Print this Article


කහවණු නිසා සෝවාන් වූ සිටුපුතා

කහවණු නිසා සෝවාන් වූ සිටුපුතා

අනේපිඬුසිටුතුමාට කාල නම් පුත්‍රයෙක් සිටියේ ය. ආගම දහම ගැන ඔහුගේ සැලැකීමක් නොවී ය. සිටුතුමා ඒ ගැන කම්පා වී ය. පුතුට මෙසේ කීවේ ය.

“පුත ඔබ විහාරයට ගොස් පෙහෙවස් සමාදන්වෙන්න ඕනෑ. නැතිනම් මරණයෙන් පසු නරකාදියට යන්නයි වෙන්නේ”.

“මට විහාරයට යන්න බෑ.”

“ඒ ඇයි? ඔබ නරකයට කැමැති”ද?

“නෑ. විහාරයට යන්න බෑ.”

“ඔබ විහාරයට ගොස් පෙහෙවස් සමාදන් වුණොත් කහවනු සියයක් දෙනවා”.

“ඔය ඇත්ත ද?"

“ඔව් දෙනවා.”

කාල විහාරයට ගියේ ය. උවැසි උවැසියන් අතර මුල්ලකට විය. එදින දෙසූ කිසිම දහමක් හිතට නො ගත්තේ ය. නිදාගත්තේ ය. ඒ උවැසි පිරිස සමඟ සවස විහාරයෙන් පිට විය. සිටු නිවසට ආවේ ය.

සිටුතුමා පුතා විහාරයට යෑම ගැන සතුටු විය. ආහාර පාන දුන්නේ ය. ඔහු ඒවා නො ගත්තේ ය. ‘මට ආහාර එපා. කහවනු දෙන්න.’ පුතා කීවේ ය.

‘ඒවා දෙන්නම්, ආහාර ගන්න

‘පළමුව කහවනු දෙන්න’

සිටුතුමා කහවනු දුන්නේ ය.

කාල එය රැගෙන සිටු නිවසින් පිටවිය.

අනේපිඬු සිටුතුමා යළි දිනක් කාලට “ඔබ අද දින පෙහෙවස් සමාදන් විය යුතු”යි කීවේ ය.

‘මසුරන් දහසක් දෙනව’ද?

ඔව්

කාල විහාරයට ගියේ ය. පෙර දින ලෙස සිට ආපසු ආවේ ය. මසුරන් ගත්තේ ය. තෙවැනි දවසේත් සිටුතුමා පුතුට පෙහෙවස් සමාදන් වෙන්න කීවේ ය.

අද කීයක් දෙනවා ද?

මසුරන් දහසක් දෙනවා, හැබැයි දහම් පදයක් ඉගෙනගෙන ආ යුතුයි.

හොඳයි. කී ඔහු විහාරයට ගියේ ය. දහම් පදයක් ඉගෙන ගෙන පලා යමි’යි සිතී ය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට හොඳින් සවන් දුන්නේ ය. පුදුමෙකි. එක පදයක්වත් හිතේ නොරැඳෙයි. ඔහුට එසේ එම ධර්ම දේශනාව අවසන් වන තුරු දහම්පද මතකයේ නොරැඳිණ. එහෙත් කාල සෝවාන් ඵලයට පත්විය.

බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරා කාල සමඟ අනේපිඬු සිටු නිවසට වැඩිය සේක.

සිටුතුමා දානය පිළියෙළ කළේ ය. කාල ද ඒවා අනුභව කළේ ය.

සිටුතුමා මසුරන් පොදිය පුතුට දුන්නේ ය.

මට එපා . කාල කීවේ ය. සිටුතුමා විස්මයට පත්විය.

සිටුතුමනි! ඔබ සහ පුතු අතර වූ දේ මම දනිමි. දැන් ඔබ පුතාට මසුරන්වල වටිනාකමක් නැත. දෙව්ලොව, බඹ ලොව සම්පත්වලටත් වඩා වටිනා සෝවාන් ඵලය ලබා ඇත. බුදුන්වහන්සේ වදාළ සේක.