Print this Article


බොදුදනට කරුණාවෙනි : මහ සයුර පරදන ගුණ සයුර

මහ සයුර පරදන ගුණ සයුර

“ධම්මාරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තියං
ධම්මං අනුස්සරතං භික්ඛු
සද්ධම්මා නපරිහායති”

ධර්මයේ හැසිරෙමින්, ධර්මයට කැමැත්තකින්, ලැදියාවකින් කටයුතු කරමින්, ධර්මය ම මෙනෙහි කරමින්, ඒ අනුවම පිළිවෙත් මාර්ගය පුරමින්, ධර්මය තුළ යම් කෙනෙක් ජීවත් වන්නේ නම්, වෙසෙන්නේ නම්, ඒ භික්ෂුව හෝ ඒ මඟ අනුගමනය කරන්නා ධර්මයෙන් නොපිරිහේ ය. යනු මේ ගාථා පාඨයේ අදහසයි. එනම් ධර්මය ම ජයගනී කියන අදහස යි.

මේ කතා පුවත ඔස්සේ වර්තමාන පරිසරය තුළ අප විසින් ගත යුතු ආදර්ශය කුමක් ද?

අප මේ ලිපි පෙළෙහි කලින් සඳහන් කළා සේ ඇතැම් විට වැඩි පිරිසක් සම්ප්‍රදායානුකූල ව කරන්නේ කුඩා කල පටන් ඇසීමෙන්, මතකයේ රඳවාගෙන පවතින ‘ඉතිපි සෝ’ ආදී ගාථා ධර්මයන් අවබෝධයෙන් කෙසේ වෙතත් වචනවල තේරුමක් හෝ නොදැන සජ්ඣායනා කිරීම පමණක් නොවේ ද? මෙය සියලු දෙනාට ම අදාළ නොවේ. බොහෝ පිරිසක් මේ ගාථා රත්නයන් නිවැරැදි ව ඉගෙන, ඒවා සජ්ඣායනා කරමින්, තේරුම ද විමසා බලා දැනගෙන, ගාථාව සංසුන් ව සජ්ඣායනා කරමින්, භාවනාවක් සේ තේරුම මෙනෙහි කරන බව පැහැදිලි යි. හැබෑවට ම එය බුද්ධානුස්සතියක්. බුදු ගුණ මෙනෙහි කිරීමක්. බුදු ගුණයන් කෙරෙහි තම සිත පිහිටුවීමක්. එය බුද්ධානුස්සති භාවනාවක් ලෙස සඳහන් කළ හැකි යි. වර්තමානයේ වැඩි පිරිසක් බුදුරජාණන් වහන්සේ අභියස විවිධ පූජාවන් සිද්ධ කළත්, භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයෙන්, උන්වහන්සේට සැබෑ ලෙස ගෞරව කරන්නේ දැයි සිතා බැලිය යුතු යි.

‘ඉතිපි සෝ’ ගාථාව දහස් වතාවක් සජ්ඣායනා කොට ඇති ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බොහෝ පිරිස් ‘අරහං’ බුදු ගුණයේ පටන් ඒ බුදු ගුණයන්හි සැබෑ තේරුම මැනවින් දැන, සිහියට හසුකරගෙන ඒ මාර්ගය අනුගමනය කරන්නේ දැයි නුවණින් සිතා බලන්න. ඉතාමත් කරුණාවෙන්, උපේක්ෂා සිතින්, ශාසන දයාවෙන් පෙන්වාදෙන මේ කරුණ ගැන සිහිනුවණින් යුතු ව සිතා බලන්න.

‘අරහං’ බුදු ගුණයේ තේරුම වර්තමානයේ දහම් පාසල් පොත්පත්වලත්, පාසල තුළ බුද්ධ ධර්මය පෙළ පොත්වලත් සඳහන් කොට තිබෙනවා. ඒවා කට පාඩමින් කියන්නට ඉගෙන ගෙන ඇති බවත්, විභාග ආදියට මුහුණදීමට මතකයේ තබා ගත යුතු කරුණු පෙළක් හැටියටත්, යම් වූ පිරිසක් සිතන බවත් පැහැදිලියි. වැඩිහිටියෙක්, සමහර විටක මේ කියවන ඔබ විය හැකි ය. එවන් කෙනෙකුගෙන් අප විමසූ විටක ‘අරහං’ බුදුගුණයේ තේරුම කුමක් දැයි බොහෝ පිරිසක් පවසන්නේ, මෙවැනි අදහසකි. එනම් රහසින්වත් පව් නොකළ නිසා, සියලු කෙලෙස් දුරුකළ නිසා, සියලු කෙලෙස් සතුරන් නැතිකළ නිසා, සියලු දෙව් බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ නිසා ‘අරහං’ නම් වන සේක යනුවෙනි.

මෙය වැරැදි යැයි පවසන්නේ නැත. මෙම අදහස්වල සත්‍යතාවයක් යම් වූ ආකාරයකින් පවතින්නේ ය. එනමුත් රහසින්වත් පාපයක් කළේ නැත යන අදහස සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන පැවසීමට සුදුසු නොවන අදහසකි. තථාගත බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් මුළුමනින් ම ප්‍රහාණය කළ උතුමෙකි. එවැනි උතුමෙකුගේ චරිතය ගැන පවසන විට රහසින්වත් පාපයක් නොකළේ ය, යන අදහසක් පැවසීම සුදුසු නොවන්නේ ය.

එනමුත් අශ්‍රැතවත් පෘතග්ජන සිත්වල පවත්නා කෙලෙස් ස්වභාවය මතුකොට පෙන්වාදීමට, සාමාන්‍ය පුද්ගලයන් රහසින් පව් කළත් බුදුරජාණන් වහන්සේ එසේ ද කළේ නැත කියන අදහස මතුකොට පෙන්වා දීමට උත්සාහ කළා විය හැකි ය. කෙසේ වෙතත් ‘අරහං’ යන බුදුගුණයේ අදහස නම් සුදුසුය යන්නයි. කාට සුදුසු ද? කුමක් නිසා සුදුසු ද? භාග්‍යවතුන් වහන්සේ මේ භව චක්‍රයේ පවතින දුකින් පිරුණු බව, භයානක බව, ඝෝර බව, කටුක බව, විනිපාත හෙවත් බලවත් ලෙස දුක්විඳින්නට සිදුවන ආකාරය, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත ආදී ඥානයන්ගෙන් අවබෝධ කරගත් සේක. තමන් වහන්සේ මෙන් ම සියලු සත්වයෝ ම අතීත සංසාර ගමනේ අප්‍රමාණ දුක්විඳි බව අවබෝධකොටගෙන සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් ඒ බව දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව

“තිබ්බං පච්චනුභූතං
ව්‍යසනං පච්චනුභූතං කඨසි
වඩ්ඪිතා දීඝරත්තංවො භික්ඛං
දුක්ඛං පච්චනුභූතං”

ඔබ හැම කෙනෙක් ම මහත් සේ ව්‍යසනයන්ට පත්ව සිටියහ. දැඩි ලෙස දුක් වින්දහ. මියැදුණු සිරුරුවලින් මහපොළොව සුසානයක් කොටගත්තෝ ය. දීර්ඝ කාලයක් පුරා අනන්ත සංසාර ගමනේ දුක්විඳ ඇත්තෝ ය.

එසේ නම් මේ දුකින් පිරුණු, භයානක වූ, ඝෝර වූ භවය සකස් වන්නේ තෘෂ්ණාව නිසා ය. එම තෘෂ්ණාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සඳහන් කළොත් රාග, ද්වේෂ, මෝහ වශයෙනුයි. එනම් ඇලීම්, ගැටීම්, මුලාව ලෙසිනි. භාග්‍යවතුන් වහන්සේ දුකින් පිරුණු භවය සකස්වෙන රාග, ද්වේෂ, මෝහ නම් වූ මේ තෘෂ්ණාව මුළුමනින් ම බැහැර කළ සේක. එබැවින් සියලු දෙවි බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු ය. ‘අරහං’ බුදුගුණයෙන් යුක්තවන සේක. මහ සයුරට වඩා වැඩි ගුණ සයුරක් ඇති තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණ වචන කීපයකින් සඳහන් කළ නොහැකි ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණය නිසි ලෙස ම පැවසිය හැකි වන්නේ, එවැනි ම තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණකි. එනමුත් අපට වැටහෙන ආකාරයෙන් බලවත් වූ ශ්‍රද්ධා ගෞරවය සිත් හි දරාගෙන තථාගත බුදුරජාණන් වහන්සේගේ ‘අරහං’ බුදුගුණය ඉතා ම කෙටියෙන්, සඳහන් කරන්නට යෙදුණා.

අප විසින් ‘අරහං’ බුදුගුණය පිළිබඳ ව යම් වූ ද දැනුමක් ලබාගත් බව පැහැදිලියි. යම් වූ ද ශ්‍රද්ධාවෙන් යුතු සිතිවිලි පෙළක් අපේ සිතෙහි පවතින බව සැබැයි. එහෙත් තවමත් සැබෑ බුද්ධ පූජාවක් හෝ භාග්‍යවතුන් වහන්සේට කරන ගෞරවයක් සිදුවී නැත. එයට හේතුව කුමක් ද? නිදසුනකින් මෙය විස්තර කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ දහම් පෙළක් මෙම සූත්‍ර දේශනාවෙහි සඳහන් වේ. “සංඝාටි කන්න සූත්‍ර දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.

යම් අයෙක් භාග්‍යවතුන් වහන්සේට හිතවන්තයි, ලෙන්ගතුයි. ගෞරව කරන්නේ යැයි පවසමින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරේ කොනක් අල්ලාගෙන භාග්‍යවතුන් වහන්සේ තබන පියවර මත ම තබමින් ගමන් කරන්නේ ය. එනමුත් ඔහු හෝ ඇය ධර්ම විනයෙහි අනලස් ව සිටින්නෙකි. එනම් ධර්ම විනය අනුගමනය නොකරන, ධර්ම විනය අනුගමනය කිරීමෙන් ඵල නොලබන පුද්ගලයෙකි. මෙසේ හෙයින් මේ පුද්ගලයා කායික ව භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ සිටියත්, භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක කොනක් අල්ලාගෙන සිටියත්, භාග්‍යවතුන් වහන්සේට සමීප නොවන පුද්ගලයෙක් බවත්, භාග්‍යවතුන් වහන්සේට හිතවන්ත නොවන බවත්, භාග්‍යවතුන් වහන්සේට ගෞරව පූජා නොකරන බවත් එම සූත්‍ර දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ ය.

එසේ සඳහන් වන පරිදි යමෙක් භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නේ යැයි සිතා යොදුන් සියයක් ඈතක සිටියත්, ධර්ම විනය අනුගමනය කරමින් එසේ අනුගමනය කොට චිත්ත සමාධිය බලවත් ලෙස පවත්වාගෙන කෙලෙස් සංසිඳවන මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක් නම්, එසේ නැතිනම් කෙලෙස් සංසිඳ වූ පුද්ගලයෙක් නම්, එම අය භාග්‍යවතුන් වහන්සේ නියම ආකාරයෙන් පූජා කරන්නෝ වෙති. භාග්‍යවතුන් වහන්සේට හිතවන්ත බවත්, භාග්‍යවතුන් වහන්සේට ඉහළම ගෞරවය දක්වන බවත් දේශනා කළ සේක.

මෙම දහම් කතාවෙන් අප ගන්නා වූ පාඩම කුමක් ද? එනම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට වී හෝ වර්තමානයේ ආකාරයට බුදුපිළිරූ වහන්සේ නමක් අභියසට වී අනවබෝධයෙන් යුක්ත ව දැනුමක්, තේරුමක්, අවබෝධයකින් තොරව සජ්ඣායනා කරන ගාථා පෙළකට වඩා එක ද බුදු ගුණයක් වූවත් දැනුම ඇති කරගෙන, අවබෝධයෙන් යුක්තව මෙනෙහි කරමින් ඒ බුදුගුණය, ඒ සද්ධර්ම මාර්ගය, ආර්යයන් වහන්සේලා වැඩම කළ මඟ තමාගේ සිතට නගා ගැනීම නොවේ ද?

එසේ සිතට නගා ගැනීමෙන්, ඒවා ක්‍රියාත්මක කිරීමෙන්, අරමුණුවල නො ඇලී, නොගැටී, රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සංසිඳවීමෙන් ලබන්නා වූ ඵලය නොවේ ද? මෙය අනුපූර්ව ක්‍රමයට සිදු කළ යුතු දෙයකි. පළමුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ඇතිකරගත්තා වූ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමයි. ශ්‍රද්ධාව හෙවත් පැහැදීම දියුණු කර ගන්නා තැන භාග්‍යවතුන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ ම උපකාර කර ගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්හ.