Print this Article


තෙවළා බුදු වදන් අතරින් 10: ශික්ෂණය

තෙවළා බුදු වදන් අතරින් 11:

ශික්ෂණය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කේසී නම් අශ්වයන් පුහුණු කරන්නෙකු අරභයා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන කේසී සූත්‍රය දේශනා කළහ. දිනක් බුදුරදුන් හමුවට පැමිණි කේසී නම් අසුන් පුහුණු කරන්නාගෙන් බුදුරජාණන් වහන්සේ, ඔහු අශ්වයන් පුහුණු කරන්නේ කෙසේදැයි විමසූහ. තමන් විසින් මෘදු ක්‍රමයෙනුත්, රළු ක්‍රමයෙනුත් මෘදු හා රළු යන ක්‍රම දෙකමත් භාවිත කරමින් තරුණ අශ්වයන් පුහුණු කරනු ලබන බව කේසී සඳහන් කළේය. එම ක්‍රම තුනෙන් එකකින්වත් දමනය කළ නොහැකි අශ්වයන්ට කුමක් කරන්නේදැයි බුදුරජාණන් වහන්සේ නැවතත් විමසූහ.

එක් ක්‍රමයකින් වත් ශික්ෂණය කළ නොහැකි අශ්වයන් තම ගුරු කුලයට අපකීර්තියක් හෙයින් ඝාතනය කරන බව පැවසී ය. අනතුරු ව කේසී බුදුරජාණන්වහන්සේ පුරිසදම්ම සාරථී යනුවෙන් හැඳීන්වෙන හෙයින් උන්වහන්සේ දමනය කළයුතු පුද්ගලයන් කෙසේ දමනය කරන්නේදැයි විමසී ය. කේසිගේ පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ, කේසි මම වනාහි දැමිය යුතු පුරුෂයන් මෘදුලෙසිනුත් දමනය කරමි. පරුෂ ලෙසිනුත් පුරුෂයන් දමනය කරමි. මෘදු - පරුෂ දෙයාකාරයෙන්මත් පුරුෂයන් දමනය කරමි’යි යනුවෙන් ප්‍රකාශ කළහ. එසේ දමනය කළ නොහැකි පුද්ගලයන් විනාශ කරන බවත් පැවසූහ.

කේසී සූත්‍රයේ දැක්වෙන පරිදි මතුපිටින් පෙනෙන ආකාරයට කේසී මෙන් ම බුදුරදුන් ද භාවිත කළ ශික්ෂණ ක්‍රමවේදය එකකි. ඒ අනුව මෘදු ක්‍රමයෙනුත්, පරුෂ ක්‍රමයෙනුත් මෘදු හා පරුෂ යන දෙයාකාරයෙනුත් , එසේ කළ නොහැකි තැනැත්තා ඝාතනය කිරීමෙනුත් ශික්ෂණය කරනු ලැබේ.

මතුපිටින් එක හා සමාන යැයි පෙනුනත් බුදුරදුන්ගේ ක්‍රමවේදය කේසීගේ ක්‍රමයට වඩා හාත්පසින් ම වෙනස් වේ. පළමු මෘදු ක්‍රමය යටතේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකු ශික්ෂණය කරන්නේ ඔහුට ත්‍රිවිධ සුචරිතය කුමක්ද ? එහි යහපත් විපාක කවරේද? දෙවියන් හා මිනිසුන් කවරේද? යන්න පැහැදිලි කිරීමෙන් ය. ඒ අනුව යහපත් කායික වාචසික මානසික ක්‍රියාත් , ඒවායේ ආනිසංසත් , එයින් ලැබිය හැකි දේවත්වය හා මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳවත් අනුශාසනා කරමින් පුද්ගලයා මෘදු ලෙස හික්මවයි.

දෙවන ක්‍රමය යටතේ එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන ත්‍රිවිධ දුෂ්චරිත ක්‍රියාත් , ඒවාට අනුරූප වූ අයහපත් විපාකත් , එැවනි දුෂ්චරිත ක්‍රියා නිසා කෙනෙකු ඉපදිය හැකි නිරය, තිරශ්චීන හා ප්‍රේත විෂයය ගැනත් කරුණු දක්වති.

