Print this Article


සම්බුදු ගුණමහිම : බුදු ගුණ අනන්තයි

බුදු ගුණ අනන්තයි

ඉකුත් වසරේ වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 48

තථාගතයන් වහන්සේ සියලු සමාපත්ති බල අතහරිමින් උපවත්තන සල් උයනේ සල් ගස් දෙකක් අතර ඒ මහා පොළව කම්පා කරමින් පරිනිර්වාණයට පත් වුණා. පරිනිර්වාණ ධාතුවට පත්වීමෙන් දින හතක් ඇතුළත ශ්‍රී සම්බුද්ධ දේහයට අනේක දෙනෙක් ගෞරව බුහුමන් දැක්වූවා. සඳුන් ලීයෙන්, සඳුන් දරින් සැකසූ සෑයක ශ්‍රී බුද්ධ දේහය තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී අධිෂ්ඨාන කරනවා, අධිෂ්ඨාන වර්ග කිහිපයක්.

උන්වහන්සේ මේ ලංකාද්වීපයත්, බුද්ධ ශාසනයත්, බෞද්ධ ජනතාවත් බාරකළා කාටද? සක්දෙව් රජ්ජුරුවන්ට.

“පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං”

ශක්‍ර දේවේන්ද්‍රය, මගේ ශාසනය මතු අනාගතයේ ලංකාවේ පිහිටනවා. නුඹගේ පිරිවර සම්පත්තිය සමඟ පැමිණ එය රකින්න. ආරක්ෂා කරගන්න කියලා බාර කරනවා.

තවද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිෂ්ඨාන 05 ක් උන්වහන්සේ පැතුවා.තුනක් ම බෝධින් වහන්සේ වෙනුවෙන්. එකක් ථූපාරාම චෛත්‍යරාජයාණන් වෙනුවෙන්, ඊළඟට රුවන්මැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන්, ඒ වාගේ ම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ ධාතුන් වහන්සේලා එක එක ආකාරයෙන් බෙදන්ට උන්වහන්සේ අධිෂ්ඨාන කළා.

දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ වෙල්යායක් මැදින් වඩින විට එක්තරා ගොවියෙක්, එක්තරා තැනකට වන්දනා කරලා තමයි කුඹුරුවැඩ ආරම්භ කරන්නේ. ඒ වේලාවේ දී මේ ගොවියා ගෙන්වාගෙන අසනවා කුමන කාරණාවක් නිසා ද මේ වඳින්නේ කියලා. එතුමා කියනවා ‘මම නම් හේතුවක්, කාරණාවක් දන්නේ නෑ. එය අපේ පරම්පරාවෙන් කෙරෙන චාරිත්‍රයක් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කරන්නේ ‘සැබැවින්ම මේ ස්ථානය වඳින්ට පුදන්ට සුදුසු තැනක් . හේතුව අහනවා. මීට පෙර ලොව පහළ වී වදාළ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒක ඝන සර්වඥ ධාතුන් වැඩහිටි චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිවුණේ මේ ස්ථානයේ. අද ඒ චෛත්‍ය පොළව යටට කිඳා බැහැලයි තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා මේ චෛත්‍ය බලන්න ආසයි කියලා ,බුද්ධ අධිෂ්ඨානය මතුකළා .දින 07 ක් අහසේ පෙනෙන්ට පටන් ගත්තා. ඒ වේලාවේ දී බුදුපියාණන් වහන්සේ වදාළා.

වඳින්ට පුදන්ට සුදුසු බුදුරජාණන් වහන්සේට, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට තණ්හා දිට්ඨි මාන ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත් වූ උතුමන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරනවා නම්, ගෞරව කරනවා නම්, බුහුමන් දක්වනවා නම් ලැබෙන කුසලය’,

මෙපමණ මෙපමණ කියලා කිසිම කෙනෙකුට කියලා නිම කරන්නට බෑ. අප්‍රමාණ පින් වැඩෙන කුසලයක්. බුදු ගුණ ආවර්ජනාවෙන් දහම් ගුණ, සඟ ගුණ ආවර්ජනාවෙන් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් වැඩියත් ජීවමානයි කියන හැඟීමෙන් පාරිභෝගික ,උද්දේසික, ශාරිරික චෛත්‍යවලට වන්දනා කරන්න යන අදහසයි.

බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිතින් සිතලා නිමකළ නොහැකියි. අචින්තනීය යි. මේ අචින්තනීය වූ බුදුගුණ කෙරෙහි , දහම් ගුණ – සඟ ගුණ කෙරෙහි යම්කෙනෙක් පැහැදෙනවා ද? අචින්තනීය විපාක ලැබෙනවා. සිතින් සිතලා නිම කරන්න බැරි අප්‍රමෙය්‍යය අනුසස් ලැබෙනවා.

මේ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යම් පූජාවක් කරන්නේ ද බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් එසේ ම ඒ සම ශ්‍රද්ධාවෙන්, සීලයේ පිහිටුවාගෙන එවැනි වන්දනාවක්, ගෞරවයක් කරනවා නම් ලැබෙන ආනිසංස තමයි එය හේතු කරගෙන ස්වර්ග සම්පත් කෙළවර නිවන් සම්පත් අවබෝධ වෙනවා කියන වග. ඒ වාගේ ම, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා චෛත්‍යයක් නිර්මාණය කරන්න ඕන උතුමන් වහන්සේලා හතර දෙනෙක් ගැන. ඒ වාගේ ම ථූපාරහ සූත්‍රයේ සඳහන් වෙනවා.

‘තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ථූපාරහෝ’

මහණෙනි තථාගත අරිහත් ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසු උන්වහන්සේ පරිභෝග කළ දෙයක් හෝ ශාරිරික දෙයක් හෝ තැන්පත් කරලා චෛත්‍යයක් හදල පූජා කරන්ට සුදුසුයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

‘පච්චේක බුද්ධෝ ථූපාරහෝ්’ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේගේ ධාතු නිදහිත චෛත්‍යයක් කරවන්න සුදුසුයි. ‘

අනන්ත බුදුගුණ සාගරය තුළ කිඳා බැස්සොත් බුදුගුණ මෙච්චරයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. අනන්ත වූ බුදුගුණ අපි මෙසේ ආවර්ජනා කරමු.