සුත්ත
නිපාතයෙන් ...
කරණීය මෙත්ත සූත්‍රය:
දෙවියන්ටත් මිනිසුන්ටත්
සෙත ගෙන දෙයි
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
" එහෙත් සිදුවූයේ කවුරුත් නො සිතූ දෙයකි. එම භික්ෂූන්ගේ ශීලාදී ගුණ දහමේ තේජස නිසා,
ඒ වනයේ අරක්ගත් රුක් දෙවිවරුන්ට සිය විමානවල රැඳී සිටින්නට නොහැකි විය. බිමට බැසගත්
දෙවිවරු මහත් අපහසුතාවයන්ට පත් වූ හ. මාස තුනක් මේ ස්වාමින් වහන්සේලා නතරවෙන බව
දැනගත් දෙවිවරු තවත් අපහසුතාවයට පත්විය."
සුත්ත නිපාතයේ සඳහන්, අප කා අතරත් ප්‍රචලිතව පවතින, භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට
වදාළ මනහර දෙසුමක් වූ කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳ ව සිත පහදවා ගනිමු.
බොහෝ බෞද්ධයෝ මෙම දේශනාව කට පාඩමින් සජ්ඣායනා කිරීමට දන්නා අතර, දෙවේලෙහි දී එය
භාවිතා ද කරති. එනමුත්, කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය සහ එය දේශනා කිරීමට හේතු වූ
පසුබිම ගැන දන්නේ අතළොස්සකි. මේ දෙසුමට මුල් වූයේ අපූරු සිදුවීමකි.
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ දී වස් කාලය ගත කිරීම පිණිස හිමාල වන පෙදෙසට වැඩම
කළ පන්සියයක් වූ භික්ෂු පිරිසකට සුන්දර වන පියසක් දක්නට ලැබුණි. සීතල දිය දහරත්,
රම්‍ය වූ වන පියසත් එම භික්ෂූන්ගේ සිත තදින් පැහැර ගත්තේ ය. “වස් තුන් මාසය ම මේ
සොඳුරු වනයේ වසමු යැයි“ අදිටන් කරගත් ඒ භික්ෂූහු සුවසේ බණ භාවනා කටයුතු පටන් ගත්හ.
එහෙත් සිදුවූයේ කවුරුත් නො සිතූ දෙයකි. එම භික්ෂූන්ගේ ශීලාදී ගුණ දහමේ තේජස නිසා, ඒ
වනයේ අරක්ගත් රුක් දෙවිවරුන්ට සිය විමානවල රැඳී සිටින්නට නොහැකි විය. බිමට බැසගත්
දෙවිවරු මහත් අපහසුතාවයන්ට පත් වූ හ. මාස තුනක් මේ ස්වාමින් වහන්සේලා නතරවෙන බව
දැනගත් දෙවිවරු තවත් අපහසුතාවයට පත්විය. ඒ දෙවි පිරිස, භික්ෂූන් වහන්සේලා ඒ
භූමියෙන් ඉවත් කිරීමේ අදහසින් භික්ෂු පිරිසට බියජනක අරමුණු පෙන්වන්නටත්, බිහිසුණු
ශබ්ද ඇසීමටත්, අමිහිරි දුර්ගන්ධය දනවන්නටත් පටන් ගත්හ. සුව පහසුවෙන් පිළිවෙත්
පිරීමට නො හැකි වූ නිසා එම භික්ෂු පිරිස ආපසු හැරී ගොස් භාග්‍යවතුන් වහන්සේට එම
සිදුවීම පැවසූ විට ශාස්තෘන් වහන්සේ මේ දෙසුම වදාළ සේක.
මෙම දේශනාව ඉගෙන ගෙන නැවත එම වනයටම වැඩි භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය
මිහිරි හඬින් දේශනා කරමින්, මෛත්‍රී ධ්‍යාන මුල්කොට විදර්ශනා වඩා, උතුම් වූ
අරහත්වයට පත් වූ සේක. දෙවිවරු ද ඉතා පැහැදීමෙන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළහ.
එම කරණීය මෙත්ත සුත්‍රයේ මුල් ම ගාථාවන් භාග්‍යවතුන් වහන්සේ් ශ්‍රාවකයින්ට අනුශාසනා
කොට වදාළේ මෙ ලෙසිනි “යම් ශාන්ත වූ, අමා මහා නිවන් සුවයක් වේ ද, එය ලබා ගන්නට
කැමැති දක්ෂ පුද්ගලයාට ඒ පිළිබඳ කුසලතා තිබෙන්නට ඕනෑ. ඒ වගේ ම ධාර්මික අවවාද
අනුශාසනාවන්ට කීකරු වෙන්නට ඕනෑ යැයි මුදු මොළොක් නිවන්මගේ මූලික පදනම එලෙසින් වදාළ
ශාස්තෘන් වහන්සේ දෙවැනි ගාථාවෙන් ධර්මාවබෝධය පිණිස අතිශයින් ම උපකාරී වූ ගුණාංගයන්
තවදුරටත් මෙසේ පෙන්වා දුන් සේක. ලද දෙයින් සතුටුවන කෙනෙක් වෙන්නත් ඕනෑ (සන්තුස්සකෝ
ච) කාටවත් බරක් නො මැති ව පහසුවෙන් යැපෙන කෙනෙක් වෙන්නත් ඕනෑ (සුභරෝ ච) වැඩ කටයුතු
අඩු කෙනෙක් වෙන්නත් ඕනෑ. ( අප්පකිච්චෝ) ශාන්ත ඉන්ද්‍රියය ඇතිකර ගන්නටත් ඕනෑ
(සන්ත්‍රින්ද්‍රියෝ) අවස්ථානෝචිත ව, ධර්මය ගලපා ගන්නා නුවණින් යුතු වෙන්නත් ඕනෑ.
