දොරවක විපුලසිරි නා හිමි
අලව්ව වෙන්නොරුව සිරි සාරානන්ද විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහෝපාධ්‍යාය සිරි සාරානන්ද වජිරඤාණ වංසාලංකාර ශාසන කේතු ශ්‍රී, රාමඤ්ඤ වංස ප්‍රදීප
සාසන ධජ, පණ්ඩිත දොරවක විපුලසිරි නායක ස්වාමීන් වහන්සේ නොවැම්බර් 17 වනදා 90 වන
වියට පා තබති. 1929 දී ජන්ම ලාභය ලබා 1947 දී පැවිදි දිවියට ද ,1951 දී උපසම්පදාවට
ද පත්වූහ. ප්‍රාචීන පණ්ඩිත උපාධිය, රත්මලානේ පුහුණු ගුරු සහතිකය ද ලබා පිරිවෙන්
ගුරු සේවය හා පරිවේණාධිපති තනතුර ද හෙබවූහ.
දිවි සරිකරගත් පැවිදි ගිහි සිසු පිරිස බොහෝ වෙති. අභිනව විහාරස්ථාන ඇරඹූහ. පිරිවෙන්
බිහි කළහ. විහාරස්ථානය සහ පිරිවෙන් සංවර්ධනය කළහ. බුදුසරණ පත්‍රයේ වියත් ලේඛකයෙකි.
පද්‍ය රචකයෙකි. ධර්ම දේශකයෙකි. දුටුවන්, හඳුනා ගත්තවුන් මතකයේ රඳවා ගැනීමට සහජ
දක්ෂතාවයක් ඇත. සසුනඹර දිදුලන විනයධර ශික්ෂාකාමී මහ තෙරනමකි.
උන්වහන්සේ වෙනුවෙන් මෙවර කඨින පූජා පින්කමට සමගාමීව නොවැම්බර් 17 වෙනි දින සවස
ආශිර්වාදාත්මක මල්, පහන් පූජාවක් හා ධර්ම දේශනාවක් ද පසුදින දවල් සඟසතු මහා දානමය
පින්කමක් ද පවත්වා සෙත් පැතීමට විහාරස්ථ දායක සභාව ද, ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය
ද, ශිෂ්‍ය පිරිස ද කටයුතු සූදානම් කර ඇත. නායක ස්වාමීන් වහන්සේ යටතේ පවතින
විහාරස්ථාන 10 ක හා නාරම්මල ප්‍රාදේශීය සංඝ සභාවට අයත් දායක සභාව ද සෙත් ප්‍රාර්ථනා
කරති. මහෝපාධ්‍යාය නායක ස්වාමීන් වහන්සේ නිදුක් ව නිරෝගී ව සැපවත් වේවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ධුරන්ධර, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පණ්ඩිත,
වේරගල ඤාණිස්සර හිමි
****
සපුගස්යායේ ශ්‍රී සරණංකර නා හිමි
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල ශ්‍රී
මහින්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ත්‍රිංශද් වර්ගික විධායක
කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීරණයෙන් මිද්දෙණිය ඕකන්දයාය ශ්‍රී චන්දගිරි විහාරාධිපති
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සංඝ සභික, ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය
සද්ධර්මවාගීශ්වර ශ්‍රී චන්ද්‍රසෝම, විචිත්‍රභාණක සපුගස්යායේ ශ්‍රී සරණංකරාභිධාන
හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපාධ්‍යාය පදවිය
පිරිනමා ඇත.
දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිසාවේ මිද්දෙණිය සපුගස්යාය ග්‍රාමයේ සුභසිංවිතාරණගේ දොන්
මැතියස් මහතාට හා වික්‍රමාරච්චි මැණික්හාමි මාතාවට දාව 1949 මාර්තු මස 09 වන දින
උපත ලද පින්වත් කුමරු සුභසිං විතාරණගේ පියදාස නම් විය.
