්නට චාග සම්පදාව

ගෘහස්ථ ජීවිතයක් ගතකරන පුද්ගලයෙකු විසින් පුහුණු කළයුතු වටිනා ධර්ම කරුණු සතරක් ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. දීඝජානුකෝලිය පුත්‍රයා අමතා සිදුකළ එම දේශනාවේ දී අවධාරණය කර ඇත්තේ සද්ධා සම්පදා, ශීල සම්පදා, චාග සම්පදා හා ප්‍රඥා සම්පදා යන ධර්මයන් ය. එය වෙසෙසින් ම පරලොව සුවපත් කර ගැනීමටද හේතු වේ. මේ සතර කරුණු අතරින් චාග සම්පදා පිළිබඳ ව මෙම ලිපියේ දී අවධාරණය කෙරේ.

බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් වන්නේ චාග සහ දාන යනු එකක් ද, නැතහොත් දෙකක් ද යන්නයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි චාග සම්පදාව විස්තර කිරීමේ දී දාන යන වචනය ද ‘චාග‘ යන්නට පර්යාය යෙදුමක් ලෙස භාවිත කොට ඇති අයුරු දැකගත හැකි ය. එහි වැදගත්ම කරුණ වන්නේ චාග, දාන යන වචනයන් හි වෙන වෙනත් අර්ථ ඇත්තේ ද යන්නට වඩා එම වචනවලින් අර්ථවත්වන, ක්‍රියාවට මුල්වන චේතනාව කවරේද? යන්න විමසීමයි. චාග සම්පදාවේ දී මූලිකව සකසා ගත යුතු චේතනාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ‘ඉධ ව්‍යග්ඝ පජ්ජ කුල පුත්තො විගතමළ මච්චරෙන චේතසා.....’

(ව්‍යග්ඝ පජ්ජය, මෙහි දී කුල පුත්‍රයා විසින් දුරුකළ මසුරු මළ ඇති සිතින්.)

මසුරුකම දුරුකරගත් චෛතසික මත පදනම් විය යුතු ය යනුවෙනි. එමෙන්ම දොවන ලද අත් ඇතිබව (පයත පානී) දානයෙහි ඇළුණ බව (වොස්සග්ග රතො) යදිනට සුදුසු වූ බව හෙවත් (ඉල්ලන්නට සුදුසු වූ බව යාචයොගො) දන් දීමෙහි ඇළුණු බව (දාන සංවිභාගරතො) යනුවෙන් ද එය තවදුරටත් විස්තර වේ. මෙලෙස දීමට, පිරිනැමීමට, ත්‍යාගයට අදාළව කෙනෙකු තුළ පවතින මනෝභාවයන්හි වැදගත්කම ව්‍යග්ඝපජ්ජ සූත්‍රය අවධාරණය කර තිබේ.

ඒ නිසා ගෘහස්ථයා චාග සම්පදාව ප්‍රගුණ කිරීමේ දී මූලික අවධානය යොමු කළ යුතු වන්නේ තම මනස වෙතයි. චාග සම්පදාවට අදාළව, සකසන ලද චෛතසික බලවත් වන ප්‍රමාණයට චාග, දාන යන වචනවලින් අර්ථවත් කරන ලද දීම, පිරිනැමීම වඩා හොඳින්, කුසල් වැඩෙන ලෙස සිදු කරන්නට අවකාශය උදා වේ. ථෙරවාදී ධර්ම විවරණවලට අනුව දානය පූජාවක් ලෙස පිරිනැමිය හැකි බව පෙන්වා දී තිබේ. පූජාවක් පිණිස දුන්න ද, අනුග්‍රහය පිණිස දුන්න ද චේතනාව විය යුත්තේ මසුරුකම හැර දැමීමයි. එනම් සම්පත් සඟවන්නට සිතෙන චෛතසිකවලින් නිදහස් වීමයි. පූජාවක් පිණිස දෙන දානය දුරු කරන ලද මසුරු සිතින් පිරිනමනු ලබනුයේ සීල, සමාධි, ප්‍රඥා දී ධර්ම පුහුණු වන පිරිස අරමුණු කරගෙනයි. යම්කිසි කෙනෙකුගේ දුගී බව ආදී කරුණු සලකා බලමින් තම සිතේ මසුරුකම දුරු කරගෙන යමක් පිරිනැමීම ද දානයක්, අනුග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙම ක්‍රියාවන් දෙකෙහි දී ම චේතනාව බලවත් නම්, අධ්‍යාත්මික දියුණුවක් කරා යන්නට එය උපකාර කර ගැනීමට හැකිවනු ඇත.

ඉහත සඳහන් කළ දානයන්ගෙන් පූජාවන් පිණිස දෙන දානය වඩා ඉහළ ආනිශංස ගෙන දෙන බව ථෙරවාදී ආකල්පයයි. තණ්හා, මාන, මච්ජරිය ආදී චෛතසික දුරුකිරීම හෝ යටපත් කිරීමට කෙනෙකුගේ සීල, සමාධි, ප්‍රඥා ආදි ගුණ ධර්ම පිළිබඳ ව ඇති වූ පැහැදීමකින් සිදු කරන දානයකින් ප්‍රබල වශයෙන් ඉහත කී අකුසල චෛතසික යටපත් කිරීමට අවකාශ ලැබීම දැකගත හැකි අතර කෙනෙකුගේ අසරණකම් වැනි කාරණා හඳුනාගෙන සිදු කරන පරිත්‍යාගයකින් ඉහත සඳහන් කළ අකුසල චෛතසික දුරු වී යාම සාපේක්ෂව අල්ප වීමට ඉඩ ඇති බැවින් පූජාවක් පිණිස දෙන දානය අනුග්‍රහයක් පිණිස දෙන දානයට වඩා උසස් ලෙස පෙන්වීමට හේතු වන්නට ඇත. එහෙත්, මනස නිවැරැදි ව සැකසුවේ නම්, ඕනෑම දානයකින්, පරිත්‍යාගයකින් කුසල ශක්තියක් උපදවා ගත හැකි බව අප අවබෝධ කරගත යුතු ය.

