Print this Article


මජ්ක්‍ධිමනිකාය සූත්‍රානුසාරයෙන්

මජ්ක්‍ධිමනිකාය සූත්‍රානුසාරයෙන්

" මජ්ක්‍ධිමනිකායේ එන සූත්‍ර නම් කිරීමේ දී දේශනයට මූලික වූ පුද්ගලයාගේ නමින් ම හඳුන්වනු ලැබූ සූත්‍ර, දේශිත ස්ථානය අනුව නම් කළ සූත්‍ර, දේශකයාගේ නමින් හඳුන්වන සූත්‍ර, විෂයය කරුණු පදනම් කොට ගෙන නම් කළ සූත්‍ර,දේශනයේ එන උපමා ආශ්‍රයෙන් නම් කළ සූත්‍ර, විශේෂණ පද භාවිතයෙන් වෙනස් වූ එකම නම් ඇති සූත්‍ර වශයෙන් කරුණු සලකා බලා ඇති බව පැහැදිලි වේ."

මජ්ක්‍ධිමනිකාය, සූත්‍ර ධර්ම අධ්‍යයනය

සූත්‍ර පිටකය , විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් තෙවැදෑරුම් වන පාලි ත්‍රිපිටකයේ පැරැණිතම සංග්‍රහය ලෙස සැලකෙන සූත්‍ර පිටකය දීඝ,මජ්ක්‍ධිම , සංයුත්ත, අංගුත්තර හා ඛුද්දක යනුවෙන් නිකාය පසකින් යුක්ත ය. එම නිකාය ග්‍රන්ථ අතරින් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර සංග්‍රහ කරන ලදුයෙන් මජ්ක්‍ධිම නිකාය යැයි ව්‍යවහාර වන්නේ දෙවැනි නිකාය ග්‍රන්ථය යි. මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර ප්‍රමාණය එකසිය පනස් දෙකෙකි. එය පණ්ණාසක (පනසකින් යුක්ත වූ ) වශයෙන් තෙවැදෑරුම් වේ.

එනම්

මූලපණ්ණාසකය, මජ්ක්‍ධිමපණ්ණාසකය හා උපරිපණ්ණාසකය යනුවෙනි.

මූලපණ්ණාසකය සූත්‍ර පනසකින් යුතු වන අතර මූලපරියාය සූත්‍රයේ පටන් මාරතජ්ජනිය සූත්‍රය දක්වා වූ සූත්‍ර පනස මූලපරියාය, සීහනාද, ඕපම්ම, මහායමක, චූලයමක වශයෙන් වග්ග හෙවත් වර්ග පසකට බෙදා සෑම වර්ගයකට ම සූත්‍ර දහය බැගින් වන සේ සංග්‍රහ කොට ඇත. මජ්ක්‍ධිමපණ්ණාසකයට අයත් කන්දරක සූත්‍රයේ පටන් සංඝාරව සූත්‍රය දක්වා වූ සූත්‍ර පනස ගහපති, භික්ඛූ,පරිබ්බාජක, රාජ,බ්‍රාහ්මණ යන වර්ග පහ යටතේ බෙදා දක්වා ඇත. මෙහි ද එක් වර්ගයකට අයත් වන්නේ සූත්‍ර දහයක් පමණි.

උපරිපණ්ණාසකයට අයත් දේවදහ සූත්‍රයේ පටන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දක්වා පනස් දෙකක් වූ සූත්‍ර දෙවදහ, අනුපද, සුඤ්ඤත, විභංග, සළායතන යනුවෙන් වර්ග පහකට බෙදා දක්වා ඇත. විභංග වර්ගයට පමණක් සූත්‍ර දොළසක් ද, අනෙකුත් වර්ගවලට සූත්‍ර දහය බැගින් ද අයත් වේ. මෙලෙසින් ප්‍රධාන කොටස් තුනකට සහ වග්ග පහළොවකට වර්ගීකරණය කොට ඇති මජ්ක්‍ධිමනිකායානුගත සූත්‍ර දේශනයන් පද වශයෙන් ගත් කල, පද අසූදහස් පන්සිය විසිතුනක් සහ අක්ෂර වශයෙන් ගත් කල සත්ලක්ෂ සතළිස් දහස් පනස්තුනක් ඇති බව පපඤ්චසූදනී නම් අටුවාවෙහි සඳහන් වේ.

