Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප: මිහින්තලෙන් හමු වූ පැරැණි බිතු සිතුවම්

මිහින්තලෙන් හමු වූ පැරැණි බිතු සිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

සිංහල බෞද්ධ සංස්කෘතියේ තොටිල්ල ලෙසින් හඳුන්වන මිහින්තලේ මූර්ති කැටයම්, හා වාස්තු විද්‍යාත්මක නිර්මාණවලින් ද සමන්විත වන බව ඉතා ප්‍රකට ය. ස්තූප රාශියක් මෙම පුදබිමෙහි නිර්මාණය කර ඇති හෙයින් සාංචි පුදබිමට මෙන් ම, මිහින්තලයට ද චේතියගිරි යන නාමය පුරාණ කාලයේ භාවිත වී ඇත. මේ ස්තූප අතරින් ද පුරාණ ශ්‍රී ලංකාවේ ඉපැරැණි ම මූර්ති කලාවට අයත් මූර්ති කැටයම් මෙහි කණ්ඨක චේතිය ආශි‍්‍රත ව වූ බව ඉතා පැහැදිලි ය. මිහිඳු මහ රහතන් වහන්සේ මීට වසර 2278 ඉහත දී පිරිනිවන් පෑමෙන් පසු මිහින්තලේ මිහිඳුසෑය නමින් එම ධාතුන් වහන්සේලා නිධන් කර සාදන ලද ස්තූපය ද හඳුනාගෙන ඇත. මීට අමතරව තවත් විශේෂිත ස්තූපයක් ගැන මිහින්තලේ පිළිබඳ පූර්ණ පුරාවිද්‍යා ගවේෂණයක් හා කැණීම් කටයුතු කිරීමෙහි පුරෝගාමී වූ එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි.

මිහින්තලේ ධාතු ගර්භයෙන් හමු වූ පැරැණි බිතුසිතුවම්

“මේ දාගැබෙහි කිසිදු නිධන් වස්තුවක් නොතිබුණේ ය. දාගැබ් කැණීමේ දී අගනා බිතුසිතුවම් රැසක් ධාතු ගර්භයේ බිත්තිවල සිතුවම් කර තිබුණි. යටිකය වළාකුලින් වැසුණා වූ දේව රූප ඒ සිතුවම් වලින් නිරූපණය කරයි. රතු සහ කළු යන වර්ණ දෙක යොදන ලද මූල රේඛාවන්ගෙන් පමණක් යුක්ත වු මේ සිත්තම් චිත්‍ර ශිල්පය අතින් ඉතා වැදගත් වෙයි. රේඛාවන්ගේ ලාලිත්‍යය, රූපයන්ගේ හැඩය, දර්ශනයේ සමබර ස්වභාවය ආදි ශිල්ප නිපුණත්වයක් එහි දැක්වෙයි. මූල රේඛාවන් පමණක් යොදවමින් හැඟීම් අනුව සිතුවිලි චිත්‍රයට නැගීමේ ක්‍රමයකට කළ චිත්‍ර දර්ශනයකට සීමාවූවක් මෙහි වූයේය යන මතයට පටහැනි වූ හේතු එහි පෙනේ. එනම්, රූපයන්ගේ වින්‍යාසය හා කඩවසම ද සලස්වා ගැනීමට ඉවහල් වන රේඛාවක් එහි යොදා තිබීම ය. ඒ අනුව සලකන කල මේ චිත්‍ර අසම්පූර්ණ කළ සිත්තම් යැයි පිළිගත හැකි ය. නිදන් සොරුන්ගෙන් පහරලත් පසු ගර්භය සුන්බුන් වලින් වැසීමට මත්තෙන් එහි රැස් වූ ජලයෙන් බිත්තිවල පහළ කොටසෙහි බදාම දිරාපත් ව, ගලවා හැලෙන ලද්දේ ය.වාසනාවකට මෙන් එහි සිත්තම් නොවී ය. මෙම චිත්‍ර තිබුණු දාගැබ පසුකලෙක පිළිසකර කළ බවට සාක්ෂි නොමැති වූයෙන් දාගැබ මුලින් කළ අවදියට ම ඒ චිත්‍ර අයත්යැයි සැලකීම යුක්ති සහගත ය. සුන්බුන් අතර වූ අටැස් යූපය ධාතු ගර්භය තැනු සමයට අයත්යැයි සලැකීම යුක්ති සහගත ය. (යූපය යනු දාගැබක ඇති ස්තම්භයයි. එය පුරාණ දාගැබ්වල දක්නට ලැබුණි. යූප ස්තම්භය යනු ඊට යෙදෙන නාමයකි) එම යූපයේ එක් මූණතක “පෙ” යන සිංහල අකුර දක්නා ලද්දේ ය. ගල්වඩුවන්ගේ සලකුණක් ලෙසින් යොදන ලද ඒ අකුර අනුව එය ක්‍රිස්තු වර්ෂ අට වැනි සියවසට අයත් සේ සැලකේ. ඒ අනුව එම යූපය අන්තර්ගත වු දාගැබ හා චිත්‍රයන් ද ක්‍රි.ව. අටවැනි සියවසට අයිතියැයි සැලකිය යුත්තේ ය. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1951- ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 16-17

මිහින්තලේ මෙම බිතුසිතුවම් මෙකල මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. මිහින්තලේ බිතුසිතුවම් හමුවීමට පෙර මහාවංසයේ සඳහන් වන කරුණක් නම් රුවන්වැලි සෑයෙහි ධාතු ගර්භයේ බිතුසිතුවම් තිබුණු බව ය. මිහින්තලේ මෙම බිතුසිතුවම් ගැන ආචාර්ය නන්දදේව විජේසේකර මහතා මෙසේ සඳහන් කරයි.