මව්පිය සෙනෙහස, දයාව ඇසුරෙහි වැඩෙන කුමරු ලබුහේන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය
ලබමින් පසුවන විට පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම ඕකන්දයාය ශ්‍රී චන්දගිරි විහාරය වෙත
පැමිණ පැවිද්දට අවශ්‍ය වත් පිළිවෙත් හදාරා මුල්කිරිගල ශ්‍රී චන්දසෝම මාහිමියන්ගේ
ශිෂ්‍යවරයෙකු ලෙස 1964 නොවැම්බර් මස 11 වන දින සපුගස්යායේ සරණංකර හිමි නමින් පැවිදි
දිවියට ඇතුළත් විය.
ඌරාපොළ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන ප්‍රාරම්භ, උසස්පෙළ ආදී
විභාග පිළිවෙළින් සමත් ව උගතයුතු බණ දහමින් යුතු සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන්
1970 මැයි මස 21 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ගත්හ. සිය
ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1982 ජනවාරි මස 25 වන දින විහාරාධිපති ධූරයට
පත් වූ අතර පුරා විද්‍යා චක්‍රවර්තී මහාචාර්ය, කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන
මහානාහිමියන් ආරම්භ කරන ලද ශ්‍රී රෝහණ මහා සංඝ සභාවට ආරම්භයේ පටන් සහයෝගය දෙමින්
කටයුතු කළ නා හිමියෝ 1992 දී කර්මාචාර්ය ධූරයට ද පත් වූ හ.
2004 වසරේ සිට 2008 වසර දක්වා ඌරාපොළ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙනේ
ආචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර 2007 දී කාරක සංඝ සභික පදවියෙන් ද පිදුම් ලැබූහ. 1981
වසරේ සිට ශ්‍රී චන්දසෝම දහම් පාසලේ ආචාර්යවරයෙකු ලෙස ද, ප්‍රධානාචාර්යවරයා ලෙස ද
කටයුතු කළ අතර රාජකීය පණ්ඩිත අත්තුඩාවේ ශ්‍රී රාහුලාභිධාන මහානාහිමියන් විසින් 2004
සිට 2008 වසර දක්වා මාතර රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරාධිකාරී ධූරයට ද
පත් කරන ලදී.
2012 දී සද්ධර්මවාගීශ්වර ශ්‍රී චන්දසෝම යන ගෞරව නාමය සහිතව හම්බන්තොට දිසාවේ
ප්‍රධාන සංඝ නායක පදවියට පත් කරනු ලැබූ නා හිමියෝ සසුනඹර ආලෝකමත් කිරීමට සමත් වටිනා
ශිෂ්‍ය පිරිසක් ද නිර්මාණය කළේ ය. පණ්ඩිත ඕකන්දයායේ සීවලී හිමි, බෙලිඅත්ත, නිහිළුව
ශ්‍රී ධම්මානන්ද මහ පිරිවෙනේ ශිෂ්‍ය ලබුහේනේගොඩ නන්දරතන හිමියන් ඒ අතර වේ.
ජාතික, ආගමික, ශාසනික අධ්‍යාපනික වශයෙන් උදාර සේවාවක නිරත වෙමින් ගිහි පැවිදි උභය
පාර්ශ්වයේම ප්‍රසාදය දිනාගෙන ලෝක ශාසනික සේවාවේ යෙදී සිටින නාහිමියන් වෙත උත්තරීතර
ශාසනික පදවියක් වන උපාධ්‍යාය ධූරය පිරිනැමීම ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් සංඝ සභා
මූලස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.
ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී
බද්දේගම කුසලධම්ම හිමි
****
පැවිදි දිවියේ 48 වසර සපුරන උඩුගම හේමසාර හිමි
1970 වසරේ නොවැම්බර් මස 05 වෙනි දිනට උදාවූයේ ගාලු පළාතේ ද්වීතීය සංඝ නායක දෛවීභාෂා
විශාරද කළුතර ඤානවිමල නා හිමියන්ගේ 80 වෙනි ජන්ම දිනය යි. ඒ නිමිත්තෙන් සිදු කෙරුණු
සති පින්කම් අවසානයේ සියක් නමක් විෂයෙහි පැවැති සංඝගත දක්ෂිණාවේ දී උඩුගම හේමසාර
නමින් කළුතර ශ්‍රී විමලඤාණ නා හිමි, ගල්බඩ නන්දාරාම හිමි යන දෙනම යටතේ පැවිදි
දිවියට ඇතුළත් වූයේ තවත් කුල දරුවන් කිහිප දෙනෙකු සමඟිනි.
