Print this Article


සත්පුරුෂ උතුමෝ

සත්පුරුෂ උතුමෝ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

න භජෙ පාපකෙ මිත්තෙ - නභජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ

සුපින්වත්නි,

සකල සතවෙත පතළ මහා කරුණා ගුණ ඇති, ලොව දතයුතු සියල්ල දත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහ වෙහෙර වැඩවසන සමයෙහි ඡන්න තෙරුන්ගේ අකටයුතු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

අප මහ බෝසතාණන් ගිහි සැප අත්හැර අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේ සහාය වශයෙන් සිටියේ ඡන්න නම් ඇමැති හා කන්ථක නම් අශ්වයා බව ප්‍රකට කාරණයකි. බෝසතාණන් වහන්සේ බුදුබව ලබාගත් පසු ද, බුදු සසුනේ පැවිදි ව සිටිය නමුත්, ගිහිකල පැවති රළු හැසිරීම් තව තවත් වැඩිවිය. සැරියුත් මුගලන් ආදී අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දොස් කියා තමාගේ උසස්කම හැඟවීමට උත්සාහ ගන්නේ අප බුදුරජාණන් වහන්සේ ද ‘මහණෙනි’ මා දිවමන් තෙක් ඡන්න හික්මවිය නොහැකි යැයි වදාළ සේක.

බුදුරදුන් පිරිනිවන් පාන දවස ආනන්ද තෙරුන්වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඡන්න භික්ෂුවට ‘බ්‍රහ්මදණ්ඩය’ පනවන්නට අවසර දී වදාළ සේක. මෙම දඬුවමෙන් මානසික වශයෙන් පීඩාවට පත් ඡන්න භික්ෂුව ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වී භාවනාකොට රහත්ඵලයට පැමිණි සේක. මෙම කාරණය නිමිතිකරගෙන උතුම් කලණ මිතුරන් ආශ්‍රය නිශ්‍රය කිරීමෙන් වන උභයාර්ථ සිද්ධිය විස්තර කොට වදාළ සේක.

අප බුදුරජාණන් වහන්සේ අතිදීර්ඝ කාලයක් ජීව ලෝකය ගැන ප්‍රත්‍යක්ෂඥානයෙන් දැන විශේෂයෙන් මානව සමාජයේ හැසිරීම හා පැවැත්ම පිළිබඳ ව දේශනා කළ සූත්‍ර ගාථා සිය දහස් ගණන් ඇත. මිනිසාගේ පැවැත්ම සඳහා

ලබන දැනීමත්, අත්දැකීමත් සකස්වීමට ප්‍රධාන කාරණා දෙකක් හේතු භූත වන්නේ ය. සංසාරගත දැනීම, පුරුද්ද සහ උපන් සමාජගත දැනීම හා පුරුද්දයි.

සත්වයෙකුගේ උපත හා ජීවිතය අතීතයේ අති දීර්ඝකාලීන කුසලා කුසල ප්‍රතිවිපාක වශයෙන් ශාරීරික මානසික පැවැත්ම අනුව තහවුරු වන්නේ ය. එම අතීත සංඛාර ධර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් උපන් සමාජ පරිසරයේ බලපෑම ද මූලාධාර වන්නේ ය. මේ නිසා හැකිතරම් දුරට පුද්ගලයාගෙන් සමාජ පරිසරයටත්, සමාජ පරිසරයෙන් පුද්ගලයාටත් බලපාන සම්බන්ධතාවයේ ස්වභාවය අනුව මිනිසෙක්, පවිටෙක් හෝ අධමයෙක් හෝ එසේ ම කල්‍යාණ මිත්‍රයෙක් හෝ පුරිසෝත්තමයෙක් වන්නේ ය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්කල්නුවණින් බලා සර්වකාලීන වශයෙන් මිනිස් සමාජය විවිධාකාරයෙන් වෙන්කොට එයින් වන යහපත හා අයහපත සමාජ විද්‍යාත්මක ව දේශනා කොට වදාළ සේක. මිනිසාගේ ක්‍රියාකාරීත්වය මිනිස් සමාජය ම පදනම් කරගෙන ක්‍රියාත්මක වන අතර, වෙනත් දිව්‍ය, බ්‍රහ්ම, නාග යක්ෂාදී ජීවීන් සම්බන්ධ කිරීම හෝ, තුලනය කිරීම හෝ අනවශ්‍ය වන්නේ ය. මානව සමාජයේ යහපත හෝ අයහපත පවතින්නේ මිනිස් සමාජයේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වී සමස්ත විශ්වය ම තමන් වහන්සේගේ බුද්ධිබලයට යටපත් කරගැනීමට හැකි වුව ද පන්සාළිස් වසරක් මුළුල්ලෙහි වැඩ සිටියේ මෙම කාම ලෝකයට අයත් මනුලොව සංකීර්ණ සමාජයක ය. මේ නිසා මිනිසා විසින් මිනිසා හඳුනාගෙන ක්‍රියා කිරීම උත්තම තම මානව සේවයයි.

සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, අංගුත්තර නිකාය, ආදී දේශනාවලින් මිනිසා කායික වශයෙන් සමාන වුව ද, එකිනෙකාට වෙනස් ව හඳුනා ගැනීමේ ලක්ෂණයන් ද මානසික වශයෙන් එකිනෙකාට දුරස්ථවන අයුරු ද විග්‍රහ කෙරෙන්නේ ය. එම වෙන් කරන සංකීර්ණ ධර්මයන් මිනිසා විසින් ම, නිර්මාණය කරගත් ඒවාය. වෙනත් ජීව බලයකින් ආරෝපණය කරගත් දේ හෝ හසුරුවන බලවේග හෝ නො වන්නේ ය.

උපන්දා සිට සෙසු සත්ත්වයන්ගේ ඒකායන අපේක්ෂාව ජීවන රටාව සකස් කරගැනීම ය. එහෙත් මිනිසා වෙනස් ය. ඔහුට ජීවනයත්, ධර්මයත්, දෙක ම එකසේ අත්‍යවශ්‍ය වන්නේ ය.

නිහීයතී පුරිසො නිහීන සේවී
නච හායෙ ථ කදාචි තුල්‍ය සේවී
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරිං භජෙථාති

උපත හා මරණය තනි තනි ව සිදුවෙයි. නමුත් ජීවත්වීමට සිදුවන්නේ සමාජයක් සමඟ ය. මිනිසාගේ ජීවනය යනු තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ශ්‍රමය භාවිත කිරීමකි. මෙම කාරණයෙහිලා මිනිසාට ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වන්නේ ය.

සමාජය හඳුනා ගැනීම, තමාගෙන් සමාජයට යමක් පරිත්‍යාග කිරීම හා තමාගේ දෙලොව යහපත සලසා ගැනීම ය. සමාජයෙන් දැනුමක් ලබා ප්‍රථමයෙන් තමා විසින් තමා හඳුනාගෙන එයට සාපේක්ෂ ව සමාජය හඳුනාගත යුතු වන්නේ ය. සමස්ත වශයෙන් මිනිසා හඳුනා ගන්නා පොදු මිණුම් දණ්ඩක් නැතිවුව ද, ආගම්, දර්ශන හා අත්දැකීම් තුළින් සමාජය හඳුනාගෙන පුද්ගලාන්තර ව ආශ්‍රය, භජනය, කළයුතු වන්නේ ය.

හොඳ නරක දැන ගන්නේ, දැනගෙන නරක අයින්කොට හොඳ දේ ක්‍රියාත්මක කරන්නේ සාධු සත්පුරුෂ ගති ඇති උත්තම පුරුෂයා ය. කෙනෙකුගෙන් කෙනෙකුට උතුම් මානව හැඟීම් සම්ප්‍රේෂණය වන්නේ ශ්‍රේෂ්ඨ ගතිගුණ නිසාම ය. එවන් උදාර ගතිගුණ සෑම දෙනාට ම එකසේ පිහිටන්නේ නැති නිසා සත් පුරුෂයෝ කෝටි සංඛ්‍යාත ජනසමාජයේ ඉර හඳ සේ විරාජමාන වන්නෝ ය.

බුදු, පසේබුදු, මහරහත් යන උත්තම තම පුරුෂයෝ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උපරිම තලයට පත් වී ඇති බැවින්, මොහොතකට හෝ ආශ්‍රය, නිශ්‍රය, භජනය පයිරු පාසනය කරන්නට සෑමදාම සෑම කෙනෙකුට වාසනා මහිමයක් නැත.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපරිම මානසික විශ්ලේෂණය අනුව මානව සමාජය හඳුනාගෙන, හැකිතරම් දුරට ශීලා දී ගුණයන් තමාට සමාන ව හෝ තමන්ට වඩා හෝ ඇති හිතමිත්‍රාදීන් ආශ්‍රය භජනය කිරීමෙන් මෙලොව පරලොව යහපත හා සසර කතරින් එතෙර ව ලබන ශාන්ත සුන්දර අමාමහ නිවන් සම්පත් ලබන්නට ඔබ සෑම දෙනාම උත්සාහ ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි