Print this Article


ධම්මපදයෙන් ජීවිතයට : බවුන් වඩා නිවන් ලබමු

බවුන් වඩා නිවන් ලබමු

යමක වග්ගය

(19 – 20 ගාථා) ඉතිරි කොටස

අප්පම් පි චෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්තචිත්තො
අනුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති

සහිතං- බුද්ධ වචනය, අප්පං - ස්වල්පයක් ද, අපි - වුවත්, භාසමානො - දේශනා කරමින්, චෙ – ඉදින් , ධම්මස්ස - ධර්මයෙහි, අනුධම්මචාරී හොති – ධර්මානුකූලව ජීවත් වෙයි, රාගංච – රාගය ද , දොසංච- ද්වේශය ද, මොහංච - මෝහය ද, පහාය– දුරුකර, සො- හෙතෙම, සම්මප්පජානො- නිවැරැදි ප්‍රඥාව ඇතිව, සුවිමුත්තචිත්තො- දුබල හැඟීම් වලින් මනාව මිදී, ඉධ වා - මෙලොවටවත්, හුරංවා– පරලොවටවත්, අනුපාදියානො – බැඳීමක් නැතිව, සාමඤ්ඤස්ස– ශ්‍රමණ ජීවිතයේ ඵලයට , භාගවා- හිමිකරුවෙක්, හොති- වෙයි

එම ප්‍රශ්නය විදර්ශනා ධූරය පිරූ රහතන් වහන්සේට යොමු කරනු ලැබිණ. උන්වහන්සේ ඊට නිවැරැදි ව පිළිතුරු දුන්හ. සාධු සාධු යි එය අනුමත කළ භාග්‍යවතුන් වහන්සේ අවශේෂ මාර්ග ඵල පිළිබඳ ව ද උන්වහන්සේගෙන් ම විමසූ හ.

ඒ හැමකෙකට නිවැරැදි පිළිතුරු ලැබුණු අතර ඒ තුන් වාරයේ ම ද භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන් හ. ඒ ඇසූ දිව්‍ය බ්‍රහ්මාදී හු ද සාධුකාර දුන් හ.

බුදුරදුන් දුන් සාධුකාරයෙන් ග්‍රන්ථ ධූරය පුරන හිමියන්ගේ සිසු හිමිවරු සහ ගිහි දායකයෝ නො පහන් වූ හ. ‘ඇයි බුදුරදුන් මෙසේ කරන්නේ? මහලු භික්ෂුව පිළිතුරු දුන් හතර වතාවේ ම උන්වහන්සේ සාධුකාර දුන්නත්, දහම දිවග ලෙලැවූ අපේ ධර්මධර විනයධර පණ්ඩිත හාමුදුරුවන් පිළිතුරු දුන් විට එසේ කළේ නැහැ. ‘එය අසාධාරණ යි’ ඔවුහු එකිනෙකා කොඳුරන්නට වූ හ.

’මහණෙනි, ඔබ මොනවා ද කියන්නේ’ යි බුදුහු ප්‍රශ්න කළහ. ඔවුහු තම විමතිය උන්වහන්සේට කියා පෑ හ. ‘මහණෙනි, ඔබේ ජනප්‍රිය භික්ෂුව මගේ සසුනේ කුලියට හරක් බලනවා වැනි යි. එහෙත් ම පුතු මහ රහත් නම පස් ගෝ රසය ම තමන් සතු කරගත් ගව හිමියෙකු වගෙයි’ යනුවෙන් ඇති තතු පැහැදිලි කර වදාළහ.

බුද්ධ වචනය දේශනා කරන්නෝ ස්වල්ප වශයෙන් වුව ද ධර්මයට අනුව තම ජීවිතය ගත කරන, රාගය, ද්වේෂය, හා මෝහය දුරුකර කෙලෙසුන් ගෙන් සිත මුදා ගෙන මෙලොවට හෝ පරලොවට නො බැඳී වසන්නේ නම්, හෙතෙම පැවිදි ජීවිතයේ ප්‍රයෝජනය විඳ ගනියි.