මජ්ක්‍ධිමනිකායේ එන සූත්‍ර නම් කිරීමේ දී දේශනයට මූලික වූ පුද්ගලයාගේ නමින් ම හඳුන්වනු ලැබූ සූත්‍ර, දේශිත ස්ථානය අනුව නම් කළ සූත්‍ර, දේශකයාගේ නමින් හඳුන්වන සූත්‍ර, විෂයය කරුණු පදනම් කොට ගෙන නම් කළ සූත්‍ර,දේශනයේ එන උපමා ආශ්‍රයෙන් නම් කළ සූත්‍ර, විශේෂණ පද භාවිතයෙන් වෙනස් වූ එකම නම් ඇති සූත්‍ර වශයෙන් කරුණු සලකා බලා ඇති බව පැහැදිලි වේ.

ඒ අනුව චූලසච්චක ,මහාසච්චක, කන්දරක, උපාලී, රාහුලෝවාද, සේල, උදායි, ගුලිස්සානි, අභය රාජකුමාර වැනි සූත්‍ර, දේශනයට මූලික වූ පුද්ගලයාගේ නමින් ම හඳුන්වනු ලැබූ සූත්‍ර සඳහා නිදසුන් ය.

දේශීත ස්ථානය අනුව ඇතැම් සූත්‍ර නම් කොට ඇත. චුල්ලගෝසිංහ, මහාගෝසිංහ, චාතුම, මාධුරක වැනි සූත්‍ර ඒ සඳහා නිදර්ශනයන් ය. දේශකයාගේ නමින් ද සූත්‍ර සඳහා නම් තබා ඇත. බක්කුල වැනි සූත්‍ර ඒ සඳහා සාධක සපය යි. සූත්‍ර දේශනයේ පරමාර්ථයත්, මූලික විෂයය කරුණුත් පදනම් කොට ගෙන නම් ලද මූලපරියාය, ධම්මපරියාය, භයභෙරව වැනි සූත්‍රයෝ ද, දේශනයේ එන උපමා ආශ්‍රයෙන් නම් ලද කකචූපම, අලගද්දූපම, වම්මික ,රථවිනීත, චුල්ලහත්ථිපදෝපම, මහාසාරෝපම, ලටුකිකොපම වැනි සූත්‍රයෝ ද, මජ්ක්‍ධිමනිකායේ බොහෝ ය .

තව ද, අවවාද වශයෙන් දේශිත සූත්‍ර අම්බලට්ඨික රාහුලෝවාද , අනාථපිණ්ඩිකෝවාද, ඡන්නොවාද, පුණ්ණෝවාද, නන්දකෝවාද ආදි සූත්‍ර නාමයෙන් ද, “චූළ” සහ ‘මහා’ යන විශේෂණ පද භාවිතයෙන් වෙනස් වූ එකම නම් ඇති චූළසීහනාද, මහාසීහනාද ,චූළදුක්ඛක්ඛන්ධ මහා දුක්ඛක්ඛන්ධ,චූළහත්ථිපදොපම – මහාහත්ථිපදොපම, චූළගෝසිංහ – මහාගෝසිංහ, මහා අස්සපුර – චූල අස්සපුර, මහාවෙදල්ල – චූලවෙදල්ල වැනි යුගල සූත්‍රයෝ ද මෙම නිකායෙහි ග්‍රන්ථයෙහි බොහෝ වෙත්.

බුදුරජාණන් වහන්සේ අන්‍යන් විසින් ආරාධනා කරනු නො ලැබ, හුදු තමන් වහන්සේගේ අදහසින් ම වදාළ සූත්‍ර දේශනා අත්තජ්ඣාසය නම් වේ. ආකංඛෙය්‍ය සූත්‍රය, වත්ථ සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය, මහාසළායතන සූත්‍රය, විභංග සූත්‍රය, අරියවංස සූත්‍රය, ඉධිපාද සූත්‍රය, ඉද්ධිබල සූත්‍රය, බෝජ්ඣංග සූත්‍රය ආදි සූත්‍ර දේශනා අත්තජ්ඣාසය නම් නික්ඛේපයට අනුව දේශනා කළ සූත්‍රයෝ වෙති.

අන්‍යයන්ගේ අදහස ද, කැමැත්තද, සිත ද, ප්‍රාර්ථනාව ද අවබෝධ කොට ගෙන වදාරන ලද්දාහු සූත්‍රයෝ පරජ්ඣාසය නම් වෙති. චුල්ල රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය , ධාතු විභංග සූත්‍රය ආදිය පරජ්ඣාසය නික්ඛේපයට අයත් වූවාහු වෙති.

