දුර්මත විදාරණය:
දුර්මත එපා මාරදූවරු බුදුරදුන්ගේ සිතිවිලි නොවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
වර්තමානයේ ඇතැම් දේශකවරු ධර්ම දේශනා කරන අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේ වෙත මාර
දූවරු පැමිණි සිදුවීමට වැරැදි අර්ථකථන දෙති. මාර දූවරු යනුවෙන් බාහිර බලවේග නැති
බවත්, ඒ උන්වහන්සේගේ සිතෙහි මතු වූ තණ්හාව, අරතිය හා රාගය බවත්, එම තණ්හා , අරති,
රාග නමැති සිතිවිලි පරාජය කිරීම මාර දූවරු පරාජය කිරීම බවටත් අර්ථ දක්වති.
එහෙත් පැහැදිලි ලෙස ම මාර දූවරු යනු බාහිර බලවේගයන් මිස බුදුරජාණන් වහන්සේගේ සිතෙහි
පහළ වූ සිතිවිල්ලක් නොවන බව පෙන්වා දිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වෙත එසේ මාර
දූවරු පැමිණෙන්නේ සම්බුද්ධත්වයෙන් පස්වන සතියෙහි, අජපල් නුගරුක් මූලයෙහි වැඩ සිටි
අවස්ථාවේ බව ‘සත්තවස්සානුබන්ධ සූත්‍රයේ’ පෙන්වා දෙයි.
‘එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ උරුවේලාවෙහි, නේරංජනා නදී තෙර අජපල් නුග රුක මුල වැඩ
වසන සේක. එ කල්හි, පාපී මාර තෙම බුදුරජාණන් වහන්සේ වෙත බැස ගැනීමට අවස්ථාවක් නො
ලබමින් සත්වසක් මුළුල්ලෙහි ලුහුබඳින්නේ වෙයි’
ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි ලෙස ම, මාරයා බුදුරජාණන් වහන්සේ පසුපස බුද්ධත්වයට පෙර හය
වසක් හා බුදුවීමෙන් අනතුරුව වසරක් ද වශයෙන් සත් වසක් ලුහුබැඳි බව අවබෝධ වෙයි. මෙම
මාර දූවරුන්ගේ පැමිණීම පිළිබඳ ව වාර්තාව අපට හමු වන්නේ ‘මාරධීතු සූත්‍රයේ ය’.
මාරධීතු සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පසුපස සත් වසක් ලුහුබැඳි මාරයා, උන්වහන්සේ
පොළඹවා ගත නො හැකි ව කළකිරීමට පත් ව කල්පනා කරමින් සිටි අවස්ථාවේ දී මාර දූවරු සිය
පියා වෙත පැමිණ ‘ පියාණෙනි, ඔබ තුමා කුමක් නිසා කනගාටුවෙන් පසුවන්නේ දැ’යි විමසති.
ඒ අවස්ථාවේ දී ශ්‍රමණ භවත් ගෞතමයන් සිය වසඟයට ගැනීමට නො හැකි වූ නිසා බලවත්
දොම්නසකින් සිටින බව මාරයා ප්‍රකාශ කරයි.
‘එසේනම් පියාණෙනි, අපි බුදුරදුන් වෙත ගොස් උන්වහන්සේ පොළඹවා ගැනීමට උත්සාහ
කරන්නෙමු’ යි මාර දූවරු ප්‍රකාශ කළහ. එ වේලෙහි මාරයා පවසන්නේ, මේඝ වර්ණ පාෂාණයක්
මඬින්නට කවුඩුවෙක් ගන්නා උත්සාහයක් සේ බුදුරජාණන් වහන්සේ මැඩ පැවැත්වීමට ගන්නා
උත්සාහය අසාර්ථක වන බව ය. කෙසේ හෝ මින් අනතුරුව බුදු හිමියන් වෙත එළැඹෙන මාර දූවරු
බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ,
‘ඔබ වහන්සේ කුමක් නිසා වනගතව සිටින්නේ ද? ඔබ වහන්සේගේ කිසියම් ප්‍රාර්ථනාවක් ඉටු
නොවී ද? කවර හේතුවක් නිසා ජනතාව අතරට නො යන්නේ ද?” යනුවෙනි.
