Print this Article


ගිහි ගෙදරට දහම් වැටක් : නිවසට සිරිකත අම්මා ය

නිවසට සිරිකත අම්මා ය

උග්ගහ සිටුවරයා අතමිට සරුවට තිබූ, ආගම දහම පිළිබඳ ව දැඩි ඇල්මක් පැවැති පුද්ගලයෙක්. තමන්ගේ දියණිය විවාහකරදීමට සුදුසු කාලයත් පැමිණ තිබුණා.

ඊට පෙර තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාදිය යුතු බව සිතූ සිටුවරයා නිවස තුළ දානයක් දුන්නා. දන් වළඳා අවසානයේ ඔහු මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. බුදු හාමුදුරුවනේ , මගේ දියණිය පතිකුලයට යාමට සූදානම්ව යි ඉන්නේ. එම දියණියට ආශිර්වාද කරන්නයි මෙම දානය පූජා කළේ.

සංසාරය දුක් ගොඩක්. විවාහය කියන්නේ සසර දිගුකර ගැනීමක්, කියලා බුදුහිමියන් ඒ වෙලාවේ දේශනා කළේ නැහැ. ජීවිතයේ රස මිහිර විඳීම අරඹන විට ම ජීවිතයේ යථාර්ථ බව දේශනා කිරීමට උන්වහන්සේ කැමැති වුණේ නැහැ. ලෞකික ජීවිතය අර්ථ සම්පන්න ලෙසත් , සාර්ථක ලෙසත් ගතකරන්න ඕන. ජීවිතය එලෙස ගෙවූ තැනැත්තකුට හෝ තැනැත්තියකට පමණයි එහි තිබෙන නිසරු බව වැටහෙන්නේ. දියණියගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වන ආකාරයේ ධර්ම අවවාද පෙළක් උන්වහන්සේ දේශනා කළා.

පතිකුලයට යන පතිනියක විසින් තම විවාහ ජීවිතය අර්ථ සම්පන්න බවට හා සතුටින් පිරුණු එකක් බවට පත්කරගැනීමට කළ යුතු පළමු කාරණාව තමයි පාන්දරින් අවදිවීමට පුරුදු වීම. ඇතැම් අවස්ථාවල ඇයට නැන්දා, මාමා ඇසුරේ ද, සැමියාගේ සහෝදර සහෝදරයන් සමඟ ද සහජීවනය පතුරුවාගෙන එක ම නිවෙසේ රැඳෙන්නත් සිදුෙවිවි. වර්තමාන සමාජය ඉතා සංකීර්ණ නිසා ඉතා බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ද න්‍යෂ්්ටික පවුල්. සැමියයි බිරිඳයි විතරයි. දෙදෙනාම රැකියාවට යන අවස්ථාත් වර්තමාන සමාජයේ දකින්න පුළුවන්. සමාජය කෙතරම් සංකීර්ණ වුව ද, වෙනස් වුව ද, පෙරදිග රටවල ගේ ඇතුළේ වැඩි වැඩ කොටසක් හිමි වන්නේ කාන්තාවටයි. ඇය දිහා බලා ඉන්න පිරිස වැඩියි. කටයුතු කාරණා පිළිබඳ අවධානය යොමු කරන පිරිසත් වැඩියි.

නිවසක් තුළ නායකත්වය පතුරුවා ගන්නටත් නිවසේ පළමු ව අවදිවීම වැදගත් වෙනවා. දවල් වෙනතුරු නිදාගන්න කාන්තාව පිරිහෙනවා. අපකීර්තියට පත්වෙනවා . එබඳු අය ජීවත් වන නිවසත් අවරට ම තමයි යන්නේ. මේ මූසල ගැහැනිය හින්දා ගෙදර දියුණුවක් නැහැ කියලා කියනවා. අද බොහෝ විවාහ තුළ අඬදබර ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන්නේ මේ දුර්වලතාවයි. දවල් වෙනතුරු නිදාගැනීම, දවල්ට නිදාගැනීම ස්ත්‍රියකට සුදුසු නැහැ. එසේ වූ විට නිරෝගි බව පවා පිරිහෙනවා. කරන කියන වැඩ කටයුතු ක්‍රමවත් ව මෙන්ම, විධිමත් ව කරගෙන යාමේ අපහසුතාව මතුවෙනවා. නින්ද ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අවදියෙන් සිටින විට, ක්‍රියාකාරී වන විට විනාශ වන කොටස නැවත සකස්වන්නේ නින්ද ගිය අවස්ථාවලදී යි. ඒ නිසාම නින්ද ශරීරයට අවශ්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් එහි යම් ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ගත්තොත් මී පැණි වුණත් අයහපත් වන්නට පුළුවන්. පමණට වැඩියෙන් නිදන පුද්ගලයා පිරීහීමට පත්වෙන බව දහමෙහි උගන්වා තිබෙනවා. ශරීරයට අත්‍යවශ්‍ය දෙය වුව ද, පමණට වැඩියෙන් ගැනීම සුදුසු නැහැ. එයින් තම ශරීරයට පමණක් නොවෙයි . ජීවත්වන ගෘහයට ද හානි ගෙන දෙනවා. රටක් වුව ද පිරිහීමට එය හේතුවක්. අම්මා කෙනෙකු ලෙස නිවසේ පළමු ව අවදිවීම වැදගත් වන්නේ මෙබඳු පරිසරයක සිට කල්පනා කරන විට දී යි.