Print this Article


නොපසුබට උත්සාහය

නොපසුබට උත්සාහය

" චුල්ලන්තේවාසික තමාට ලැබුණු මල් විකුණා ලැබුණු මුදලින් නැවත හකුªරු ද, පැන් ද රැගෙන යළිත් ගියේ ය. එදින මල්කරුවන් සතුටට පත්ව අඩක් මල් කඩා ගත් මල් ගස් ඔහුට පැවරූහ. ඒවායෙහි ඉතිරි ව තිබු මල් කඩා ගත් චුල්ලන්තේවාසික ඒවා විකුණා කහවණු අටක් උපයා ගත්තේ ය."

බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි අප මහා බෝසතාණෝ සිටු කුලයක චුල්ල නමින් ඉපිද නිසි වයසට පත් වූ කල්හි දිසාපාමෙක් ඇදුරු වෙත ගොස් ශිල්ප ශාස්ත්‍ර ද, නිමිති ශාස්ත්‍රය ද ප්‍රගුණ කළහ. තරුණ වියේ දී කුමරු චුල්ලසෙට්ඨි (චුල්ල සිටාණෝ) යන නමින් ප්‍රසිද්ධ විය.

දිනක් චුල්ල සිටාණන්ට මළ මීයෙකු දක්නට ලැබිණ. එය අස්වාභාවික සිද්ධියක් නිසා ඒ වෙලාවේ නැකත් විමසා බැලූ කල්හි සුබ නැකතක් උදා වී ඇති බව දුටු එතුමා

”නුවණැති මිනිසෙකුට මේ මී කුණෙන් වුවත් දියුණු ව අඹු දරුවන් පෝෂණය කරමින් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. යැයි ප්‍රකාශ කළේ ය.

සිටාණන්ගේ මේ ප්‍රකාශය දුප්පත් මිනිසෙකු වූ චුල්ලන්තේවාසිකට ඇසුණි. “සිටාණෝ නුවණැති ය. පරාර්ථකාමී ය. ඔහු යමක් ප්‍රකාශ කරන්නේ හරයක් ඇතිව ය” සිතූ ඔහු මී කුණ රැගෙන ගියේ ය.

එදින පොහෝ දිනයක් බැවින් රජ ගෙදර බළලාගේ ආහාරය පිණිස මස්, මාළු කිසිවක් නො වී ය. බළලාට දීමට මස් ටිකක් සොයන රාජ පුරුෂයෙකුට මී කුණ විකුණා චුල්ලන්තේවාසික සුළු මුදලක් ගත්තේ ය.

චුල්ලන්තේවාසික එම මුදලින් උක් හකුරු ද, කළයක් ද මිල දී ගෙන කළයෙහි පැන් පුරවා, වනයෙන් මල් කඩාගෙන එන මල්කරුවන්ට හකුරු සහ පැන් දුන්නේ ය. ඔවුන්ගේ පිපාසය සංසිඳුණි. මල්කරුවෝ ඔහුට මල් මිට බැගින් දුන්හ. චුල්ලන්තේවාසික තමාට ලැබුණු මල් විකුණා ලැබුණු මුදලින් නැවත හකුªරු ද, පැන් ද රැගෙන යළිත් ගියේ ය. එදින මල්කරුවන් සතුටට පත්ව අඩක් මල් කඩා ගත් මල් ගස් ඔහුට පැවරූහ. ඒවායෙහි ඉතිරි ව තිබු මල් කඩා ගත් චුල්ලන්තේවාසික ඒවා විකුණා කහවණු අටක් උපයා ගත්තේ ය.

දිනක් ඒ ප්‍රදේශයෙහි තද වැසි සුළඟක් හමා ගියේ ය. වියළි දඬු හා අතුපත් කඩා වැටීමෙන් රජ උයන අපිරිසුදු විය. උයන ඉක්මණින් පිරිසුදු කර ගැනීමට උයන්පල්ලා අපොහොසත් විය. චුල්ලන්තේවාසික උයන්පල්ලා වෙත ගොස් වියළි දඬු හා අතු දර තමාට ලබා දෙන්නේ නම්, උයන ඉක්මණින් පිරිසුදු කර දෙන බව කී ය. උයන්පල්ලා ඊට සතුටු විය.

චුල්ලන්තේවාසික ළමයින්ගේ ක්‍රීඩා පිටියට ගොස් ළමයින්ට හකුරු බෙදා දී ඔවුන් ලවා වියළි දඬු හා අතුපත් උයන් දොරටුව අසළ ගොඩ ගැස්වී ය.

