Print this Article


සුත්ත නිපාතයෙන් ... : සසරින් එතෙර වූ ධනිය ගෝපාල - ධනිය සූත්‍රය - 1 කොටස

සුත්ත නිපාතයෙන් ... :

සසරින් එතෙර වූ ධනිය ගෝපාල

ධනිය සූත්‍රය - 1 කොටස

ඛුද්දක නිකායට අයත් උතුම් ධර්ම ග්‍රන්ථයක් වන සුත්ත නිපාතයේ සඳහන් සම්බුද්ධ දේශනාවක් මෙසේ ඉගෙන ගනිමු. සුත්ත නිපාතය නම් මෙම පූජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අතිපාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අතිශයින් ම සුන්දර යි.

සුත්ත නිපාතය යන නම පවා බොහෝ දෙනෙකුට නුහුරු ය. එනිසා මේ මහා නිධානය සැඟ වී පවතින්නා සේ මේ අමිල වූ මහානීය ශ්‍රී සද්ධර්මය සාමාන්‍ය ජනතාවගෙන් දුරස් වී පවති. මෙහි සඳහන් දෙසුම ඔබේ හද නැඟෙන දුක තැවුල නිවා දමයි. ඔබට යහපත ලබා දෙයි. බුද්ධියේ නිම්වළලු පුළුල් කරයි. ඔබ ශාන්ත සුවයට පත්කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරී ගිය අධ්‍යාත්මික ගුණයෙන් සුපෝෂිත ජීවිතයක් ලබාදෙයි. මේ දේශනා ඔබ නිතර නිතර කියවන විට කෙමෙන් කෙමෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි අධ්‍යාත්මික ව දියුණුවන ආකාරය ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ ශ්‍රී සද්ධර්මය අප ප්‍රායෝගික ජීවිතයට ගළපා ගත්තා වන්නේ එවිට ය.

ධනිය නම් ගව හිමියාට වදාළ දෙසුම

මෙය සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවකි. ගව පට්ටි හිමියෙකු වූ ධනිය, ධනවත් අයෙකි. මෙ දින ඔහු තම ගවයින්ට තණ කවා පි‍්‍රයාදර බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි හේ පී‍්‍රතියට පත්විය. මහා වැසි වසින්නැයි වළාවන්ට හඬනගා කියන්නට විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දුර සිට මේ සිදුවීම දිවැසින් දුටු සේක. තමන් වහන්සේ නො වැඩියහොත් මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.

මේ ජල ගැල්මෙන් පමණක් නොව, සංසාර මහා සාගරයෙන් ද, මේ පිරිස බේරා ගැනීමට සිතු මහා කාරුණිකයාණෝ සෘද්ධි බලයෙන් වහා එතැනට වැඩම කොට ධනියට පිළිතුරු ගාථාවක් දේශනා කරන්නට පටන් ගත් සේක. මේ රමණීය සංවාදය අවසානයේ ධනිය හා ඔහුගේ බිරිඳ සසුන් ගත ව අමා නිවන් සුව ලබා ගත් අතර, පුතුන් හා ලේලිවරුන් සෝවාන් ඵලය ලබා දහම් ඇස පහළ කර ගත්හ. එම සංවාදයේ දී ධනිය කියු පළමු ගාථාව මෙයයි.

පක්කෝදනෝ දුද්ධඛීරෝ හමස්මි
අනුතීරේ මහීයා සමාන වාසෝ
ඡන්නා කුටි අභිතෝ ගිනි
අථ චේ පත්ථයසි පවස්ස දේව

බත ද පිසුවෙමි – කිරිද දෙව්වෙමි
මහී ගං තෙර මම –වසමි හැම දෙන සමඟ
සෙවණ කළ කුටිය තුළ - ඇවිළ වූ ගිනිද ඇත
එම්බා වළාවෙනි! කැමති නම් වැසි වසිනු මැන

එවිට භාග්‍යවතුන් වහන්සේ ධනියගේ නවාතැන් පළට ඉහළ අහසේ වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දී වදාළ සේක

අක්කෝධනෝ විගතිඛිලෝ හමස්මි
අනුතීරේ මහියේකරත්ති වාසෝ
විවටා කුටි නිබ්බුතෝ ගිනි
අථ චේ පත්ථයසි පවස්ස දේව

ක්‍රෝධය නසා දැමුවෙමි - කෙලෙස් ටැඹ ගැල වූයෙමි
මහී ගංතෙර මම – වසමි හුදෙකලාවෙ ම
විවර කළ කුටිය තුළ - නිවන ලද ගිනි ද ඇත
එම්බා වළාවෙනි! කැමති නම් වැසි වසිනු මන

ගාම්භීර අරුත් ඇති භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම ගාථා රත්නය “පරමත්ථ ජෝතිකා “ නම් සුත්ත නිපාතයට ලියු අටුවාවෙහි විවරණය කොට ඇත්තේ මෙලෙසිනි. නො කිපෙන බවයි. කිපෙන බවෙහි ආදීන ව බොහෝ ය. ඇතැම් කෙනෙකුට කෝපය ඇති වූ විට හදවත තැවුල් ඇතිකරවා සංසිඳී අක්කෝධනෝ යනු යයි. කෝපය ඊට වඩා බලවත් වූ විට ඇතැමෙක් රවා බලති. වඩාත් බලවත් වූ විට, නපුරු වචන කියනු කැමැති ව හකු සොළවති. ඊටත් වඩා බලවත් වූ විට නපුරු වචන කියති. කෝපය තවත් බලවත් වූ විට ලී කැබැල්ලක් හෝ ආයුධයක් හෝ සොයමින් වටපිට බලති. තවදුරටත් බලවත් වූ විට දඬු මුගුරු ආදිය ගෙන එහා මෙහා දුවති. පසුව තවත් බලවත් වූ විට සහලේ නෑයන්ගේ වුවත් ජීවිත තොර කරති. තවත් කෝපය බලවත් වූ විට තම ජීවිතය වුව ද තොර කර ගනිති. මේ සා ආදීනව ඇති ක්‍රෝධය අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝ මැඬදී ම මුල් සිඳලන ලද තල් ගසක් මෙන් මුළුමණින් ම නැති කළ සේක.

