Print this Article


වක්කලි මහ රහතන් වහන්සේ

වක්කලි මහ රහතන් වහන්සේ

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධා විමුක්තීන් අතර අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ ය. අනෙකුත් බොහෝ ශ්‍රාවකයන් මෙන් උන්වහන්සේ ද පදුමුත්තර බුදුරදුන්ගේ අවධියේ දී විවරණය ලබා දාන ආදි මහා පින්කම් අසීමිත ලෙස සිදු කරමින් මේ අග තනතුර ලැබීම සඳහා මහත් උත්සාහයෙන් ක්‍රියා කර විවරණ ලැබූ සේක.

ගෞතම බුදුරදුන් ලොව පහළ වීමත් සමඟ බ්‍රාහ්මණ කුලයේ උප්පත්තිය ලැබූ මේ වක්කලි හිමියන් එක් දිනක් පිඬුසිඟා වඩින බුදුරදුන් දුටුසේක. ඒ බුදුරදුන්ගේ රූපශ්‍රීය පිළිබඳ දැඩි ඇල්මක් දැක් වූ ඒ බ්‍රාහ්මණ කුමරු බුදුරදුන්ගේ රූපය දැකීමේ බලවත් ආශාවෙන් උන්වහන්සේ පසු පස විහාරයට ගමන් කළේ ය.

බුදුරදුන් විවේක සුවයෙන් කල්ගත කරන සමයෙහි, දම් දෙසන සමයෙහි, වෙනත් ඉරියව්වක් ගත කරන විටත් බුදුරදුන් දෙස බලමින් සිටීමටම දැඩි උත්සාහයක් ගත්තේ ය. බුදු සිරුර දැකීමට අපමණ සිත් ඇතිව ආහාර ගැනීම, නිදාගැනිම හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවක යෙදීමට වඩා බුදු සිරුර දකිමින් සිටීම සඳහා තදබල ආශාවකින් ක්‍රියා කිරීම මෙම තරුණයාගේ දෛනික චර්යාව විය.

උතුම් වූ බුදුකෙනෙකුන් කෙරෙහි සිත් ඇද ගන්නා වර්ණනීය කරුණු තුනකි. අතීත චරිත කතාව, ශරීර ලක්ෂණ සහ බුදුරදුන් සතු වූ ගුණය යනුවෙන් දැක්වෙන්නේ ඒ කරුණු ය. ඒ අතුරින් බුදුවරයෙකුගේ අතීත ආත්ම ගත කළ ආකාරය පැහැදිලි කෙරෙන චරිත කතාව ඉතාමත් වැදගත් ය . මනුෂ්‍ය ආත්මයක් හෝ දේවාත්මයක් නොවේ නම්, වෙනත් තිරිසන් ආත්මයක් ලබා සිටියත් ඒ තත්ත්වයේ ජීවත් වන අන් අයට වඩා ගුණ නුවණ හා වෙනත් ආකල්පයන්ගෙන් උසස් වූ තත්ත්වයක් බෝසතුන් තුළ පැවතුණහ . පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඒ බව මනා ලෙස පැහැදිලි කර දී තිබේ.

සියලු කෙලෙස් නසා බුද්ධ රාජ්‍යයට පත් වීමත් සමඟ උන්වහන්සේ තුළ ඇති ගුණ මෙපමණ යැයි සඳහන් කිරීම අපහසු ය. අරහං ආදි නවගුණ පාඨයෙන් විද්‍යමාන ඒ උතුම් ප්‍රධාන ගුණ නවයක් පමණ ය. තවත් වර්ණනා කළයුතු ශරීරයේ පිහිටා ඇති ලක්ෂණ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූවක් පමණ වූ අනූ ව්‍යඤ්ජන ලක්ෂණයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය උපලක්ශිත ය. මෙයට බොහෝ දුරට සමාන වූ ශරීරයක් ඇත්තේ සක්විති රජකෙනෙකුට පමණ ය. ශාසන ඉතිහාසය විමසන කළ බොහෝ අන්‍යාගමිකයන් පළමුව බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිව තිබෙනුයේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් නොව ශරීර ලක්ෂණ දක්නට ලැබීමෙන් බව සුපැහැදිලි ය . උගත් ද්‍රෝණ බමුණා පළමුව ශරීර ලක්ෂණයන්ට පැහැදී, පසුව බුදුරදුන් වෙත පැමිණ සාකච්ඡා කළ බව ද්‍රෝණ සූත්‍රය පැහැදිලිව පෙන්වා දී තිබේ. පසුව විරුද්ධ කම් කළ මාගන්ධිය බමුණා වුවත් පළමුව බුදුරදුන්ගේ සිරුරට බෙහෙවින් පැහැදුණේ ය.