නගරයේ වළං පිළිස්සීමට දර හිඟ විය. හෙතෙම දර සොයමින් යනවිට උයන් දොරටුෙවි දර ගැන ආරංචි ව දර සියල්ල ම චුල්ලන්තේවාසිකගෙන් මිල දී ගත්තේ ය. එයින් ඔහුුු කහවණු දහසයක් ද, සැළි කිහිපයක් ද ලබා ගත්තේ ය.

පසුදින දිය සැළියක් පුරවා ගත් චුල්ලන්තේවාසික නගර දොරටුව අසළ රැඳී සිට නගරයට තණකොළ ගෙන එන පිරිසට හකුරුත් සමඟ පැන් දුන්නේ ය. තණකොළ ගෙන එන්නෝ ඔහු සමඟ බෙහෙවින් මිත්‍රව ”ඔබ අපට බොහෝ උදව් කරන්නෙක්. අපෙන් ඔබට යමක් වූ විට දන්වන්න’යි කී ය.

මෙසේ කලක් ගතවන විට චුල්ලන්තේවාසිකට බොහෝ මිතුරෝ වූ හ. දිනක් අස් වෙළෙන්දෙකු අසුන් පන්සියයක් රැගෙන නගරයට එන බව මිත්‍රයෙකුගෙන් ඔහුට දැන ගන්නට ලැබිණි. ඔහු වහා තණකොළ සපයන්නවුන් හමුවීමට ගොස් තණකොළ ලබා ගත්තේ ය. අස් වෙළෙන්දා තණකොළ සොයා ගැනීමට නගරයේ නොයෙක් තැන ගිය ද, ඔහුට තණකොළ සොයා ගත නො හැකි විය. අන්තිමේ දී චුල්ලන්තේවාසිකට කහවණු දහසක් ගෙවා තණකොළ මිල දී ගත්තේ ය.

ටික දිනකට පසු වරායට වෙළෙඳ නැවක් පැමිණෙන බව මුහුදු වෙළෙඳාම් කරන මිත්‍රයෙකු චුල්ලන්තේවාසිකට දැන්වී ය. පැමිණෙන දිනය දැනගත් චුල්ලන්තේවාසික නැව වරායට ළඟා වන දිනයෙහි සැප පහසුකම් ඇති රථයක් කුලියට ගෙන දිනපතා කුලියට වැඩ කරන කම්කරුවන් කීප දෙනෙකු ද සොයා ගෙන නැවේ ප්‍රධාන වෙළෙන්දා හමු වී “මම ඔබගේ නැවෙහි සියලුම වෙළෙඳ බඩු මිලදී ගන්න කැමැතියි පවසා අත්තිකාරම් මුදලක් ගෙවා ඉතිරි මුදල් බඩු ගෙන යනදින ලබා දීමට පොරොන්දුව නික්ම ගියේ ය.

පසුව චුල්ලන්තේවාසික වරායට කිට්ටු ස්ථානයක විශාල නිවසක් කුලියට ගත්තේ ය.

වෙළෙඳ නැවක් නැව් තොටට පැමිණි බව අනෙක් වෙළෙන්ඳන්ට ආරංචිව නැවෙන් බඩු මිල දී ගැනීමට වහා ම වරායට පැමිිණියෝ ය. ධනවත් වෙළෙන්දෙකු පැමිණ නැවේ බඩු සියල්ල සඳහා ම අත්තිකාරම් මුදල් බැඳ ඇති බව ඔවුහු පැවසූහ. එනිසා වෙළෙන්දෝ ධනවත් වෙළෙන්දා හමුවීමට ගියහ.

”නැවේ තිබෙන බඩු විකුණනවා. හැබැයි ගන්න කැමැති අය මුලින් ම කහවණු දෙ දහස බැගින් අත්තිකාරම් මුදල් ගෙවන්න ඕනෑ” යි චුල්ලන්තේවාසික කී ය.

මෙසේ චුල්ලන්තේවාසික තෙමේ ඒ වෙළෙඳාමෙන් කහවණු දෙ ලක්ෂයක් ධනය උපයා ගත්තේ ය. මෙ තරම් ධනයක් උපයා ගත්තේ වෙළෙදාමෙන් බවත්, වෙළෙඳාම පටන් ගත්තේ මී කුණක් විකිණීමෙන් බවත්, ඔහු මෙනෙහි කළේ ය. එයින් ඔහුගේ සිතෙහි බලවත් පී‍්‍රතියක් ඇතිවි ය. තමාට දියුණුවීමට මඟ පෙන්වූයේ චුල්ල සිටාණන් බව සිහිපත් ව එතුමා හමු වී කළගුණ දැක්වීමට සිතා හමුවීමට ගියේ ය.

සිටාණන් මේ පුද්ගලයාගේ කතාව අසා පුදුම විය. ඔහුගේ දක්ෂතා ගැන පැහැදී තම දියණිය සරණපාවා දී සිටු තනතුර ද පිරිනැමී ය.