දක්ඛිණාවිභංග සූත්‍රයට අනුව තිරිසන් සතෙකුට කෑම වේලක් දුනහොත් ආනිශංස වාර සියයක් ලැබෙන බව ද, දුශ්ශීල පෘථග්ජනයකුට සිදු කරන පරිත්‍යාගයකින් ආනිශංස දහස් වාර ලැබෙන බව ද පෙන්වා දෙමින් පුද්ගලික දාන දාහතරක් දක්වා ඇත. ඉන් අසංඛ්‍ය අප්‍රමාණයක් ආනිශංස වාර ලැබීමට රහසින්වත් පව් නොකළ, සියලු කෙලෙසුන් නැසූ, දෙව් මිනිසුන්ගේ පූජාවන්ට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දෙන දානය ම අග්‍ර කොට පෙන්වා දී ඇත. ඒ අනුව සෑම දානයක ම ආනිශංස ඇති බව අප අවබෝධ කර ගත යුතු ය.

දසරාජ ධර්ම වැනි, දැහැමි රජෙකු රාජ්‍ය පාලනයේ දී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති අතර ද දානය, පරිත්‍යාගය දක්වා ඇත. එහෙත් එහි දානය එක රාජ ධර්මයක් ලෙසත්, පරිත්‍යාගය තව රාජ ධර්මයක් ලෙසත් පෙන්වා දී ඇත.

ඒ අනුව රාජ්‍යපාලකයෙකු විසින් මහණ බමුණන් කෙරෙහි, දුගී මගී යාචකාදීන් කෙරෙහි, සිදු කරන දීම විශේෂ කරුණක් ලෙසත්, සමස්ත ප්‍රජාව වෙනුවෙන් සිදු කරනදීම්, කැපකිරීම් සියල්ල පරිත්‍යාග ලෙසත් විශේෂ වශයෙන් දක්වා තිබීම සිදුව ඇති බව අප වටහාගත යුතු ය.

දානය හෙවත් චාග සම්පදාවෙහි අර්ථ වටහා ගැනීමේ දී ගෘහස්ථ ජීවිතයෙහි ජීවත්වන එකිනෙකා වෙනුවෙන් සිදු කරන කැපකිරීම් ද නිරාමිස සිතින් කරන්නේ නම්, එවැනි කැපකිරීම් ද (පරිත්‍යාගද) චාග සම්පදාව පුහුණුවීමේ දී වැදගත් කරුණු ලෙස හඳුනාගත හැකි ය. එහි දී ද අවධාරණය කළ යුත්තේ මව්පියන් දරුවන් වෙනුවෙන්, දරුවන් මව්පියන් වෙනුවෙන් ඉටු කරන, බිරිඳ සැමියා වෙනුවෙන් ඉටු කරන පරිත්‍යාග, කැපවීම් ආදිය ද නිරාමිස බව හෙවත් කිසිවක් නැවත ලබා නොගැනීමේ චේතනාවෙන්, හැඟවුණු අපේක්ෂා නැතිව සිදුකළ යුතු බවයි.

සමස්තයක් ලෙස චාග සම්පදාව වෙත අවධානය යොමු කිරීමේ දී ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් දුරු කර අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලික සිත් හා ඒ ඇසුරු කරගෙන උපදින චෛතසික ධර්මයන් මත පදනම් ව පරිත්‍යාගය හෙවත් දීම ප්‍රගුණ කළ යුතු ය. දුකෙන් නිදහස් වීම අරමුණු කරගත් බුද්ධ ශ්‍රාවකයා දීම නිසාවෙන් අලුත් ඇලීම්, අලුත් බැඳීම් උපදවා නො ගැනීමට වග විය යුතු ය. බෞද්ධයාගේ චාග සම්පදාවෙහි මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ ඇලීම්, බැඳීම් මදක් හෝ දුරු කර ගැනීමයි. එවිට තම අධ්‍යාත්මික අරමුණු සපුරා ගැනීමට අවශ්‍යවන ප්‍රඥාවට ළඟා වීමට චාගයෙන් පොහොසත් කරන ලද දීම නිසා සකසන ලද සිත මහත් උපකාරයක් වනු ඇත. දැඩි ඇලීම් සහිත, දැඩි ගැටීම් සහිත කිසිවෙකුට උතුම් ප්‍රඥාව වැඩීම පහසු නැත. ප්‍රඥාව වර්ධනය කර ගැනීමට, තම සිත සමථයට පත්කර ගැනීම සඳහා තිබෙන වැඩ පිළිවෙළේ දී එක් අංගයක් ලෙස චාග සම්පදා හඳුනා ගැනීම යුක්ති සහගත ය. යම් විදියකින් මේ බවය තුළ දී ප්‍රඥාවෙහි උපරිමය කරා ගොස් උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගත නොහැකි වුවහොත් උපදින සෑම බවයක ම ආයු වර්ණ සැප බල ලැබීමටත්, එවැනි පහසුකම් සහිත ව ලබන තවත් ජීවිතයක දී ධර්මාවබෝධයටත් චාග සම්පදාව ඉවහල් වනු ඇත.