මෙම ක්‍රමය රළු ක්‍රමය යි. තෙවන ක්‍රමයේ දී යට දක්වන ලද ක්‍රම දෙක ම එකවර අනුගමනය කරමින් කරුණු පැහැදිලි කෙරේ. මෙසේ මෙම ක්‍රම තුනටම අනුව හික්මවිය නොහැකි තැනැත්තා අවවාද නොලැබිය යුත්තෙකු සේ සලකා බැහැර කරනු ලැබේ. මෙහි දී බුදුරදුන් හෝ බුද්ධ ශ්‍රාවක භික්ෂූවක හෝ එම තැනැත්තා ඇසුරු කරනු නොලැබේ. එසේ හික්මවිය නොහැකියැයි සලකා සම්පූර්ණයෙන් ම ඇසුරෙන් පහකර දැමීම අවසන් ක්‍රමයයි. එය ආර්ය විනය අනුව ඝාතනය කිරීමක් හා සමාන යැයි බුදුරජාණන් වහන්සේ කේසිට පැහැදිලි කළහ. කෙනෙකු ශික්ෂණය කිරීම වනාහි අතිශය දුෂ්කර කටයුත්තකි. එයිනුත් ශාරීරික හිංසනයකින් තොරව දමනය කිරීම ඉතාමත් අපහසු කාර්යයකි.

පුද්ගලයන් දමනය කිරීමේ දී ශාරීරික හිංසනය හෝ මානසික හිංසනය බුදුසමයෙන් බැහැර කොට ඇති බව මෙම සූත්‍රයෙන් මොනවට පැහැදිලි වේ. සැම විටම බුදුරදුන් අනුගමනය කළ ශික්ෂණ ක්‍රමය වූයේ අනුශාසනා මගින් කරුණු පැහැදිලි කොට අවබෝධය ලබාදී වරදින් මුදවා ගැනීමයි. එය අනුශාසනා ප්‍රාතිහාර්යයි.

කෙනෙකු ශික්ෂණය කිරීමේ පූර්ණ වගකීම හිමිවන්නේ දෙමාපියන්ට හා ගුරුවරුන්ටය. එබැවින් කේසී සූත්‍රය ඔවුන්ට බෙහෙවින් වැදගත් වේ. බුදුරදුන් අනුදත් පළමු ක්‍රමය මෘදු ය. යම් ක්‍රියාවක යහපත් පැත්ත ගැන පෙන්වාදී වරදින් මුදවා ගැනීම එයින් සිදුවේ. ත්‍රිවිධ සුචරිතයත් , එය අනුගමනය කිරීමෙන් දෙව්ලොව හෝ මනුෂ්‍ය ලෝකය යන කාම සුගතියක උපත ලද හැකි බවත් පැහැදිලි කිරීම ඒ යටතේ අනුගමනය කර ඇත. කෙනෙකුගේ වරදක් දුටුවිට පළමුවෙන් ම රළු ක්‍රමයට නොගොස් මෘදු ක්‍රමයකින් එය වැළැක්වීම මුල් පියවරෙන් පෙන්වා දෙන ආදර්ශයයි. දෙවන පියවර වන රළු ක්‍රමයේ දී අනුගමනය කෙරෙන්නේ ක්‍රියාවේ නරක ආදීනව පැහැදිලි කිරීමයි. නිරය, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකවල ස්වභාවය හා එහි පවතින දුක්ඛදායක තත්ත්වය ගෙනහැර දක්වමින් පවෙහි හා අකුසල ක්‍රියාවලට අනුරූප විපාකවල සැහැසි බව පෙන්වාදීම මෙයින් සිදුවේ. මෘදු ලෙස ශික්ෂණය කළ නොහැකි ශිෂ්‍යයෙකුට ඔහුගේ ක්‍රියාවේ පවතින බිහිසුණු විපාක නන් අයුරින් පැහැදිලි කරමින් ඔහු සුමගට යොමුකිරීම රළු ක්‍රමයෙන් අපේක්‍ෂිත ය.

හොඳ නරක ක්‍රියා දෙකම එකට ගෙන එහි ආනිශංස හා ආදීනව පැහැදිලි කරමින් වරදින් මුදවා ගැනීම තුන්වන මෘදු - රළු ක්‍රමය යටතේ සිදුවෙයි. අවසන් ක්‍රමය සැබැවින් දැඩි පිළිවෙතකි. නොයෙක් අයුරින් කරුණු පැහැදිලි කොටත් ශික්ෂණය කළ නොහැක්කෙකු සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන එම ක්‍රමය පුද්ගලයා මුළුමනින් ම නොසලකා හැරීමකි.