එමෙන් ම සියලු කෙලෙස් හුල් උදුරා හල බැවින් විගතධිලෝ යැයි වදාළ සේක. අතීතය ගැන ශෝක නො කරමි, අනාගතය නො පතමින්, වර්තමානයෙහි විදසුන් නුවණ තුළ සුන්දර හුදකලාවේ වසන බැවින් ඒකරත්තිවාසෝ යැයි වදාළ සේක. ශරීරය නම් වූ කුටිය, තණ්හා, දිට්ඨි, මාන නමැති වහලයෙන් සෙවිලි නො කරන ලද බැවින් විවටා කුටි හෙවත් විවර කළ කුටිය යැයි පැවසූ සේක. ථේරගාථාවන්හි “යමෙකු රාගාදියෙන් සෙවිලි කොට තිබේ ද, නැවත ඇතිවන බලාපොරොත්තු නම් වූ රාගාදියෙන් තෙමි” යැයි කියා තිබේ. යම් කෙනෙක් හටගත් කෙලෙස් ඉවසා සිටියදී එසේ ඉවසන ලද කෙලෙස් නම් වූ සෙවිලි කිරීමත්, සිරුර නම් වූ කුටිය නැවත නැවත කෙලෙස් වැස්සට ම තෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අරහත් නම් වූ සුළඟින් කෙලෙස් නමැති වහල සිඳබිඳ දැමු නිසා විවර වූ කුටිය යැයි වදාළ සේක. එමෙන් ම රාග, ද්වේශ, මෝහ , ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන එකොළොස් ගින්න ම බෝධිමූලයේ දී විමුක්තිය නමැති සිහිල් දියෙන් නිවාලු නිසා, නිබ්බුතෝ ගිනි හෙවත් නිවන ලද ගිනි ද ඇත කියා වදාළ සේක.

මෙම දහම් විවරණය ඇතුළත් ගම්භීර ගාථා රත්නය ඇසූ ධනිය බොහෝ සතුටු වී නැවත ද එබඳු දේ අසනු කැමැති ව මෙලෙසින් තවත් ගාථාවක් පැවසුවේ ය.

අන්ධක මකසා න විජ්ජරේ
කච්ජේ රූළ්හතිණේ චරන්ති ගාවෝ
වුට්ඨිම්පි සහෙය්‍යුමාගතං
අථ චේ පත්ථයසි පවස්ස දේව

ලේ උරන – රුදුරු මැසි මදුරු නැත
නැගුණු ළා තණ පඳුරු ගොන්නු කති
වැසි දහර වැටෙන විට – ඉවසත් ය ඔවුන් එය
එම්බා වළාවනි! කැමති නම් වැසි වසිනු මැන

භාග්‍යවතුන් වහන්සේ ඊට පිළිතුරු ගාථාවක් වදාළේ මේ අයුරින් ය.

බද්ධා හි භිසි සුසංඛතා
තිණ්ණෝ පාරගතෝ විනෙය්්‍ය ඕඝං
අත්ථෝ භිසියා න විජ්ජති
අථ චේ පත්ථයසි පවස්ස දේව

මනා ලෙස සකස් කළ - පහුර බැඳ නිමාවිය
සැඩ පහර සිඳලමින් –එතෙර වී හමාරය
නො මැති පහුරෙන් යළිත් - මෙ මට ගතහැකි වැඩක්
එම්බා වළාවෙනි! කැමති නම් වැසි වසිනු මැන

මෙම ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ ධනියට ඔවදන් දුන්නේ මෙම අරුතිනි. “ ධනිය, ඔබ පහුරක් බැඳ, මහී ගඟෙන් එතෙරව මෙ තැනට පැමිණියේ ය. නැවත ඔබ විසින් එම පහුර බැඳිය යුතු ම ය. ගඟ ද තරණය කළ යුතු ය. එතැන බිය නැති තැනක් නොවේ. එනමුත් මම විසින් එකඟ සිතින්, අරිඅටගි මඟ පිළිවෙත් එක්කොට නුවණ නමැති බැඳුමෙන් බැඳ, එය ද පරම අවබෝධය ලබා ගැනීමට හේතුව ලදුව, දිට්ඨි ඕඝ, කාම ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ යන සැඩ පහර සිඳලමින් සසරින් එතෙර වී හමාර ය. දතයුතු සියලුම දේ මනාකොට අවබෝධ කොටගෙන අරහත් බවට පත් වූ නිසා නැවත පහුරක අවශ්‍යතාවය නො මැත යැයි වදාළ සේක.

ඉතිරි කොටස වප් අමාවක බුදුසරණ පත්‍රයේ පළවේ.