“මෙම සිතුවමෙන් දෙව්පිරිසක් නිරූපණය කෙරේ. ඔවුන්ගේ අත්වල අභිනයෙන් ප්‍රකාශ කෙරෙන පරිදි ඔව්හු ප්‍රමුදිත ආකාරවලින් පෙනී සිටිති. රූප ජීවමාන ප්‍රමාණයට දැක්වෙන අතර, ඒවා ශෛලිගත නොවේ. චිත්‍ර සතුටුදායක ආකාරයෙන් ආරක්ෂා වී පවතී.

සියලුම රූප පිරිමි දෙවිරූප ය. දෙවිවරුන් සතර දෙනෙක් පැහැදිලිව ම දැක්ක හැකි ය. මධ්‍ය රූපයක් ද තිබෙන බව පෙනේ. රූප වල අන් හැඟීම් ප්‍රකාශ කරයි. එක් එක් දේවතාවෙක් සිය වමතෙහි දිග නටු සහිත මහනිල් හෝ නෙළුම්මල් පොකුරක් ගෙන සිටී. පැසසිය යුතු ප්‍රමාණයක සැලසුම් ශිල්ප නිපුණතාවයකින් යුක්ත බාහිර සැලැස්ම වශයෙන් පමණක් මෙම රූප සිත්කළු ය. රචනා සමතුලිත ය. ගිරිකුළු පෙළක් මෙන් පෙනෙන දර්ශනයකට ඉහළින් මතුවී පෙනෙන වළාකුළු නිරූපණ මගින් රූපවල දන හිසෙන් පහළ කොටස කපා හැර ඇත.

ශරීරවල ඉහළ කොටස් අබරණ බරින් සරසා තිබේ. හිස් පැළඳුම් විචිත්‍ර ය. මාල, වළලු, කඩුක්කම්, ආදිය දැක්ක හැකි ය.

සිරස් රේඛාවකින් නිර්මාණ දෙකඩකට බෙදේ. එය සමහර විට චිත්‍ර ශිල්පියා සිය නිර්මාණ රචනය සංතුලනය කර ගැනීමට ආධාරයක් වූයේ විය හැකි ය. රූප නිර්මාණ රේඛාවලිනි. සුදට හුරු පසුබිමක් ඇති ව රූප වර්ණවත් කිරීමට යොදාගෙන තිබෙන වර්ණක රතු සහ කළු ය. මෙහි සිත්තමට නගා ඇති රූප නිශ්චිතව ම දෙව්ලොව දෙවිවරුන් නිරූපණය කරයි.මෙහි සිතුවම් ශෛලිය සීගිරි ශෛලියට හා පොළොන්නරු ශෛලියට අතරමැද සිටින අතර මෙම චිත්‍රය 9 වන ශතවර්ෂයට අයත්වෙයි. ක්‍රි.ව. 11 වන සියවසට අයත් වන බිතුසිතුවම් මහියංගණයේ දාගැබේ ධාතු ගර්භයෙන් හමුවී ඇත. (පැරැණි සිංහල බිතුසිතුවම් ආචාර්ය නන්දදේව විජේසේකර පි. 81-1964)

ප්‍රවීණ සම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු වූ ඇස්.පී. චාර්ල්ස් මහතා මිහින්තලේ මෙම බිතුසිතුවම් පිළිබඳ මෙසේ සඳහන් කරයි.

පැරැණි බිතුසිතුවම් පිළිබඳ විශේෂඥයෙකු වූ මංජු ශ්‍රී මහතා මෙම සිතුවම් වලින් දැක්වෙන්නේ බෝසතුන් සහිත අප්සරාවන් යැයි කියයි. බෝසත් චරිතය සිතුවමට නැගීම ඉතා පුරාණයේ සිට පැවැති සිරිතකි. මේ චිත්‍රයන් රතු,කහ, සහ පලාවන් පැහැයෙන් ඇඳ තිබුණි. මේ චිත්‍ර ධාතු ගර්භය තුළ දී මවිසින් හොඳින් බලා පරීක්ෂා කරන ලදී. උසස් ශිල්පීන්ගේ චිත්‍රයන් හි දක්නට ලැබෙන රේඛාවන්ගේ ලාලිත්‍යය රූපයන් ගේ හැඩය, පරිමාණය, සමබර හා සිත්ගන්නා ස්වභාවය නොඅඩුව ඇත.