බුදුරදුන් ඉදිරියට පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද සූත්‍රධර්ම පුච්ඡාවසික නම් වේ. සක්කපඤ්හ සූත්‍රය, චුල්ලවේදල්ල සූත්‍රය, මහාවේදල්ල සූත්‍රය, සාමඤ්ඤඵල සූත්‍රය, ආලවක සූත්‍රය සුචිලෝම සූත්‍රය ආදි සූත්‍ර අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් කළ දේශනාවෝ ය.

උපන් කරුණු නිමිතිකොට දෙසන ලද මූලපරියාය සූත්‍රය, ධම්මදායාද සූත්‍රය, චූලසීහනාද සූත්‍රය, වත්ථූපම සූත්‍රය, පුත්තමංසූපම සූත්‍රය දාරුක්ඛන්දූපම සූත්‍රය, අග්ගික්ඛන්දූපම සූත්‍රය ආදි සූත්‍ර දේශනා අට්ඨුප්පත්තික දේශනා නම් වේ.

බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් අන්‍ය සාමයික ශාස්තෘවරුන්, ඔවුනගේ ශ්‍රාවකයන්, බ්‍රාහ්මණයන්, භික්ෂූන්, පරිබ්‍රාජකයින්, රජවරුන් ආදි නොයෙක් පුද්ගලයන් සමඟ පවත්වන ලද සාකච්ඡා සහ නොයෙක් වර බුද්ධ ධර්මය පැහැදිලි කරමින් දේශිත සූත්‍ර දේශනා මජ්ක්‍ධිමනිකාය පුරාවට ම දැකගත හැකි ය. එමඟින් පරවාද මථනය කොට සක වාදය (මධ්‍යදේශනය) ඉස්මතු කිරීම මජ්ක්‍ධිමනිකායේ පරමාර්ථය බව මජ්ක්‍ධිනිකායට්ඨ කථාව පවසයි. සෑම සූත්‍ර දේශනයක දී ම බුදුදහමට අයත් මුලික ධර්ම කරුණු වන පටිච්සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, ත්‍රි ලක්ෂණය, කර්මය, පංචස්කන්ධ විභාගය, ධාතු විභාගය, ආයතන විභාගය, ඉන්ද්‍රීය සංජානනය සහ අතීන්ද්‍රිය සංජානනය ආදි බොහෝ ධර්ම විග්‍රහයන් විශ්ලේෂණාත්මක ව සාකච්ඡා කිරීමට යත්න දරා ඇත. මජ්ක්‍ධිමනිකායේ වැඩි සූත්‍ර ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ හැරුණු විට සැරියුත් තෙරුන් විසින් දේශිත ය. තව ද මෙහි ඇති විශේෂත්වයක් නම්, ඇතැම් සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ ආරම්භ කොට, සංක්ෂිප්ත ව දේශනා කොට, පසුව සැරියුත් තෙරුන් වැනි තෙරවරුන් ලවා විග්‍රහ කරවා දීමයි. ධම්ම දායාද වැනි සූත්‍ර ඒ සඳහා නිදසුන් ය.

එමෙන් ම ප්‍රථම ධර්ම සංගායනාවේ දී මජ්ක්‍ධිම භාණකයන් ලෙසින් මජ්ක්‍ධිමනිකාය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමට බාර වූයේ සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසටය . සුමංගලවිලාසිනිය සහ අත්ථසාලිනිය ද පෙන්වා දෙන අන්දමට මජ්ක්‍ධිමනිකායේ ඇති විශ්ලේෂණාත්මක ක්‍රමයත්, සැරියුත් තෙරුන්ට ඇති සම්බන්ධතාවයත් නිසා මජ්ක්‍ධිමනිකායත්, අභිධර්මයත් අතර ඍජු සම්බන්ධතාවයක් ඇති බව පෙනීයයි.

මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍ර දේශනා නිර්වාණගාමී ප්‍රතිපදාවක් වශයෙන් පමණක් නොව මූලාශ්‍රයක් වශයෙන්, දාර්ශනික වශයෙන්, ආචාරාත්මක වශයෙන්, සාහිත්‍යමය වශයෙන් ද විශාල වටිනාකමකින් යුක්ත වේ. බෞද්ධ දර්ශනයේ හදවත වන් මජ්ක්‍ධිමනිකායේ ඒ ඒ සූත්‍ර වෙන වෙන ම ගෙන ඒ පිළිබඳ සාකච්ඡා කිරීම ඉදිරියේ දී අපේක්ෂිත ය.