Print this Article


සද්ධර්ම ප්‍රතිරූපකලාට රැවටෙනු එපා

සද්ධර්ම ප්‍රතිරූපකලාට රැවටෙනු එපා

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ කර්මය, පුනර්භවය, පටිච්ච සමුප්පාදය,ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදි මූලික දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනයේ එක කරුණක් සමඟ අනෙක් කරුණ ගැටෙන්නේ නෑ. උන්වහන්සේ එම ධර්ම කරුණු එකම දර්ශනයක් මත පදනම්වයි දේශනාකොට තිබෙන්නේ. මේ දර්ශනය, අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉගෙන ගත්තා. ඒ වගේ ම හදාරා තිබෙනවා. එහෙත් දැන් ඇතැම් උදවිය බුදු දහමේ තිබෙන මූලික දර්ශනය හදාරන්නේ නැති ව, ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන පාලිය, එසේත් නැතිනම් පාලිය සිංහලයට පරිවර්තනය කිරීමෙන් ගත් සමහර ලේඛන හෝ ප්‍රයෝජනයට ගෙන ඒවාට තමන් සිතැඟි පරිදි අර්ථ ලබා දෙනවා.

බුදුරජාණන් වහන්සේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ දේශනා කර තිබෙනවා ධර්මය නොවන, ධර්මය වගේ දේශනාවන් පහළ වූ පසුව ධර්මය විනාශ වන බව. උන්වහන්සේ උදාහරණයකින් දක්වනවා, රත්තරන් නොවන, රත්තරන් වගේ දේ පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? රත්තරන්වලින් වැඩක් නෑ. රත්තරන් අතුරුදන් වෙනවා. ඒ වගේ ධර්මය නොවන දේ, ධර්මය වගේ පහළ වුණාට පස්සේ ධර්මය අතුරුදන් වෙනවා. ඒ වගේ ම උන්වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මය විනාශ වී යන්නේ, ධර්මය නැති වී යන්නේ අනිත්‍ය ධර්මතාව නිසා නොවන බව. මේ ශාසනය තුළ පහළ වන මෝඝ පුරුෂයන් නිසා බව.

එවැනි මෝඝ පුරුෂයන් ,හිස් මිනිසුන් එදත් පහළ වුණා. අදත් පහළ වෙනවා. උදාහරණ ලෙස සිදුහත් කුමරා ලංකාවේ නූපන් බව ඕනෑම පුංචි ළමයෙක් පවා දන්නවා. ඒත් කෙනෙක් උන්වහන්සේ ලංකාවේ උපන් බවට විවිධ තර්ක ගෙන එනවා. මොනවාද ගන්නා සාධක? එකක් ග්‍රාම නාම. ‘හිිරිවඩුන්න’ කියලා ගමක් තියෙනවා. ‘සිරිවැඩහුන් තැන’ කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන කියා පෙන්වා දෙනවා. කාශ්‍යප ගමට ඒ නම හැදුවේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා. සීගිරිය ගම්උදාව වේලාවේ. එතුමා සිටි තැනට ඉතා හොඳින් සීගිරිය දිස් වූ නිසා ඒ ගමට කාශ්‍යපගම කියන නම යෙදුවා. දැන් සමහරු කියන්නේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් බෑ ජටිලයන් සිටි ගම කාශ්‍යප ගම වන බවයි.

සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව මහාමායා දේවිය, බෝසත් උපත සිදු වී දින හතකින් කළුරිය කළා. ඒ බෝසතාණන් වහන්සේගේ අභාග්‍යයක් නිසා නොවෙයි. බෝධිසත්වයන් වහන්සේට ආවේණික ධර්ම කොටසක් තිබෙනවා. මව්කුස පිළිසිඳ ගැනීමට පෙර උන්වහන්සේ පස්මහ බැලුම් බලනවා. එහි දී මව කියන කාරණාවේ දි දකින ප්‍රධානතම ගුණය මව සිල්වත් ගුණවත් තැනැත්තියක් වීමයි. එනම්, ‘පකතිශීලා’ ප්‍රකෘතියෙන් සිල්වත් වීමයි. ඒ වගේ ම දසමස් සත් දිනක් පමණක් ඉතිරි ව තිබිය දී බෝධිසත්ත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම. එතකොට බෝධිසත්ත්වයන් වහන්සේ ඉපදුණ නිසා මව කළුරිය කළා නොවෙයි. මවගේ ජීවිතාවසානය කොතෙක් ද කියා විමසා බැලීමෙන්, ආයුෂ පරීක්ෂා කිරීමෙන් පසුවයි, බෝධි සත්ත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නේ. බෝධිසත්ත්ව මාතාවකට අවශ්‍ය ආවේණික ධර්ම තිබෙන බව ඒ අනුව පැහැදිලියි.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව කියන පාපී පුද්ගලයා කිසිම සංඝ සංස්ථාවක පැවිදි වූ කෙනෙක් නොවෙයි. ඔහු සියල්ලෙන් ඉවත්කළ කෙනෙක්. ඔහු සඳහන් කරනවා ඇඹිලිපිටියේ සංඛපාල විහාරයට ඉහළින් සංකස්ස පුරය තිබෙන බව. සංකස්ස පුරය මහාමායා දේවිය ලිංග විපර්යාසයකට බඳුන් වූ තැන බවත්, සුද්ධෝදන රජු ඔහු එහි ගෙන ගොස් සැඟවූ බවත්, බුදුරජාණන් වහන්සේ එහි වැඩි බවත්, උන්වහන්සේ සංකස්සයට වැඩියා යැයි සඳහන් වන්නේ එය බවත් ආදී විවිධ දුර්මත සමාජගත කරමින් ඉන්නවා. මෙවැනි දේ පසුගිය කාලයේ දී වාරණය කළා. ඒත් ඇතැම් රූපවාහිනී නාලිකා පසුගිය දිනවල දිගින් දිගටම ඒ අය ගෙන්වා වැඩසටහන් කළා. කවුරු හෝ ලවා වැඩසටහන් කරවීම ප්‍රශ්නයක් නොවෙයි. හරි ධර්මය දේශනා කරවිය යුතුයි.

භික්ෂු වේශයෙන් සිටින ඒ පුද්ගලයා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ කෙරෙහි ඇති වු කළකිරීමක් නිසා සූකර මාංශ වළදා සිය දිවි නසාගත්තා කියලා. චුන්දකර්මාරපුත්‍රගේ දානය වැළඳීම ගැනනේ ඔය කියන්නේ. හොඳයි, බුදුසරණ පුවත්පත කියවන ඔබට සමහරවිට හිතෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑවේ ඔහුගේ දානය වැළඳීමෙන් පසුව තමයි කියලා. ඔබට මතක ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසයකට පෙර ආයුසංස්කාරය අතහැරියා. බුදුරජාණන් වහන්සේ චාපාලචේතිය නම් ස්ථානයේ ආයු සංස්කාරය අත හැරිය බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වෙනවා. උන්වහන්සේ එදා චුන්දකර්මාරපුත්‍රගේ දානය වැළඳුවත්, නැතත්, දිව්‍යමය භෝජන වළඳා සිටියත් උන්වහන්සේ පිරිනිවන් පෑ යුතු දවස එදිනයි. හේතුව තුන්මාසය සම්පූර්ණ වන දවස කලාතුරකින් ඇතැම් හිස් මිනිසුන් බුද්ධ චරිතයට අදාළ කරුණු, ධර්මයට අදාළ කරුණු,සංස්කෘතියට අදාළ කරුණු විකෘති කරලා විවිධ තැන්වල කථා කරනවා.