එස්.ඩී. නොමිස්සිඤ්ඤෝ සහ සේනාධීර ආරච්චිලාගේ සොපිනෝනා හෙවත් බේබිනෝනා දම්පතීන්ට දාව
පවුලේ දෙවැනියා ලෙස උපත ලද හේමවිර කුමරුට සොයුරු සොයුරියන් හත් දෙනෙකි. උඩුගම කනිටු
විදුහලින් තෙවෙනි කැලෑසිය දක්වා ඉගෙනුම ලබා වයස අවුරුදු 8 පසු වීමත් සමඟ මට මහණ
වීමට යන්න ඕනෑ යැයි කළ අයැදීමට මව්පියන් හරස් නොවුණහ. ඉඳුරුව ගල්බඩ කටුකොලිහේ පුරාණ
විහාරයේ වැඩ සිටි රාජකීය පණ්ඩිත ගල්බඩ නන්දා රාම නාහිමියන් වෙත බාර දෙනු ලැබුවේ
ඤාතිත්වයක් ද තිබූ හෙයිනි.
ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනින් මූලික භාෂා අධ්‍යනය කොට කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ
පිරිවෙනට 1978 දී භාර දෙනු ලැබුවේ තත් උප ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති හැගොඩ ඛේමානන්ද
බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිමිපාණන් වහන්සේ විසිනි.
සිය පැවිදි ආචාර්යවරයාණන්ගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදරයකු වූ බෙන්තොට රන්දාගොඩ ශ්‍රී
දෙවපි‍්‍රයාරාමාධිපති දේද්දුව පියනන්ද මා හිමියන් හා කළුතර ඤාණවිමල නාහිමියන්ගේ
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වූ හෑගොඩ නාහිමියන්ගේ සහෝදර උතුරු නැගෙනහිර දිගාමඩුලු දෙපළාතේ
ප්‍රධාන අධිකරණ නායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් යටතේ මහනුවර මල්වතු මහා
විහාරයේ දී 1983 ජුනි මස 11 වෙනි දින උපසම්පත්තියෙහි පිහිටුවන ලදහ.
උතුරු නැගෙනහිර අකාරුණික ත්‍රස්ත ක්‍රියා ඇරඹීමට පෙර අධ්‍යාපනය ලබන අවධියේ සිට
ලාහුගල නීලගීරි මහා සෑය රජ මහා විහාරය ආරක්ෂා කර ගනිමින් දිනකට සැතපුම් 17 – 18 දුර
ගෙවා පා ගමනින් වැඩම කරමින් ලාහුගල හුලානුගේ සියඹලාන්ඩුව, ගංගොඩගම, කිවුලෙයාය,
දොඹගහවෙල, ඇතිමලේ මහකළුගොල්ල මානාභරණ රාජමහා විහාරය ආසන්න මුතු කණ්ඩිය ආදී
ප්‍රදේශවල දහම් පහණ කමිටු, ශ්‍රමදාන කඳවුරු පිහිටුවීමෙන් නීලගිරි මහ සෑ පුද බිමට
වසර දහස් ගණනාවකින් පසු වාහනයක් ගමන් කරවීමට මාර්ග තැනීම් සිදු කරනු ලැබුවේ ද මුන්
වහන්සේ විසිනි.
හැගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමිපාණන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් වහන්සේලා 30 නමක් සමඟ
අරන්තලාවෙදී අපවත් වූයේ 1987 ජූනි මස 02 දින දී ය. රුදුරු භීෂණයත් සමඟ සියලු කටයුතු
අතරමඟ නතර විණි.