එහෙත් බුදුරජාණන් වහන්සේ මාර දූවරුන්ගේ බසෙහි සිත යොමු නො කොට වැඩ හිඳිති. ඒ
අවස්ථාවේ මාර දූවරු බුදුරජාණන් වහන්සේට පංච කාමයෙහි යෙදීමට ආරාධනා කෙරෙති. එහෙත්
බුදුරජාණන් වහන්සේගේ සිත එවන් පහත් ඇරැයුමකට විපරිණත නොවන මට්ටමට කෙලෙසුන්ගෙන් මිදී
පවතී. කෙසේ හෝ මාර දූවරු සිය අභිමතාර්ථ සාධනය පසෙකලා, අසාර්ථක ව මාරයා වෙත යන
අවස්ථාවෙහි දුරදීම මාරදූවරුන් දකින මාරයා මෙසේ ප්‍රකාශ කරයි.
“ අඥාන තැනැත්තියනි, කුමුදු නාළයකින් පර්වතයක් කෙසේ සාරන්න ද? ගල් පව්වක් කෙසේනම්,
නියගින් සාරන්න ද? යකඩයක් කෙසේ නම් දත්වලින් සපන්න ද? තොපගේ අසාර්ථක වූ ප්‍රයත්නය
තමා ම තැතිගෙන වෙව්ලමින් ආපසු එන්නට වූයේ නොවේ ද?
ඉහත දක්වන ලද සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ සප්තවස්සානුබන්ධ සූත්‍රය සහ මාරධීතු
සූත්‍රයට අනුව මාර දූවරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන්නේ සම්බුද්ධත්වයෙන් අනතුරුව
බුදුරජාණන් වහන්සේ අජපාල නුග රුක මුල වැඩ සිටි අවස්ථාවේ බවත්, ඒ අනුව උන්වහන්සේගේ
සිත නැවත ක්ලේශයන්ට බර නොවන බවත්, මූලිකව අවධාරණය කළ යුතු ය. එවන් නික්ලේශී උතුමෙක්
තුළ පහළ වූ සිතිවිලි ලෙස මාර දූවරුන්ගේ පැමිණීම අර්ථ දැක්වීම සම්මා සම්බුද්ධත්වයට
කරන නිගාවකි.
වර්තමානයේ ඇතැම් දේශකවරු විසින් තමන් වඩාත් විචාරශීලී අය බව හැඟවීම පිණිස බොහෝ දහම්
කරුණු, බුද්ධ චරිතයේ සිදුවීම්, සංස්කෘතික හරයන් හි ඇති වටිනා චර්යා ධර්ම හෙළා
දැකීමට හෝ විකෘති කර පැවසීමට උත්සාහ කරනු දැකිය හැකි ය. මෙය ද එවන් අවස්ථාවකි.
තමන්ගේ විචාරය සිදු කළ යුත්තේ යථාර්ථය මත පිහිටා සිටීමෙනි.
තණ්හා, අරති, රගා යන වචනත්‍රය ක්ලේශයන්ට සම්බන්ධව ද භාවිත කළ හැකි බැවින් ඒවා
බෝසතුන්ගේ කෙලෙස් යැ’යි පැවසීමට ඉක්මන් වන මෙවන් දුර්මත පතුරුවන්නන් තණ්හා, අරති,
රගා බුදුරදුන් වෙත පැමිණි අවස්ථාව, එහි දී සිදු වූ සිදුවීම් වෙත අවධානය යොමු කිරීමට
අවස්ථාව ලැබුණේ වී නම්, නො එසේනම්, තමා එබඳු දුර්මත ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳ ව
සොයා බැලීමට නිහතමානි වූයේ නම්, මෙවන් මත සමාජගත නොවනු ඇත.
- රමණී සුබසිංහ |