බුදු සිරුර දැකීමට දැඩි කැමැත්තක් දැක් වූ වක්කලී තරුණයා පැවිද්ද ලබා ගනු ලැබුවේ ද පිළිවෙත් පුරා සසර සයුරෙන් එතෙර වීමේ පරමාර්ථයෙන් නොව වඩාත් සමීපව සම්බුදු සිරුර බැලීමට පහසුය යන හැඟීම නිසාවෙනි . පසුව සැවැත්නුවර සිට වස් එළැඹීම සඳහා බුදුරදුන් රජගහනුවරට වඩින විට මෙම වක්කලී හිමියන් උන්වහන්සේ පසුපස ම වැඩම කරමින් කලින් මෙන්ම බුදු සිරුර දෙස බලමින් කල් ගත කරන්න පටන් ගත්තේ ය.

බුදුරදුන් එක් අවස්ථාවක වක්කලි හිමියන් අමතා කිං තෙ වක්කලි ඉමිනා පූතිකායේන දිඨෙටථ යනුවෙන් වක්කලී ඔබට මගේ මේ කුණු ශරීරය බලා සිටීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? යනුවෙන් පවසා ඔබට මා හරිහැටි දකින්නට ඕනෑනම්, මා දේශනා කළ ධර්මය හරි හැටි දකින්න යැයි ඉතා ගැඹුරු වූත්, අර්ථවත් වූත් අවවාදයක් දුන්හ. මෙයින් ද වක්කලි හිමියන්ගේ ඉරියව්වෙහි වෙනසක් නොවූ හෙයින් වහා මෙතනින් පිටව යන ලෙස නියම කළහ.

බුදුරදුන් දැකීමට නොලැබී යාමනිසා වේදනාවට පත් වක්කලි හිමියන් අනතුරුව ගිජ්ඣකූට පර්වතයට නඟින ලද්දේ එයින් පැන සිය දිවි තොර කර ගැනීමේ බලවත් අධිෂ්ඨානයෙනි. මේ බව දිවැසින් දුටු බුදුරදුන් බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා තමා එහි වැඩ සිටින ආකාරය දකින්නට සලස්වා වක්කලි මෙහි එන්න, යැයි ශ්‍රී හස්තය දිගු කළහ. එයින් වක්කලි හිමියන්ගේ සිත වහා වෙනසකට පත්ව බුදුරදුන් කෙරෙහි මහත් ප්‍රසාදයක් ඇති වීමත් සමඟ පෙර පින් ඇති වක්කලි හිමියන් රහත් භාවයට පත් වුහ. පෙර සිදු කරන ලද කුසල බලයෙන් සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වූ වක්කලි හිමියන් බුදුරදුන් දුටු අවස්ථාවේ පටන් සිතෙහි වර්ධනය වී ආ සැදැහැවත් බව අන් කිසිම ශ්‍රාවකයෙකුට සමාන කළ නොහැකි ය.එම නිසා සැදැහැවත් භික්ෂූන් අතර ද අග තනතුරට පත් වූයේ වක්කලී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේට පමණක් නොව සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කවර කෙනෙකු වුවත් බුදුරදුන් කෙරෙහි ප්‍රසාදය ඇතිව සරණ ගත වන්නේනම්, න තෙ ගමිස්සන්ති අපායං යනුවෙන් පෙළ දහමෙහි විවරණය වන ආකාරයට අපායෙන් මිදීමට එය හේතු වන බව සිතට ගත යුතු ය .