එවකට බද්දේගම කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටිය
දී සිය ගුරු කුලය වූ ශ්‍රී සද්ධර්මෝදය පරිවෙණාධිපති නාහිමිපාණන් වහන්සේ අපවත් වීමත්
සමඟ එහි වගකීම භාර ගැනීමට සිදු වූ හ. මේ කාලය අතරතුර දිගු කලක් අරාජිකව පැවති
බූස්සේ හැගොඩ ශ්‍රී සුගතාරාම විහාරයේ අධිපති ධූරය දරමින් එහි සංවර්ධනයට දකුණු පළාතේ
ජාතික ආගමික ශාසනික සේවයට උර දෙමින් සිටියහ.
එහිදී සිංහල බල මණ්ඩලය, සිංහල බලවේගය, ජාතික වීර විදහන, ජාතික භික්ෂූ පෙරමුණ,
දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ, ජාතික සංඝ සම්මේලනය, රුහුණු රට භික්ෂු පෙරමුණ, සර්වෝදය,
සණස, ග්‍රාම සංවර්ධන සමිති, බොදු බලසේනා සංවිධානය, සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය,
සිංහල තරුණ කවි සමාජය, අගනුවර තරුණ කවි සමාජය, කළුතර දිසා කවි සංවිධානය, ගාලු තරුණ
කවි සමාජය, රුහුණු තරුණ කවි සමාජය ආදී නොයෙකුත් ජාතික සංවිධානයන්හි විවිධ තනතුරු
හොබවමින් කටයුතු කරන අතර වර්තමානයෙහි ද බන්ධනාගාර සිරකරු සුබ සාධක සංගමයෙහි පැවිදි
අනුශාසක ධූරයන් දරමින් කෙරෙන මහඟු මෙහෙයට සමගාමීව කාව්‍යමය ධර්ම දේශකයාණන් වහන්සේ
නමක් මෙන්ම ප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් සිදු කරනු ලබන තෙසැත්තෑ
ඤාණ පූජා, අසූ මහා ශ්‍රාවක පූජා, අටවිසි බුද්ධ පූජා, රට පුරා සිදු කරමින් වෙසෙස්
මෙහෙයකට නායකත්වය ලබා දෙනු ලබයි. මුන් වහන්සේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට සිදු කෙරෙන
මෙහෙය අගයා කාව්‍ය ප්‍රභාෂ්වර, කාව්‍ය ශ්‍රී ස්වර්ණ ජෝති, කාව්‍ය රාජ, කාව්‍ය
වජ්‍ර, කාව්‍ය කෝකිල, ගෞරව සම්මාන සම්මුතින්ගෙන් ද සුපුජිතය හ.
ගුරු සේවය අවුරුදු 28 ක කාලයක් හා පරිවේණාධිපති ධුරය වසර 14 ක් පමණ උසුලමින් ගාලු
දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ධූරය ද ශාසනාරක්ෂක බල
මණ්ඩල කිහිපයක නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූර ඇතුළු විවිධ තනතුරු දරමින් දැනට ද සිය සේවය
ලබා දෙනු ලබයි.
දිවා රෑ අධික ලෙස අවිවේකී ව වසර තිස් ගණනකට අධික කාලයක් දිනකට කිලෝ මීටර් දෙතුන්
සියය වැඩමවමින් අම්පාර, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, පුත්තලම, මැදවච්චිය, මහනුවර,
ඇඹිලිපිටිය, මඩකලපුව, දෙනියාය, හම්බන්තොට, මොණරාගල ආදී ප්‍රදේශයන්හි නොයෙක් ජාතික
ආගමික ශාසනික සේවාවන් සඳහා වැඩම වනු ලබන්නේ අහන දකින අය පුදුමයට පත් කරවමිනි.
සසුන් මඟ එළිය කරමින් දහම් පාසල් ගණනාවකට නායකත්වය ලබා දෙමින් ශාසනික වත් පිළිවෙත්
පුරමින් උගත් පැවිදි සිසු පරපුරක් හිමි පැවිදි ජීවිතයේ 48 වසර සපුරන පණ්ඩිත උඩුගම
හේමසාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.
නීතිඥ,
මොහාන් පී. ද සිල්වා |