අනිච්ච, දුක්ඛ,අනාත්ම කියලා ත්‍රිලක්ෂණය විග්‍රහ වෙනවනේ. අල්ප ‘ච’ යන්නෙන් අනිච්ච කියන්නේ අස්ථිර කියන එකයි. ‘සබ්බේ’ සංඛාර අනිච්චා’ එතැන අනිච්ච කියන්නේ අස්ථිර බව. දුක්ඛ කියන්නේ පීඩාකාරි බව. අනන්ත කියන්නේ ආත්මයක් වශයෙන් සලකාගත හැක්කක් නොවන බව. මම පසුගිය දවසක දැක්කා එක මාධ්‍ය වැඩසටහනක මේ අනිච්ච , දුක්ඛ,අනත්ත යන ත්‍රිලක්ෂණය ම වෙනස් කරල ඒවාට වැරැදි අර්ථ දෙනවා.

කලකට පෙර වහරක අභයරථනාලංකාර කියන හාමුදුරුවෝ ‘අනිච්ච යන්නට කැමැති සේ නොවීම යන අර්ථය දී තිබුණා. උන්වහන්සේ දැන් අපවත් වෙලා. ඒත් වලස්මුල්ලේ අභයහිමි වැනි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ඒ අදහස ම සමාජගත කරන්නට උත්සාහ ගන්නවා. හොඳයි, කැමැති සේ නොවීම කියලා ත්‍රිපිටකයේ සඳහන් වන්නේ නැද්ද? කොතැන ද එය සඳහන් වන්නේ. ඔබට මතකද, ‘ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’ යනුවෙන් සඳහන් වන තැන. එහි ‘යම්පිච්ඡං න ලභති’ යමක් බලාපොරොත්තු වේ ද, එය නොලැබීම, ඒ කියන්නේ යමක් කැමැති වේ ද එය නොලැබීම දුකක්. එතකොට කැමැති සේ නොවීම යන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අනිච්ච කොටසේ ද? දුක්ඛ කොටසේ ද? දුක්ඛ කොටසේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යන දුක ගැන කරන විග්‍රහයේ.

අනිච්ච යන්න විග්‍රහ කරන ධර්ම කොටසේ නොවෙයි. විග්‍රහ කරන තැන මාරු කරලා විග්‍රහ කළාම මොකද වෙන්නේ? අනිච්ච යන්න දුක්ඛ ගොඩට අයිති නම්, ත්‍රිලක්ෂණයේ එන අනිච්ච කියන සංකල්පය අවශ්‍ය ම නැති වෙනවා. සම්පූර්ණයෙන් ම ධර්මය විකෘති කරලා, ධර්මයට වෙනත් අදහස් දීමට ගන්නා උත්සාහයක්. ධර්මය පිළිබඳ ව ගැඹුරු අවබෝධයක් නැති බෞද්ධයන් නොමග යවන්නට ගන්නා උත්සාහයක්. බෞද්ධයන් ධර්මය පිළිබඳ ව හදාරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බොහොම ක්‍රමානුකූලව හැදෑරිය යුතුයි. එසේ ක්‍රමානුකූලව ධර්මය හදාරා නැති කෙනෙකුට කවුරු හෝ කියන දෙයක් ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. සද්ධම්මපතිරූපක සූත්‍රයේ සඳහන් කළේ එයයි. ධර්මය නොවෙයි. එහෙත් ධර්මය වගේ පෙනෙන්න පුළුවන්.

පසුගියදාක අභය නමැති ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කවර හෝ තැනෙක ‘සබ්බං අනිච්චං’ යනුවෙන් දේශනා කර තිබේනම් එය ඉදිරිපත් කර තමන්ට පෙන්වන ලෙස. සියල්ල අනිත්‍ය නොවේ කියලා දේශනා කරන තැනම සිදුවන්නේ සම්පූර්ණයෙන් ම බුදුබණ කණපිට හැරවීමක් නේ. මේවා කියනවා විතරක් නොවෙයි. පොත්වලත් ලියනවා. ප්‍රකාශයට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ ‘සබ්බං භික්ඛවේ අනිච්චං’ යනුවෙන් සූත්‍රයක දේශනා කොට තිබෙනවා.