කේසී සඳහන් කරන්නේ පියවර තුනකින් දමනය කළ නොහැකි අසුන් සෙසු අශ්ව රැලට ද හානිකර හෙයින් ඝාතනය කරන බවයි. බුදු දහම එය අනුමත නොකරයි. එහෙත් කෙනෙකු අනුශාසනා නොකළ යුත්තෙකු , අවවාද නොකළ යුත්තෙකු සේ සලකා බැහැර කිරීම ආර්ය විනය අනුව ඝාතනයක් ලෙස නම්කර ඇත. මෙයින් පෙනීයන්නේ අවසන් පියවර දැඩි එකක් බවයි. එසේම කෙනෙකු එවැනි තත්ත්වයකට පත්වීම යනු සැබැවින් ම ඛේදවාචකයකි. ලොකු කුඩා කවරෙකුට වුව මඟපෙන්වන්නෙකු , උපදෙස් දෙන්නෙකු අවශ්‍ය වේ. එසේ නොමැතිව අයාලේ යන කෙනෙකුට කිසිවිටෙකත් පිහිටක් ආරක්ෂාවක් නොලැබේ. මව්පියන්ගෙන් ගුරුවරන්ගෙන් ගිලිහී ගිය දරුවාට බාහිර සමාජයෙන් ආරක්ෂාවක් අපේක්ෂා කළ නොහැකි ය. ජන්න හිමියන්ට ලබාදුන් බ්‍රහ්මදණ්ඩය අවසන් ක්‍රමයට නිදසුනක් වේ. කරුණු අවබෝධ කර ගත් ජන්න හිමියන්ගේ බ්‍රහ්මදණ්ඩය පසුව ඉවත් කෙරුණි. ඒ අනුව නොසලකා හැරීම හෙවත් අවසන් ක්‍රමය යොදාගත යුත්තේ ආයති සංවරයේ පිහිටවීමේ පවිත්‍ර හැඟීමෙන්ය. ඉහතින් සඳහන් කළ පරිදි දරුවන් ශික්ෂණය කිරීමේ දී ඔවුන් කායික හා මානසික හිංසනයට ලක් නොකළ යුතුය යන්න මෑතදී පිළිගත් අදහසකි. එහෙත් බුදුරජාණන් වහන්සේ එය හයවන සියවසේ තරම් ඈත අවදියක ම ක්‍රියාවට නැගීමෙන් බුදුසමයේ සර්වකාලීන අගය පැහැදිලි වේ.

ශාරීරික හිංසනය හා ඝාතනය වෙනුවට කරුණු වටහා දී පුද්ගලයා සුමගට යොමුකිරීම බෞද්ධ පිළිවෙත වේ. දෙමාපියන්ගේ හා පාසල් ගුරුවරුන්ගේ වගකීම දරුවා මැනවින් ශික්ෂණය කිරීමයි. ඒ ගැන වාදයක් නොමැත. එහෙත් ශික්ෂණය කිරීමේ මුවාවෙන් දරුවන් හිංසනයට ලක්කිරීම අනුමත කළ නොහැකි ය. එක්වරම රළු නොවී වරද මැනවින් පැහැදිලි කළ විට බොහෝ දරුවන් එයට අවනත වනු නො අනුමාන ය.

ඇතැම් දරුවන්ගේ නොමනා ක්‍රියා කෙසේවත් පාලනය කළ නොහැකි නම් ඒ ගැන රළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිදු වෙනු ඇත. එහි අපේක්ෂාව වියයුත්තේ කෙසේ හෝ දරුවා වරදින් මුදවා ගැනීමත් , එවැනි වැරැදිවලට පෙළඹිය හැකි සෙසු අයට ආදර්ශයක් සැපයීමත් ය. දරුවන් හා සිසුන් ශික්ෂණය කරවීමේ දී අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් පිළිබඳ අවබෝධයක්, දෙමාපියන්ටත් , ගුරුවරුන්ටත් තිබිය යුතු ය. දරුවාගේ පෞරුෂයට හානි නොවන අන්දමින් මෘදු ක්‍රමයකින් ආරම්භකොට අත්‍යවශ්‍ය නම් පමණක් රළු ක්‍රමයකට යා යුතු වේ. එසේ නොකොට දරුවන් හා සිසුන් ශාරීරික ව හා මානසික ව හිංසනයට භාජනය කිරීම බුදුසමයෙන් කිසිසේත් ම අනුමත කර නොමැත.