(නිපකෝ ච) දායක පවුල් සමග නො ඇලී සිටින්නටත් ඕනෑ. සිව්පසයට ගිජු නොවී ඉන්නත් ඕනෑ.
(අප්පගබ්භො කුලේසු අනනුගිද්ධෝ) එසේ ගුණ ධර්මයන්හි පිහිටා අනුමාතා වරදේ පවා බිය
දකිමින්, නිවන් මගේ හික්මිය යුතුබව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අයුරින් ය.
ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනෙකුගේ ගර්හාවට ලක්වන ආකාරයේ කුඩා වරදක්වත් නො කර ඉන්න
ඕනෑ ( න ච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං)
මෙසේ මූලික ගුණ ධර්මවල පිහිටා සියලු සත්ත්වයන් වෙත තරහ නැති, වෛර නැති, අප්‍රමාණ
මෙත් සිත පැතිරවිය යුතු බව අනතුරුව වදාළ සේක. “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! භය
නැත්තෝ වෙත්වා! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා! ලෙසයි. (සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා)
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එසේ මෙත් පැතිරවිය යුතු සත්ත්වයන් ගැන විග්‍රහ කොට වදාළ
සේක. එනම් තැති ගන්නා, තැති නො ගන්නා, දිග සිරුරු ඇති, මහා සිරුරු ඇති, කුඩා සිරුරු
ඇති, ඉතා කුඩා සිරුරු ඇති සියලු සත්ත්වයන් අරමුණු කොට මෙත් වැඩිය යුතු ය. එමෙන් ම
ඇසට පෙනෙන, නො පෙනෙන, දුර සිටින, ළඟ සිටින, ඉපදී සිටින, උපතක් කරා යන (භූතා වා
සම්භවෙසි වා) සියලු සත්ත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා! කියා මෙත් සිත පැතිරවිය
යුතු බව වදාළ සේක. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ් වදාළ සේක. “තවත් කෙනෙක් තව
කෙනෙකු රවටන්න එපා! තවත් කෙනෙකුට අවමන් කරන්න එපා! දොස් කියන්න එපා! ගර්හා කරන්නත්
එපා! තව කෙනෙකුගේ දුකට කැමැති වෙන්න එපා! (න පරෝ පරං නිකුබ්බේථ නා තිමඤ්ඥේථ කත්ථ චි
නං කඤ්චි බ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය) එමෙන්ම මවක් තම එකම
දරුවා දිවි හිමියෙන්, ආදරයෙන් රැක බලා ගන්නා මෙන් සෑම සත්ත්වයෙක් ගැන ම ප්‍රමාණ
රහිත කොට මෙත් සිත පැතිරවිය යුතු බව ද වදාළ සේක.
තවද දිසා, අනු දිසා වශයෙන් සෑම දෙසට ම මෙත් වැඩිය යුතු බව මෙසේ පෙන්වා දුන් සේක.
“උඩට, යටට, හරස් අතට, කිසි බාධාවක් නැතිව වෛර නැති, සතුරු නැති සියලු සත්ත්වයන්
කෙරෙහි ප්‍රමාණ රහිත කොට මෙත් සිත පතුරන්න ඕනෑ. එමෙන් ම සිටගෙන සිටින විටත්, ඇවිදින
විටත්, වාඩි වී සිටින විටත්, නිදන විටත්, නො නිදා සිටින විටත් මේ සෑම ඉරියව්වක දී ම
මෛත්‍රී භාවනාව කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටිය යුතු බව ද වදාළ සේක. මෛත්‍රී භාවනාව
බුදු සුසන තුළ පවසන්නේ “බ්‍රහ්ම විහරණය” යනුවෙනි. (බ්‍රහ්මමේතං විහාරං ඉධමාහූ)
මෙසේ මෙත් සිත වඩන, බහුල වශයෙන් පුරුදු පුහුණුු කරන, මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නේ
නැති ඒ සිල්වත් ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුතු ව, පංච කාමය ගැන ඇති ආශාව
දුරු කළොත්, නැවත ගර්භාෂයක (උපතක් ලබාගෙන) නිදන්නට නො එන බව මෙම සූත්‍රයේ අවසාන
ගාථාවෙන් වදාළ සේක. (දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ, කාමේසු විනෙය්‍ය
ගේධං නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති) එනම් මෛත්‍රී ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා
වැඩුවහොත්, අනාගාමී ඵලයට හෝ අරහත්වයට පත්වන ආකාරය භාග්‍යවතුන් වහන්සේ බොහෝ සූත්‍ර
දේශනාවල පෙන්වා වදාළ සේක.
මෙ තරම් අර්ථවත් වූ මෙම කරණීය මෙත්ත සුත්‍රය, සමහර ඇතැම් ගිහි, පැවිදි පිරිස්
නිවෙස්වල නො කිව යුතුයැයි කියමින් උතුම් බුදු වදනට අවමන් කරති. බුද්ධිමත් සැදැවතුන්
එම මිත්‍යා මතය නො පිළිගත යුත ªය. මේ දෙසුම දෙවියන්ට ද ඉතාමත් පි‍්‍රය මනාප ය.
ජීවිතයට සෙත ශාන්තිය උදා කරයි. මෙලොව, පරලොව සැප සලසා දෙයි. අධ්‍යාත්මික දියුණුවට
මංපෙත් විවර කරවයි.
එනිසා ඔබත් මෙම උතුම් දේශනාව සැදැහැයෙන් මිහිරි ව සජ්ඣායනා කරමින්, අරුත් තේරුම්
ගෙන, තම ජීවිතයට ගලපා ගන්නටත්, මෙත් සිත පුරුදු කරන්නටත් උත්සුක වන්න.
- නයනා නිල්මිණී |