සමහර අවස්ථාවන්හි යම් පිරිසක් ත්‍රිපිටකය ට සංස්කරණ කරන්නට සූදානම් වූණා. තමන්ගේ දුර්මත ඒවාට ඇතුළත් කරලා. ඒ අනුව අපි ඕනෑකමින් ක්‍රියාත්මක වෙලා පසුගිය දිනවල මහානායක මා හිමිවරු මුණ ගැසිලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා, ලේකම්තුමා මුණගැසිලා සාකච්ඡා කළා. විශාල ප්‍රයත්නයකින් සංස්කරණ ගෙන ඒම නතර කළා. ත්‍රිපිටකයට සංස්කරණ ගෙන ආ නොහැකියි. ත්‍රිපිටකය බුදුරජාණන් වහන්සේගේ දේශනයයි.

බුද්ධ කාලයේ සුරම්බට්ඨ කියලා ශ්‍රාවකයෙක් සිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවෙනස්වන ප්‍රසාදයක් ඇතිව සිටිය කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය ගැන ඔහු තුළ තිබෙන පැහැදීම නැති කරන්නට මාරයා සුරම්බට්ඨ වෙත ගියා. කොහොමද? බුද්ධ වේශය මවාගෙන. මේ අවේලාවේ තමන්ගේ ගෙදරට බුදුහාමුදුරුවෝ වඩින්නේ නෑ කියලා ඔහුට විශ්වාසයි. ඒත් බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා. සුරම්බට්ඨ සැක සහිත සිතින් එහෙත්, බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා වන්දනා කළා. දැන් මාරයා බුදු හාමුදුරුවන්ගේ හඬින් ම කියනවා. ‘සුරම්බට්ඨ’ සියල්ල අනිත්‍යයි, කියලා කිව්වට සියල්ල අනිත්‍ය නෑ. සියල්ල දුකයි කිව්වට සියල්ලම දුක නෑ. සියල්ල අනාත්මයි කිව්වට ආත්මීය දේත් තියෙනවා කියලා. මෙය අසාගෙන සිටි සුරම්බට්ඨ ‘මේ නම් අනිවාර්යයෙන් ම බුදුරජාණන් වහන්සේ නොවෙයි. උන්වහන්සේ විසින් කවදාවත් කියන ලද දෙයක් වෙනස් කරනු ලබන්නේ නෑ. තා මාරයා නේද? යි ඇසුවා. තමන් හඳුනාගත් පසු කිසි විටෙක මාරයා රැඳී සිටින්නේ නෑ. වහාම පලාගියා.

දැන් බලන්න, එදා සුරම්බට්ඨ කියන තථාගත ශ්‍රාවකයාට තිබුණා ශ්‍රාවක පෞරුෂයත්. ශ්‍රාවක අභිමානයත්. බුදුරජාණන් වහන්සේගේ රූපයෙන්, කටහඬින් කවුරු හෝ වැරැදි දෙයක් කිව්වා නම්, ඊට විරුද්ධ වුණා. බෞද්ධයාට ශ්‍රාවක අභිමානය තිබිය යුතුයි. ධර්මය මෙතෙක් කල් ඔබ විසින් හදාරන ලද දෙයක්. කෙනෙක් එය වෙනස් විදියට කියනවා නම්, ඒ දේ හිස් මුදුනින් පිළි ගන්නවා නොවෙයි. ඒ ගැන විමසිය යුතුයි. සූත්‍රවලට සොයාගෙන යා යුතුයි. මේ කියන්නේ මොනවාද කියලා බැලිය යුතුයි. එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බුද්ධ රූපය මවාගෙන ශ්‍රාවකයන් ඉදිරියට මාරයා පවා ආවා. ඇයි? ධර්මය විකෘති කරන්න. බුද්ධ ධර්මය විකෘති කරන්න එන අයට උත්තර දෙන්න ඕනෑ කොසොල් රජුවත්, අජාසත් රජුවත් නොවෙයි. උත්තර දෙන්න ඕනෑ ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ සූරම්බට්ඨලාවගේ ශක්තිමත් වෙන්න ඕනෑ. ප්‍රඥාවන්ත වෙන්න ඕනෑ. විචක්ෂණශීලි වෙන්න ඕනෑ. එවිට සද්ධර්ම පතිරූපකයන්ට පිළිතුරු දෙන්නට පුළුවන්.